gossiplanka image 1
 


ශ්වාසනාලයට වාතය සමග ඇතුළු වන දුම් දූවිලි ආදී විවිධාකාර වූ අපද්‍රව්‍ය සමහරුන්ට ආසාත්මිකතාවන් ඇති කරන්නට හේතු වෙයි. මේ ආසාත්මිකතාවෙහි ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමය.  නිතර නිතර මේ තත්වය ඇති වන විට ශ්වාසනාලයේ ඇතුළත බිත්ති ඉදිමීමට පටන් ගනී. ඇතුළත බිත්ති ඉදිමීමෙන් සිදුවන්නේ හුම එහා මෙහා යන මාර්ගය තවදුරටත් පටු වීමය.  හුස්ම ගැනීම හා පිට කිරීම යනු ස්වාසනාලය දිගේ ඒ අතටත් මේ අතටත් වාතය ගමන් කිරීමය. මෙසේ නිතර එහා මෙහා යන වාතය නිසා ශ්වාසනාලය තුළ ඉහත කී ආකාරයට සෑදුණු දියරය  වේළෙන්නට පටන් ගනී. එලෙස වේළී ගන වීම නිසා ශ්වාසනාලය තවදුරටත් පටු වීම සිදුවනු ඇත. දැන් ඒ තැනැත්තාට හුස්ම ගැනීම අපහසු නැතත් එය පිට කිරීම ඉතා අපහසුය. අසීරුවෙන් හුස්ම පිට කිරීමේ දී ශබ්දයක් ද නිකුත් වෙයි. මීට අමතරව සැන්දෑ කාලයේ සිට පාන්දර යාමය දක්වා දේශගුණය උණු සුම් බවින් අඩු කාලයට හුස්ම ගැනීම අපහසු වීම සහ දිවා කාලයේ දේශගුණය උණුසුම් වන විට යළි සාමාන්‍ය තත්වයට පැමිණීම ද මේ රෝගීන් තුළ දැකිය හැකිය. මෙම ලක්ෂණ ඇත්නම් එය ඇදුම රෝගයයි.


ඇඳුමට ප්‍රතිකාර


සාර්ථකම ප්‍රතිකාරය වන්නේ ඉන්හේලර් ප්‍රතිකාරයයි. මුඛයෙන් ගන්නා පෙති, කරල් වැනි ඖෂධ රුධිරයට මුසු වී ශරීරය පුරාම ගමන් කර පෙණහලුවලට යන්නේ එයින් ඉතා කුඩා ප්‍රමාණයකි. කටින් උරන දුමට ඖෂධ මිශ්‍ර කර ලබා දෙන අතර එය කෙළින්ම ගමන් කරන්නේ පෙණහලුවලටය.  මේ දුම නිසා තද වී ඇති මස්පිඬු බුරුල් වේ. ඒ නිසා එම මොහොතේම ශ්වාසනාලය දිග හැරි අපහසුතාව මග හැරෙනු ඇත.


මෙම ඉන්හේලර් වර්ග දෙකකි.


01. එකවරම පපුවේ මස්පිඩු බුරුල් කරන ඖෂධ

02. ශ්වාසනාලයේ ඉදිමීම සුව කරන ඖෂධ


මෙම ඖෂධ දෙවර්ගයම ඉහේලර් ලෙස රෝගියාට උරන්නට ලබා දෙනු ඇත. ඒ වර්ග දෙක ගෑස් වශයෙන් ද කරල් වශයෙන් ද ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ. පළමු කී කරල් ලබා දෙන්නේ හතිය ඇති විටය.  දෙවනුව කී කරල් විශේෂය ශ්වාසනාලයේ ඉදිමුව අඩු කිරීම සඳහා දෙන්නකි. මෙම දෙවනුව කී වර්ගය මාස හයක කාලයක්වත් ගත යුතු වේ. හේතුව ඉදිමුව ඇති වූ පසු එය දවසකින් දෙකකින් හෝ මාසයකින් හමාරකින් හෝ බසින්නේ නැති බැවිනි. නමුත්, බොහෝ විටම රෝගීන් කරන්නේ දින කිහිපයක් ගෙන සුවයක් නැතිනම් එය නවතා දැමීමය. එයින් උත්සන්න බවට පත් වන්නේ තමන්ගේම අසනීපය බව රෝගීන් වටහා නොගැනීම අවාසනාවකි. මාස හයක් පමණ කාලයක් මේ ප්‍රතිකාරය ගැනීම තුළින් ශ්වාසනාලයේ ඉදිමීම සුව කළ හැකි වනු ඇත. මේ ඉන්හේලර් වර්ග දෙක ලබා දෙන්නේ එකක් මුලින් ලබා දී ඊළගට අනෙක වශයෙනි. වෛද්‍යවරයා එය නියම කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම ඒ උපදෙස් අකුරට පිළිපැදීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම මතක තබා ගත යුත්තක් නම් ඉන්හේලර් භාවිතා කළ හැම වාරයක්ම කට සෝදා ගැනීමය. එයට හේතුව එම ඖෂධවල අඩංගු හෝමෝනය මුඛය තුළ ගෑවීම නිසා එක්තරා දිලීර වර්ගයක් හට ගැනීමට තිබෙන අවකාශයයි.


