gossiplanka image 1
 සේනාරත්න (ආරූඪ නමකි) කලක් ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලයක සේවය කොට අනුරාධපුර දිස්ත්‍රික්කයට ස්ථාන මාරු වී ආ රජයේ සේවකයෙකි.


සිය දියණිය, පුතණුවන් හා බිරිය සමග අනුරාධපුර රජයේ සේවකයන් සඳහා වෙන් වූ නිවාස සංකීර්ණයකය හෙතෙම නවාතැන් ගෙන සිටියේ නිවාස සංකීර්ණයේ කා සමගත් සුහදව ජීවත් වූ ඔහු එහි ප්‍රසිද්ධ චරිතයක් විය. එම නිවාස සංකීර්ණයේ මඟුලක්, මරණයක් සිදු වූයේද ඔහු එම ස්ථානයේ පෙරමුණ ගෙන සිටියේය.


ගමන පා පැදියෙනි. බිරිද විසින් සිතා දෙන දිවා ආහාර පැකැට්ටුවද රැගෙන උදෑසනම පා පැදියෙන් කාර්යාලයට යන ඔහු අතිකාල සේවයේ යෙදී සවස නිවස කරා එන්නේ නගරය ආසන්නයේ ඇති රෙස්ටුරන්ට් එකෙන් පොඩි අඩියක් ද ගසාගෙනය. රාත්‍රි අට පමණ වන විට නිවසට පැමිණීම දින චරියාවය.


පසුගිය දිනක කාර්යාලයේ අතිකාල සේවයද නිම කොට රෙස්ටුරන්ට් එකට ගියේ සුපුදුරු පරිදි පොඩි පහේ අඩියක් ගසා නිවසට යාමේ අරමුණෙනි. එහෙත් එහිදී අහම්බෙන් හමු වූ පැරණි මිතුරන් තිදෙනකු නිසා ඔහුගේ සුපුරුදු දින චරියාව වෙනස් කිරීමට ඔහුට සිදු විය. මිතුරන් තිදෙනා ගෙන් වරින්වර ලද වීදුරු සංඛ්‍යාව වැඩිවෙත්ම ඔහුගේ පදම ද ඉක්මවා ගොස් තිබුණි.


වදෙන් පොරෙන් මිතුරන්ගෙන් මිදී නිවසට යාමට එළියට බසිද්දී මුළු පළාතම ඝන අඳුරෙන් වැසී වෙනදාටත් වඩා රෑ බෝවී තිබුණි.


තා අමාරුවෙන් පා පැදියේ එහාටත් මෙහාටත් පැද්දි පැද්දී නිවසට ආ ඔහු දොරට කිහිප වරක් තට්ටු කළේය. නිවස තුළින් කිසිවකුගේ හෝ කටහඬක් ද නැත. ඔහුට කේන්ති ගියේය. ඔහු දොරට පා පහරක් එල්ල කළේය. හරි ගියේ නැත. ඊළඟ වතාවේ ඉතා වැරෙන් පා පහරක් එල්ල කළේය. දොරේ අගුල ද ගැලවී දොර විවෘත විය. විවෘත වූ දොර එසේම තිබියදී ඔහු කෙලින්ම ඉදිරිපස කාමරයට ගොස් සයනයේ වැතිරිණි. හෙතෙම හොඳටම ගොරව ගොරවා නිදන්නට විය.


සිය සැමියා වෙනදා නිවසට එන වේලාව පසුවීම නිසා ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමග නිවස ඉදිරිපසට පැමිණ බලා සිටියද ඔහු පැමිණියේ නැත. ඔවුහු නොනිදා රැය පහන් කළෝය.උදෑසනම මෙම පිරිස අසල්වැසියන්ට ඔහුගේ නොපැමිණීම දැන්වීමත් සමග ඔහුට කරදරයක් වීදැයි බියට පත්ව ඔහු සොයා යාමේ අරමුණෙන් අසල්වාසීන් පෙළගැසුණි.


මේ අතර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පෙරේරා මහතා (ආරූඪ නමකි) පසුගියදා සවස මරදන් කඩවල හිතවතකුගේ මළ ගෙදරට සහභාගී වී සිය බිරිඳ සමග වාහනයෙන් උදෑසන සිය නිවසට පැමිණ බලද්දි දුටුවේ තම නිවසේ දොර කඩා විවෘත කර ඇති බවකි. සිහු මේ බව අසල්වාසීන්ට දැන්වීමත් සමඟ පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටද මහා කළබ ගැණියක් බවට පත්විය.


පෙරේරා මහතාගේ නිවසට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු විවෘත කර තිබු දොරටුවෙන් නිවස තුළට යද්දි දැක ඇත්තේ ඉදිරිපස කාමරයෙන් මහා හඬින් ගොරවා ගෞරවා නිදන අයෙකි. ඔවුහු ගොරවන පුද්ගලයා ළගට ගොස් හොඳින් විපරම් කරද්දී දැක ඇත්තේ පසුගිය දින රාත්‍රියේ නිවසට නොපැමිණියේ යැයි කියන සේනාරත්නය.


තම සැමියා සොයා නිවසින් එලියට පිවිසි සේනාරත්නගේ බිරිඳටත් හිතුවතුන්ටත් සේනාරත්න, පෙරේරා මහතාගේ නිවසේ නිදන බව සැලවිය. ඔවුහු සියලු දෙනා පෙරේරා මහතාගේ නිවසට රැස් වූහ. බිරිද නිවස තුළට ගොස් සේනාරත්නගේ සිරුර සොලව සොලවා බොහෝ වෙහෙසක් දරා ඔහු අවදි කර ගත්තේය. රැස්ව සිටි නිවාස සංකීර්ණයේ හිතවතුන්ගේ මුහුණවත් නොබලා ඔහු ඉදිරිපස නවතා තිබූ පා පැදියේ නැගී නිවස දෙසට යන්නට ගියේ සියලු දෙනාගේ සිනා හඬ මධ්‍යයේය.


සිදුවූ සියල්ල පැහැදිලි කිරීමට කිසිවෙකුට අවශ්‍ය නොවීය. නිවාස සංකීර්ණයේ සියලුම නිවාස ඉදිකර ඇත්තේ එකම සැලසුමකටය. සේනාරත්න තමාගේ නිවස කියා දොර කඩා ඇතුළු වී ඇත්තේ පෙරේරා මහතාගේ නිවසටය. සේනාරත්න එදිනම දොර අගුලක් මිලට ගෙන පෙරේරා මහතාගේ දොර අලුත්වැඩියා කර දුන්නේය.

එදින් එදාට සේනාරත්න නම් රැබෝවී නිවසට ආවේ නැත. එහෙත් නිවාස සංකීර්ණයේ මඟුලක් මරණයක් පැවති දිනයක නම් සේනාරත්නට හිතුවතුන්ගෙන් නම් කෙරිල්ලක් නොවුනි.

අදත් පෙරේරා මහත්තයාගේ ගෙදර කවුරුත් නැහැ. එහේ නිදා ගමුද? යැයි හිතවතුන් සේනාරත්නට විහිලු කරන විට ඔහු විලියෙන් එහාටත් මෙහාටත් ඇඹරෙමින් නිහඬවම සිටිති.