gossiplanka image 1
 

අපේ රටේ ජනතාව වෛද්‍යවරුන් වෙත පැමිණ බහුලවම පළ කරන රෝග ලක්ෂණයක් වන්නේ සෙමය. මීට අදාළ රෝග සෑහෙන ප්‍රමාණයක් තිබෙන අතර, බොහෝ දෙනකුට ගැටලුවක් වී පවතින මේ “සෙම” යනු කුමක් ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වේයැයි සිතමු.  උගුරේ සෙම පැටලීම, හුස්ම ගෙනයන මාර්ගය හෙවත් ශ්වාසනාලය අවහිර වීම, නිතර කහින්නට දැනෙන අවශ්‍යතාව, නාසය තදවීම, මොළය බරවීම හෙවත් හිසේ කුහර තුළ සෙම හිරවීම වැනි මෙකී නොකී බොහෝ දේ මිනිසුන් පොදුවේ හඳුන්වන්නට පුරුදු වී හිඳින්නේ සම ලෙසිනි.


සෙම කොහොමද  හැදෙන්නේ?


අපේ පපුවේ මස්පිඬුවලට යටින් ඇත්තේ ඉළ ඇටය. ඊටත් යටින් සිවියක් තිබේ. එහි ඇතුළතින් ඇත්තේ පපුව පිරෙන්නටම විශාල කුහර දෙකකි. එම කුහර පපුවේ උඩ සිට පහළ දක්වාත්, පිට ප්‍රදේශය දක්වාත් වම් පැත්තේ සහ දකුණු පැත්තේ වෙන් වෙන්ම පිහිටා තිබේ. එම කුහර තුළ නිදැල්ලේ පිහිටා ඇත්තේ ස්පොන්ජ්  දෙකක් බඳු වම් සහ දකුණු පෙණහලු දෙකයි. මෙම පෙණහලුවලට ස්පොන්ජ් එකක් ලෙස හැකිළෙන්නට හැකියාව ඇත. ස්පොන්ජ් එකේ මෙන්ම මෙහි ද සියුම් කුහර තිබේ. වෙනසකට ඇත්තේ ස්පෙන්ජ්  එකක් මිරිකූ විට හැම පැත්තෙන්ම හුළං පිටවන අයුරින් පෙණහලුවල හැම පැත්තෙන්ම හුළං පිට නොවීමය.පෙණහලුවල ඇති ඉතා කුඩා හැම කුහරයක්ම බැලුමක් මෙනි. මේ හැම බැලුමකටම බටයක් බඳු නාලයක් බැගින් පිහිටා ඇත. හරියටම කිවහොත් අප කුඩා කල සෙල්ලම් කළ දිග බටයකට සම්බන්ධ කළ බැලුමක් වූ මම්ම පප්පා නළාවක් මෙනි. මේ කුඩා නාල කීපයක් ඊට වඩා ලොකු නාලවලටත්, ඒ නාල කිහිපයක් තවත් ලොකු නාලවලටත් අවසානයේ ඒවා ප්‍රධාන එක් නාලයකටත් යනාදී වශයෙන් සම්බන්ධ වී පවතියි. ඒ අනුව වම් පැත්තේ එක් ප්‍රධාන නාලයකුත්, දකුණු පැත්තේ අනෙක් ප්‍රධාන නාලයත් තිබේ.


