කෙම
වසු පැටවෙක් නැතිවුණ විට කතා නො කර වසු පැටවා සොයා දෙන මෙන් දෙවියන් ගෙන් සිතින් ඉල්ලා පොල් ගසක් අතු බඳිනු. නොබෝ වේලාවකින් වසු පැටවා හමුවේ.
එහි විද්‍යාත්මක පදනම
ගව පාලනයේ දී ගැමියන් මුහුණ දෙන එක් ගැටළුවක් හැටියට වසු පැටවුන් අස්ථාන ගතවීම සඳහන් කළ හැකි ය. එ විට ගැමියන් විසින් කරනු ලබන කෙමකි පොසක් අතු බැදීම.
මෙම කෙම දේව භාෂිතයට අයත් දේව විශ්වාසය පදනම් කරගත් පිහිට ලබා ගැනීමේ ක්‍රමයක් හැටියට සඳහන් කළ හැකි ය. එ මගින් තහවුරු වෙන දේව විශ්වාසය ගැමියන් ගේ දෙනික කටයුතු සාර්ථක කර ගැනීමට මහෝපකාරි වේ. වසු පැටවෙක් සොයා දීම දෙවියන්ට පවරා වෙනත් කෘෂිකාර්මික කටයුත්තකට ය. හැකි බැවින් එම සාර්ථකත්වය පල දරනු ලැබේ. පොල් ගසක් අතු බඳිනවා යනු, ගොක් කොළයක් ගලවා ඊට දුම්මල ටිකක් අල්ලා වසු පැටවා සොයාදෙන මෙන් දෙවියන් ගෙන් ඉල්ලා පොල් ගසක බැඳීම ය.
මෙම ඉල්ලීම කරනු ලබන්නේ මොන දෙවියන්ගෙන් ද යන්න මෙහි දී විමසා බැලීම වැදගත් ය. එය පළාතෙන් පළාතට වෙනස් මුහුණුවරක් ගන්නා බව පෙනේ. ඒ ඒ පළාත් වලට අධිගෘහිත දෙවිවරු තෝරා ගැනීමක් සිදුවෙන බව දැකිය හැකි ය. උදාහරණයක් ලෙස දක්වතොත් දඹදෙණි හත්පත්තුවේ මෙම පොල් ගස් අතු බැදී වීරමුණ්ඩ දෙවියන් උදෙසා කරන අයුරු මම ද දැක ඇත්තෙමි. අලව්ව තිරුවම් පොළ ග්‍රාම යේ වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් ඉදිකළ දෙවොලක් ඇත. එ මෙන් ම මෙම පළාතේ ගැමියෝ වසු පැටවෙක් නැතිවුණ විට වීරමුණ්ඩ දෙවියන් සිහිකොට පොල් ගසක් අතු බැඳ නැතිවුණ වසු පැටවා සොයා ගැනීමට උත්සුක වීම සුලභව දැකීමට පුළුවන. එ මගින් ඔවුහු සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බව ද පවසති.
මෙහි දී සිදුවන්නේ කුමක් ද? වසු පැටවුන් උපන් අළුත අස්ථාන ගතවීම නිතර සිදුවේ. පැටවා කිරිබොන සමය ඉක්මයන තෙක් ම එය අඩුවැඩි වශයෙන් සිදුවේ. මව් එළදෙන මෙන් බඩ පිරෙන තුරු කිරි බිව් විට වසු පැටවාට නිද්‍රාජනක ගතියක් ඇති වේ. එ විට මව ගෙන් දුරස් වෙන වසු පැටවා නිදහස් ස්ථානයක් තෝරාගෙන නින්දට වැටේ. එම ස්ථානය නිදහසේ නිදාගන්නට හැකි ආරක්ෂා සහිත වන රොදක් විය හැක. වසු පැටවා එ ලෙස පැය කීපයක් වුව ද විශ්වීක සුවයෙන් සිටීමට කැමති ය. වසු පැටවුන් ගැන විමසිල්ලෙන් සිටින ගව හිමියා එය නුරුස්සයි. තම වසු පැටවා කිසියම් උපද්‍රවයකට පත්ව ඇතැයි සොයන්නට පටන් ගනී. එහෙත් එම කාර්යය එ තරම් පහසු නොවේ. ගව හිමියා ට පොල් ගසක් අතු බැදීමට පෙළඹෙන්නේ එ විට ය.
හොඳ නින්දකින් සැහැල්ලුවට පත්වෙන වසු පැටවා බඩගිනි වෙන විට සැග වී සිටින ස්ථානයෙන් බැහැර ව මව වෙත පැමිණේ. ඒ වන විට පොල්ගස අතු බැඳ ටික වේලාවක් ගත වී හමාර ය. ඉන් පසු ව ගව හිමියා ගේ විශ්වාසය වන්නේ පොල් ගසක් අතු බැඳීමේ ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි යන හැගීම ය. එය ඔහු ගේ ඇදහිලි හා විශ්වාස ප්‍රබල අන්දමින් ශක්තිමත් කිරිමට සමත් වෙයි. කතා නො කර පොල්ගස අතු බැඳිය යුත්තේ කෙම සතු ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ය යන නිගමනය කළ හැකි ය.
Comments
Post a Comment