gossiplanka image 1
 


1ළමුන්ගේ බඩ ඇතුලේ කුරුමිණියන් හැදෙන්නේ නැත.

2 . මළපහ සමග කුරුමිණියන් දකින්නට ලැබෙන්නේ එළිමහනේ මළ පහ කරන විට පමණයි.

3. කුරුමිණියන් නිසා මන්ද පෝෂණය ඇති නොවේ.


මගේ දරුවාගේ වයස අවුරුදු 4 යි. තවමත් මළපහ කරන්නේ මිදුලේ. මළපහ එක්ක කුරුමිණියො පිටවෙනවා. අපේ අම්මා කියන්නේ දරුවට කුරුමිණි මාන්දම කියලා. ඇත්තටම ඒකත් මාන්දම් රෝගයක් ද?


කෙනෙකුගේ මළපහවලින් කුරුමිණියන් පිටවීම "කුරුමිණි මාන්දම" කියලා තමයි සාමාන්‍ය ජනවහරේ හඳුන්වන්නේ. එහෙත් කුරුමිණියන් පිට වූ පලියට මාන්දම නැතහොත් මන්දපෝෂණය ඇති වෙනවා කියල කියන්න බැහැ. කුරුමිණියන් මළපහ සමග පිටවීම ගැන වාර්තා වී තිබෙන්නේ ලංකාව සහ ඉන්දියාව වැනි රටවල වෙසෙන ළමුන් අතරෙයි. එහෙත් නවීන වෛද්‍ය විද්‍යාව මගින් එය මන්දපෝෂණය ඇති කරන රෝගයක් ලෙස නම් හඳුනාගෙන නැහැ.


නවීන වෛද්‍ය විද්‍යාව මඟින් මළපහ සමග කුරුමිණියන් පිටවීම හඳුන්වන්නේ කුමන නමකින් ද?


මළපහ සමග කුරුමිණියන් පිටවීම හඳුන්වන්නේ Scarabiasis (ස්කැරබිඒසිස්) කියලයි. මළපහ සමග කුරුමිණියන් පිටවීම යන්නයි එයින් කියවෙන්නේ. ශ්‍රී ලංකාවේ බොහෝ ගම්බද ප්‍රදේශවල ජීවත් වෙන කුඩා දරුවන් අතර මේ රෝගී තත්ත්වය දක්නට ලැබෙනවා. මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ගේ මළපහවල වගේම මන්දපෝෂණයෙන් නොපෙළෙන දරුවන්ගේ මළපහවලද මෙම කුරුමිණියන් දක්නට ලැබෙන්නට පුළුවන්. එහෙත් බොහෝ විට කුරුමිණියන් දක්නට ලැබෙන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවගේ මළපහවල නිසා කුරුමිණියන් පිටවීම සහ මන්දපෝෂණය අතර සම්බන්ධතාවයක් තිබෙන බව පෙනෙනවා. එනමුත් නියම සත්‍යය එය නොවෙයි. මෙම කුරුමිණියන් ජීවත් වෙන අපිරිසිදු පරිසරයක වෙසෙන දුප්පත් ළමුන් අතර මන්දපෝෂණයද බහුලව දක්නට ලැබීම එයට හේතුවයි.  


කුරුමිණි මාන්දම ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්ද?


අන්න වැරදි වචනය නැවතත් පාවිච්චි කළා. කුරුමිණි මාන්දම යන වචනය භාවිත කළ ගමන් අපට හැගෙන්නේ කුරුමිණියන් විසින්ම මාන්දම ඇති කරනවා යන්නයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි එය මළපහ සමඟ කුරුමිණියන් පහවීම හෙවත් ස්කැරබිඒසිස් කියල හඳුන්වමු. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. මළපහ සමග කුරුමිණියන් පිටවීම වැඩිපුරම දක්නට ලැබෙන්නේ අවුරුදු 3-5 ත් අතර දරුවන්ටයි. එහෙත් වෙනස් වයස් කාණ්ඩවල අය අතරත් මේ තත්වය කලාතුරකින් දක්නට ලැබෙන්නට පුළුවනි.


ස්කැරබිඒසිස් රෝගයේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද?