මිල අඩු හති පෙත ඇදුමට නුසුදුසු ද?


ඇදුම රෝගීන් වැඩි දෙනෙක් ඉන්හේලර් භාවිත කිරීමට මැළි වෙති. ඒ වෙනුවට ඔවුන් එක් පෙති විශේෂයක් ගැනීමට කැමැතිය. මෙය සාමාන්‍ය ජනයා හඳුන්වන්නේ  හති පෙත්ත ලෙසිනි. මෙම පෙත්ත ගැනීමේ දී දින තුනක් පමණ යන විට හතිය සුව වේ.  නමුත්, මේ පෙති වර්ගය නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසීස්, ආමාශයේ තුවාල, ඇස්වල සුද වැනි රෝග පවා හට ගැනීමේ අවදානමක් ඇත. ඉහත කීවාක් මෙන් ඖෂධ පෙති කරල් ආදිය මුඛ මාර්ගයෙන් ගැනීමේ දී සිදුවන්නේ එය රුධිරය සමග මිශ්‍ර වී ශරීරය පුරා ගමන් කිරිමය. එනිසා ඉහත කී අමාරම විවිධාකාර රෝග තත්වයන් හට  ගැනීමට මෙය බලපානු ඇත.


ඉන්හේලර් ගතහොත් එය නැතිවම බැරි තත්ත්වයට පත් වෙනවා ද?


මෙය මිථ්‍යා මතයකි. එය නැතිවම බැරි වන්නේ නිසි පරිදි ගෙන රෝගය පාලනය කර නොගත් විටය. මෙය දිගටම ගත්තත් අහිතකර ව න්නේත් නැත. එයට හේතුව මෙම ඖෂධ  වල අඩංගු වන්නේ හෝමෝනයක් නිසාය. මේ හෝමෝනය අපේ ශරීරය තුළත් පවතියි. එය ඉන්හේලර් මාර්ගයෙන් කෙළින්ම  පෙණහලුවලට ලබා දෙන්නේ රෝගය මර්දනය කරන්නටය.


ඇදුම ඇති විට වැළකිය යුතු දේවල්


මකුළුදැල්, ගෙතුළ දූවිලි, ඇඳන්වල මෙට්ටවල තිබෙන දූවිලි, පොත්පත්වල රැදුණු දූවිලි, කැරපොත්තන් වැනි කෘමීන්ගේ අපද්‍රව්‍ය, බළලුන්ගේ කෙළ බිඳිති මුසු වාතාශ්‍රය, ශීතල දේශගුණය පින්න ඇදුම රෝගීන්ට අගුණ විය හැකිය. නමුත්, මෙවැනි දේවල  ආසාත්මික නොවන අයට මේවායින් කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවේ. රෝගය උත්සන්න වුවහොත්  ගෙදර දී ප්‍රතිකාර කරමින් නොසිට ඉක්මනින් රෝහලකට රැගෙන යන්න. එහි දී මුඛ මාර්ගයෙන් බටයක් යවා ස්වාසනාලය ඉක්මනින් පුළුල් කරන ඖෂධ ක්ෂණිකව ලබා දෙනු ඇත. මේ කිසිවක් සාර්ථක වන්නේ නැත්නම් හුස්ම මාර්ගයට පිටින් බටයක් මුඛයෙන් ඇතුල් කර යන්ත්‍රයක් මගින් ශ්වසනය ලබා දී හෝ ජීවිතය ගලවා ගත හැකි වනු ඇත. එතුළින් හුස්ම ලබා දී රෝගියා  අසාධ්‍ය තත්වයෙන් මුදා ගත හැකි වේ.