මේ ප්‍රධාන නාල දෙක සම්බන්ධ වන්නේ ශ්වාසනාලයට, එනම් ප්‍රධාන හුස්ම මාර්ගයටය. එය උගුර තෙක් පැමිණ නාසයෙන් හා කටින් හුස්ම පිට කළ හැකි හා ඇතුළු විය හැකි ආකාරයට පිහිටා ඇත. සෙම ගැන දැන ගන්නට ඔබට මෙම කරුණු දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. හුස්ම ඇතුළට ගැනීම හෙවත් ආශ්වාසය යනු ඉළ ඇට පිඹීමය. එවිට ස්පොන්ජ්  වැනි පෙණහලු ද පිම්බෙයි. ඒ අනුව වාතය ශ්වාසනාලය දින්ගේ පපුවට ගමන් කරයි.   හුස්ම පිට කිරීමේ දී, එනම් ප්‍රාශ්වාසයේ දී සිදුවන්නේ ඉළ ඇට හැකිලී පොන්ස් වැනි පෙණහලු මිරිකීමය. එවිට ඊට සම්බන්ධ හැම හුළං බෝලයක්ම ඒවා සම්බන්ධ වී ඇති නාලවලට වාතය පිට කර හරිනු ඇත. මෙසේ හැම පැත්තෙන්ම වාතය, පැමිණ එකවර විශාල හුළං ප්‍රමාණයක් සිරුරින් පිට වෙයි. මෙය ප්‍රශ්වාසයයි.


අප කතා කිරීම යනු කුමක් ද?


උගුරෙන් වාතය පිට වන්නේ නිකන් නොවේ. උගුරේ ඇති නූල් දෙකකට සමාන ස්වර තන්ත්‍ර දෙකක් මැදිනි. එම ස්වර තන්ත්‍ර අතර හිඩැසක් ඇත. මේ හිඩැස අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම යනු ශබ්ද පිට වීමයි. මෙසේ ශබ්ද පිට වීමේ දී දිගින් දිගටම වාතය ද පිට වේ. අප කතා කිරීම ලෙස හඳුන්වන්නේ මෙම ශබ්ද පිට වීමය.



උගුරේ සෙම පැටලීම සහ කැස්ස


සරලව කිවහොත් උගුර වැසෙමින් එකවරම පපුව මිරිකී වාතය පිටතට විහිද යාම කැස්සය. මෙය හට ගන්නේ කෙසේ ද?අප හුස්ම ගන්නා විට අපේ පියවි ඇසට නොපෙනෙන විවිධාකාර දූවිලි, කුඩු වර්ග, දුම් වැනි දෑ වාතය සමග අපේ ශරීරය තුළට පිවිසෙයි. හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා ඇතුළුවන මේ අපද්‍රව්‍ය අපේ ශ්වාසනාලය පුරාම පැතිරෙනු ඇත. අපට බොන වතුර උණු කර පෙරා පානය කිරීමේ හැකියාව තිබුණ ද, දුම් දූවිලි ඉවත් කර පිරිසිදු කර ගත් වාතය ආශ්වාස කිරීමේ හැකියාවක් මොන ජගතෙකුටවත් නැත. නොමිලේ අපට ලැබෙන එකම දෙය වන වාතය පවතින ආකාරයෙන්ම පිළිගන්නට සිදුවෙයි. කෙසේ වුව ද මේ ආකාරයට අපද්‍රව්‍ය ඇතුළු වන විට ස්වාභාවිකවම ඒවා ඉවත් කර ශ්වාසනාලය පිරිසිදු කරන්නට එක්තරා ශ්‍රාවයක් ගලා එයි. ශ්වාස නාලයේ දිගටම පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා කෙඳි වර්ගයක් ඇත. මේ කෙඳි අපද්‍රව්‍යවලට කස පහරක් මෙන් ක්‍රියාකරමින් සියලු දියර එළියට තල්ලු කරයි. ඒ එම මාර්ගය පිරිසිදු කරන්නටය. මෙසේ තල්ලු කරන දියර සියල්ල උගුරේ එක් රැස් වූ විට ඒවා එකවරම පිට කරන ක්‍රමය වනුයේ කැස්සයි. නාසයෙන් නම් කිවිසුම්ය. දුම්පානය කරන අයට නිතර කැස්ස හට ගන්නේ එම දුම් පිට කිරීමට ශරීරය නිතර ක්‍රියා කිරිමේ හේතුවෙනි.