කුඩා ළමුන් එළිමහනේ මළපහ කරන විට ඔවුන්ගේ මළපහ මත ඔන්තොපැගස් (Onthophagus) විශේෂයට අයත් කුරුමිණියන් දැකගත හැකියි. උන් පරිසරයේ සිට වේගයෙන් පියඹා විත් මළපහ තුළට ඇතුල් වෙනවාද නොඑසේ නම් බඩවැල් ඇතුළේ සිට මළ සමග එළියට එනවාද යන්න හරියටම දන්නේ නැහැ. සමහර විට මළපහ මත ඔතොපැගස් කුරුමිණියන් 1 - 15 දක්වා ප්‍රමාණයක් වුවත් දැකගන්න පුළුවනි.  මෙවන් කුරුමිණියන් සහිත මළපහ හැම විටම දැක ඇත්තේ එළිමහනේ මළපහ කළ විටයි. කුරුමිණියන් මළපහ කරනවා යැයි කියා රෝහලට ගෙන ආ දරුවන් රෝහලේදී මළපහ කරන විට කුරුමිණියන් දක්නට ලැබෙන්නේ නැහැ. කුරුමිණියන් පරිසරයේ සිට වේගයෙන් විත් මළපහවල වහන බව ඉන් සනාථ වෙනවා.


මිනිසාගේ මුඛයෙන් ඇතුළු වන කුරුමිණි බිත්තර මෝරලා බඩවැල ඇතුළේ කුරුමිණියන් හැදෙන්න බැරිද?


මේ ගැන පර්යේෂණ කරල තියෙනවා. මිනිසාගේ ආමාශ යුෂ තුළ කුරුමිණියන්ට හෝ කුරුමිණි බිත්තරවලට හෝ ජීවත් විය නොහැකි බව එමගින් සොයාගෙන තිබෙනවා. ඒ නිසා මිනිසාගේ මුඛයෙන් කුරුමිණි බිත්තර ඇතුලු වී බඩවැල තුළදී කුරුමිණියන් ඇතින්වෙනවා කියලා හිතන්න අපහසුයි.


එතකොට ඔබ කියන්නේ කුරුමිණියන් නිසා මාන්දම නැත්නම් මන්දපෝෂණය ඇති වෙන්නේ නැහැ කියලාද?


ඔව්. කුරුමිණියන්ට කුඩා ළමුන්ගේ බඩ ඇතුලේ ඉඳගෙන මන්දපෝෂණය හදන්න බැහැ. වට පණුවන්ට නම් බඩවැලේ ඉඳගෙන එහි ඇති ආහාර උරාගෙන දරුවන්ට ලැබෙන පෝෂණය අඩු කළ හැකියි. කොකු පණුවන්ට බඩවැලේ එල්ලී ලේ උරාබොමින් රක්ත හීනතාවය හෙවත් පාණ්ඩුව ඇති කළ හැකියි. එහෙත් එවැන්නක් කුරුමිණියන්ගෙන් සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. එබැවින් කුරුමිණියගෙන් මන්දපෝෂණය ඇතිවේ යයි සිතීම මිත්‍යාවක්.


හොඳයි. මවක් ඔබ වෙත මළපහ සමග කුරුමිණියන් පිටකරන දරුවකු ගෙන ආවොත් කරන ප්‍රතිකර්මය කුමක් ද?


පළමුවෙන් කුරුමිණි මාන්දම කියලා රෝගී තත්වයක් නැති බවත්, කුරුමිණියන් නිසා මන්දපෝෂණය නොවැළඳෙන බව පවසා ඇයගේ හිත්තේ ඇයි බිය සැක දුරලනවා. ඊට පස්සේ කුරුමිණියන් පිටවීමට වඩා පරිසරයේ සිට උන් වේගයෙන් පියාසර කර විත් මළපහවල වහන බව පෙන්වා දෙනවා. දරුවාට මළපහ කිරිම සඳහා වැසිකිලිය භාවිතා කරන හැටි උගන්වන ලෙස මවට දන්වනවා. දරුවා පරීක්ෂා කර බලා මන්දපෝෂණය, පණු රෝග වැනි රෝග තත්ත්වයන් වෙයි නම් ඒ සඳහා අදාළ ප්‍රතිකාර කරනවා.  එහෙම නැතිව කෘමීන් නැති කරන්න විශේෂ බෙහෙතක් (කෘමිනාශක) එහෙම දරුවට දෙන්නේ නැහැ. කෘමිනාශක වස බව දන්නවන්නේ.