gossiplanka image 1
 

ජටාමාංශ, එළ කටරොල් සහ ඇත් දෙමට මුල් යන ඖෂධ වර්ග තුන මකුණන් ඇති ඇඳක හෝ පුටුවක කකුල් හතරේ රතු රෙදි කෑලි හතරක් ගෙන කතා නො කර බඳිනු. මකුණන්ගේ කරදරය දුරුවේ.

එහි විද්‍යාත්මක පදනම

අතීතයේ ගම්වල ජීවත්වුණ ගැමියෝ මැසි මදුරු මකුණු උකුණු ආදී සතුන් ගේ උවදුරු එළඹුණ විට උන් පළවා හැරීම සඳහා කෙම් ක්‍රම භාවිතා කළහ. එ වන් කෙම් ක්‍රම තවමත් අපේ  ජන සමාජය තුළ ප්‍රචලිත ව තිබේ. එහෙත් කණගාටුවට කරුණ වන්නේ ඒවා භාවිතා කොට එම උවදුර බැහැර කර ගතෝ එන්න එන්න ම අඩුවීම ය. ඒ වෙනුවට ඔවුහු අද ඒ සඳහා පරිසරයට පවා අහිතකර කෘමි නාශක ගණයේ ලා ගිණිය හැකි වස විෂ වර්ග භාවිතා කරන අයුරු දැකිය හැකි ය. එ මගින් ගැමි ජන සමාජයට සෘජු ව නො වූවත් වක්‍ර ව සිදුවන හානිය ඔවුන් වෙත සෙමින් සෙමින් ළගාවෙමින් පවතී. එම කරුණු කාරණා කෙසේ වෙතත් මෙහි අරමුණ වන්නේ අදාළ කෙම පිළිබඳ ව විමර්ශනයක යෙදී එහි විද්‍යාත්මක පදනම සොයා යෑම ය.

මකුණන් පළවා හැරීමේ මෙම කෙම ක්‍රියාවට නැංවීමේ දී කෙමක ඇති අනන්‍යතාවය කතා නො කිරිල්ලෙන් තහවුරු කර තිබේ. එ මෙන් ම ඒ සඳහා යෝග්‍යතාවය සුරකිමින් ඖෂධ තුනක් භාවිතයට ගෙන ඇති අයුරු පෙනේ. සාමාන්‍යයෙන් කෙම් ක්‍රම වල දී ඖෂධ සහ මන්තර භාවිතා කිරීම අළුත් දෙයක් නොවේ. බොහොමයක් කෙක්කුම හා ඖෂධත්, මන්තරත් බද්ධ වී ඇති අයුරු දැකිය හැකි ය.  

ජටාමාංශ, එළකටරොල් සහ ඇද්දෙමට මුල් වල ඖෂධීය ගුණ සංයුතිය ගැන විමසා බැලුවහොත් මකුණන්ට ඒවා විෂ සහිත බව අවබෝධ කර ගැනීමට පුළුවන. එම නිසා එහි ඇත්තේ මකුණන්ට නො රිසි ස්වහාවයකි. ඒවා මකුණට කොහෙත් ම හිතකර නොවේ. එමෙන්ම එම ඖෂධ ඇඳ හෝ පුටු කකුල් වල බැඳීමට ගන්නා රෙදි කැබලිවල වර්ණය ද උන්ට හිතකර නොවේ.රක්ත වර්ණය මැසි මදුරුවන්ට හිතකර නො වන්නා සේ ම මකුණන්ට ද හිතකර නොවේ. රා තැබෑරුම් වල සහ මස් වෙළඳසැල්වල මැසි මදුරු කෘමිණ පළවා හැරීමට රක්ත වරණය පිංතාරු කිරීම ඊට කදිම නිදසුනකි. මෙම කෙම මගින් මකුණන්ට අහිතකර ඖෂධ කීපයක් සහ වණයක් භාවිතා කිරිම මගින් උන් පළවා හැරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාවට නංවන බව විශ්වාස කළ හැකි ය.