ඕ.අයි.සී.ගේ මස්සිනා සමග අඩියක් ගසා හෙල්මට් නොමැතිව යතුරු පැදියෙන් ගිය මහතුන්ට පොලිස් මුර පොළේදී තරු විසිවූ පුවතක් මාතලේ පැත්තේ පොලිසියකින් වාර්තා විය. කවුරුත් ඔහු ඇමතුවේ 'මහතුන්' යන නමින්ය. ගමන් බිමන් ගියේ යතුරු පැදියෙනි. ඈත ගමනක් නම් මහතුන් ගියේ බසයකිනි. රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු වන මහතුන් අවිවාහකයෙකි. පඬිදාට අඩියක් ගැසීමේ පුරුද්දක් ඔහුට ඇත. එක්තරා පඬි දිනක යතුරු පැදිය බීම හලක මිදුලේ නතර විය. බිම්හලට ඇතුල් වූ මහතුන් මත්පැන් වඩියක රස බලමින් සිටියේය. ඔහුගේ මිතුරෙක් ද පැමිණ ඉදිරි අසුනේ වාඩි විය.
කාලෙකින් මුණගැසුණ මිතුරෝ දෙදෙනා පදමට පදම් වූහ. හොඳටම වෙරිවි බිල ගෙවා දමා මිදුලට බැස්සාහ. හිතවත්කම නිසා මිතුරා දමා යා නොහැකි බැවින් මහතුන් මිතුරාද යතුරු පැදියට නංවා ගත්තේය. මහතුන්ගේ හෙල්මටය බිම හලේ අමතක වී ගොසිනි. ටික දුරක් යද්දි මහතුන්ට හෙල්මටය සිහි විය.
"මචං මගේ හෙල්මට් එකත් අමතක වෙලා උඹටත් හෙල්මට් නැ" වෙරි මතින් වුණත් මහතුන්ට නීතිය මතක් විය.
අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද දැන් ඉන්න ඕ.අයි.සී. මගේ මස්සිනා යමු බය නැතිව ප්‍රශ්නයක් වුණොත් මම බලා ගන්නම්' යයි මහතුන්ගේ මිතුරා පැවසීය. මහතුන් හිතට හයිය ගෙන යතුරු පැදිය පිමිමේ පැදවිය. මද දුරක් ගියේය. ඉදිරියේ පොලිස් මුර පොළකි. මහතුන්ට බිය වීමට කාරණයක් නැත. ඕ.අයි.සීගේ මස්සිනා පිටුපසිනි. පොලිස් නිලධාරියෙක් යතුරු පැදිය නතර කළේය.
මහත්තයෝ ගන්න ලයිසන් ඉන්ෂුවරන්ස්' පොලිස් නිලධාරියා කීවේය.
ඇයි මොකටද? මහතුන් ගාම්බීර ලෙස විමසීය.
'කෝ හෙල්මට්' නිලධාරියා විමසීය.
රාළහාමි දන්නවද මේ ඉන්නේ කවුද කියලා' මහතුන් දකුණු අත තම උරහිසට උඩින් ඔසවා මහපට ඇඟිල්ල පිටුපසට දිගු කරමින් ඇසුවේ ඉතා ගම්භීරය.
'කවුද මිනිහෝ ඉන්නේ? රාළහාමි කේන්තියෙන් විමසීය.
'රාළහාමි දැන ගන්ඩ මේ ඉන්නේ ඕ.අයි.සී. මහත්තයාගේ මස්සිනා' මහතුන් වෙරි මතින්ම පැවසීය.
මොන මස්සිනාද මිහිහෝ රාළහාමි මහතුන්ගේ බෙල්ලෙන් අල්ලා සෙළවීය. මහතුන් පිටුපස හැරී බැලීය. ඔහුගේ වෙරි සිඳුණි. පිටුපස අසුනේ මස්සිනා නොවිය. ඔහු අතර මගදි යතුරු පැදිය ආ වේගය නිසා ඇද වැටී ඇත. මහතුන් රාළහාමිගෙන් හොඳටම බැනුම් ඇසීය. ඒ මදිවාට දඩ කොලයක් ද ලැබුණි. බීමතින් රිය පැදවීම ගැන නඩු පවරන බවද රාළහාමි පැවසීය. යතුරු පැදිය සමඟ මහතුන් ද පොලිස් අත්අඩංගුවට පත්විය.
Comments
Post a Comment