කෙම
තිත්ත වැටකොලු, අබ යන දෙවර්ගය අඹරා බඳුනක බහා කුඹුරේ තබනු. අස්වැන්න කැමට පැමිණෙන කුරුල්ලෝ එම කුඹුර මග හැර පලා යති.
එහි විද්‍යාත්මක පදනම
වී ගොවිතැන්නේ දී කුරුල්ලන් ගෙන් වන හානිය ද සුළු පටු නොවේ. එම අලාපාලුව වළකා ගැනීම සඳහා ගොවියෝ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරති. ඒවා බොහොමයක් උන් පළවා හැරිමේ ක්‍රියාමාර්ග මිස උන් විනාශ කිරිමේ පාපතර ක්‍රියා මාර්ග නොවේ. පැරණි ගොවියා කුඹුරු වගාකොට අස්වනු ගෙට ගත්තේ කිසි ම සතෙකුට හිංසාවක් පීඩාවක් නො වන අයුරින් ය යන්න එම ක්‍රියාමාර්ග වලින් හෙළි දරව් වේ.
ටකපෝරු හැඩවීම, කෑ කෝ ගසා එළවීම, දිය හොල්මන සවි කිරීම යනාදිය ඊට කදිම නිදසුන් ය. එ මතු ද නොවේ. ඊට අමතර ව ඔවුන් කුරුළු පාලුව ද වෙන් කළේ ය.ඒවාට අමතර ව කුරුල්ලන් පළවා හැරීම සඳහා ඔවුන් තෝරාගත් තවත් ක්‍රම වේධයකි කෙම් ක්‍රම.
කෙම් ක්‍රම මගින් ඔවුහු සාර්ථක ප්‍රතිඵල ලැබූහ. එය සරල බැවිනුත්, කෙම කළ පසු කුඹුරේ රැදී සිටිමේ අවශ්‍යතාවයක් නො වන බැවිනුත් වඩාත් පහසු විය. කුරුල්ලන් පළවා හැරීම සඳහා කළ හැකි කෙම් ක්‍රම රාශියක් ගොවි ජනතාව අතර ප්‍රචලිත ව පවතී. මෙහි උපුටා දක්වන්නේ එම කෙම් ක්‍රම අතුරෙන් ඉතාමත් සාර්ථක, වඩාත් පහසුවෙන් කළ හැකි කෙමකි. එය හඳුන්වනු ලබන්නේ තිත්ත වැටකොලු කම යනුවෙනි. ඊට උපයෝගී කර ගන්නේ තිත්ත වැටකොලු සහ අබ ය. අබත තිත වැට කොලුත් අබරා මුසුකොට මිශ්‍රණය සාදා ගත යුතු ය. තිත්ත වැටකොලු කෙසේ වෙතත් අබ ආහාර සඳහා යොදා ගත්තත් මිහිරි රසයෙන් යුක්ත නොවේ. මිනිසුන් ප්‍රිය කළත් කුරුල්ලෝ ප්‍රිය නො කරති. උන් අනුභව කරන්නේ මිහිරි පල වැළ ය. මෙම දෙවර්ගය සකසා බඳුනකට දමා කුඹුර මැදින් තැබුව විට කුරුල්ලෝ ඒ අසලකට වත් නො පැමිණේ. ඊට හේතුව එයින් කුරුල්ලන්ට අප්‍රසන්න ගන්ධයක් සුළගට මුසු ව පැතිර යන බැවිනි. අපේ පැරැන්නෝ කුරුල්ලන් ගේ රුචි අරුචිකම් දැන උන්ට අප්‍රසන්න තිත්ත වැටකොලු සහ අබ තෝරාගෙන මෙම කෙම සකසා අත්හදා බලා ප්‍රතිඵල සාර්ථක බව දැන සමාජගත කොට ඇති අයුරු පෙනේ. කතා නො කර මෙම කිරිමට නියම ව ඇත්තේ එහි සුරක්ෂිත භාවය තහවුරු කිරිම සඳහා ය යන්න නිගමනය කළ හැකි ය.
Comments
Post a Comment