යළි කිසිම දිනෙක මත්පැන් උගුරක් වත් නොබොන බවට දේවාලයක වැඳ වැටෙමින් පොරොන්දු වූ පුද්ගලයෙකු මිතුරන්ගේ කීමට යළි බිමට පටන්ගෙන ඇති පුවතක් බෝවත්තට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ.
අසන්නට ලැබුණ පරිදි සිද්ධිය මෙසේය. ඔහු තදින්ම මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වූ තැනැත්තෙකි. අතේ මුදල් නැති විට ඉඩමේ පොල්ගස්වල පොල්ගෙඩි ටිකක් පොල් මුරයට කලින් කඩා අලෙවි කොට මත්පැන් බිමට පුරුදුව සිටි මොහු ගමේ අරක්කු මුදලාලිලාට රුපියල් දහස් ගණන් ණය විය. ඒ නිසා සතිපතා රැකියාවෙන් ලබාගන්නා මුදල ද ණයට හිලව් කිරීමට පුරුදුව සිටියේය.
මත්පැන් පානයට ඇබ්බැහි වුණ යහළු මිත්‍රයෝද වැඩි වශයෙන් ඔහුට සිටියහ. සැමියාගේ ක්‍රියා කලාපය බිරිඳට මහත් හිසරදයක් බවට පත් වී තිබුණි නිතර නිතර නිවසේ අගහිගකම් වලට මුහුණ දෙන්නට සිදුවිය. අතමිට මිල මුදල් ද හිගවන්නට විය. සැමියාගේ බිම නවතන්නට ක්‍රම උපායක් බිරිඳ නිරතුරුවම සෙව්වාය. එක්වරක් පෞද්ගලික වෛද්‍යවරයකුට මේ ගැන පවසා බෙහෙත් රැගෙන විත් සැමියාට පෙව්වේය. එයින් ප්‍රතිපලයක් නොලැබුණ හෙයින් දේවාලයක් වෙත ගොස් ශාස්ත්‍රයක් ආසවාය. ඒ දේවාලයේ කපුමහතා භාරය වී තම ස්වාමියාගේ බිමත්කම නවතා දමා සහනයක් උදාකර දෙන බවට පොරොන්දු වී ඇත. ඒ සඳහා පූජා වට්ටියට රුපියල් දොළොස් දහසක මුදලක් පඬුරු වශයෙන් අවශ්‍ය බව ද පවසා ඇත.
එම දේවාලයෙන් පිහිට ලබා ගැනීමට මත්පැන් බොන අය රැගෙන ඒම නිසා මතට තිත තබන දේවාලයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්වී ඇත.
දෙවියන් ඉදිරියේ වත් මෙල්ල නොවන සැමියා දේවාලය වෙත රැගෙන යාම ද අසීරු කරුණකි. ගමේ සිට දේවාලය පිහිටි ස්ථානයට සැතපුම් කීපයක් යායුතු බැවින් සැමියා රැගෙන යාමට ක්‍රිරෝද රථයක් සූදානම් කර ගත්තාය.
පූජාවට්ටියට අවශ්‍ය පඬුරු ආදියත් තැඹිලි ගෙඩි කීපයකුත් රැගෙන දේවාලය වෙත ගොස් බීම නැවැත්වීමට අවශ්‍ය ශාන්ති කර්මය සිදු කර ගෙන සතුටින් නිවෙස වෙත ආවේය. එහෙත් අඩුම තරමින් සතියක්වත් ගත වූයේ නැත. මිතුරන් සමග එක්වී සැමියා යළි සුපුරුදු පරිදි බීමට පටන්ගෙන තිබේ. දේවාලයට පූජා වට්ටිය මත තබා ඔප්පු කළ රුපියල් දෙළොස් දහසක මුදල බිරිඳ ගමේ අයගෙන් ණයට ඉල්ලාගත් මුදලකි. සැමියා විසින් මුලින් ගෙවන බවට තීරණය කළ මේ මුදල ගෙවා දැමීමට සිදුව තිබෙන්නේ බිරිඳට වීම විශේෂත්වයකි.
Comments
Post a Comment