නමුත්, කැස්ස අපට නිතර පවතින දෙයක් නොවේ. එසේ වුව ද හැම මොහොතකම අපට වාතය සමග මුසු වී එන ඕනෑම අපද්‍රව්‍යයක් නොනවත්වා එක දිගට ආඝ්‍රාණය කරන්නට සිදු වෙයි. ඒ අප ජීවත්ව සිටින තාක් කල් අපේ හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය නොනැවැතීම එක දිගට සිදුවන නිසාය. මේ අනුව මෙලෙස ශ්වාසනාලයේ රැස්වන අපද්‍රව්‍ය ශ්‍රාවය අපට දැනෙන්නේ උගුරේ සෙම පැටලීම ලෙසය. එලෙස සෙම පැටලෙන විට අප  හැම කරන්නේ ඒවා විවිධ උපක්‍රම මගින් පිට කර හැරීමය.


ආසාත්මිකතා


සමහර අයගේ ශරීර සියුම් කුඩු වර්ගවලට ඔරොත්තු දෙන්නේ නැත. ඒ අයට දූවිල්ල සහිත මග තොටක ගිය විටත්, ගෙදර මකුළුදැල් කැඩුවත්, පොත් රාක්කය අස් කළත්, ඇඳේ මෙට්ටය ඉස්සුවත් මේ ඕනෑම දෙයක දී කිවිසුම් ගොස් නාසයෙන් දියර ගලන්නට පටන් ගනී. මෙය ආසාත්මිකතාවයි.  ඉතා කුඩා දූවිලි දුම් වර්ග බොහෝ අයට විශාල සතුරකු ලෙස ක්‍රියා නොකරතත්, මේ අයට නම් එය ලොකු සතුරෙකි. එනිසා ඒ සතුරා පලවා හැරීමට ශරීරය විශාල සටනක් දියත් කරයි. විශාල වශයෙන් දියරක් නිකුත් කරන්නේ ඒ අනුවය. මේ තත්ත්වය  තව දුරටත් විස්තර කළහොත් පෙණහලුවලට සම්බන්ධ ඉහත කී ප්‍රධාන නාල වට්ටම පිහිටා තිබෙන්නේ මස්පිඩුය. කුමක් හෝ දූවිල්ලක් දුමක් වැනි දෙයක් ස්වාසනාලය ඔස්සේ සිරුරට ඇතුළු වූ විට එයට පෙණහලුවලට ඇතුළු වන්නට ඉඩ නොදී එම මස්පිඬු මගින් හුස්ම මාර්ගය අසාමාන්‍ය ලෙස හකුළා ගනියි. ඉන් පසු එම අපද්‍රව්‍ය පලවා හරින්නට දියර විශාල ප්‍රමාණයක් නිකුත් කරයි. සෙම ලෙස පිටතට පැමිණෙන්නේ මෙම දියරයයි. මේ තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කිරීමේ හැකියාව තිබේ.


ඔබට අනතුරුදායක විය හැකි  සෙම් රෝග කිහිපයක්



නිතර නිතර සෙම පිටවන බ්‍රොන්කියෙක්ටේසිස්  (Bronchitectasis) රෝගය


මේ  රෝගයෙන් පෙළෙන කෙනෙකුට නිතර නිතර සෙම 'කෝප්ප ගණන් පිට විය හැකිය. නිතරම පාහේ සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන අයෙකුට වසර ගණනකට පසු එම සෙම නිතර පැසවීම හේතුකොට ගෙන හුස්ම මාර්ගයේ බිත්ති ඉදිමී පළල් වීමට පුළුවන. එවිට එතැන කානුවක් ලෙස ලොකු වන අතර, එහි සෙම එකතු වීම සිදු වේ. සාමාන්‍යයෙන් සෙම් රෝග වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව වුණත් මේ තත්වයට පත්වූ පසු ප්‍රතිකාර මගින්වත් එම මාර්ගයේ රැඳී  තිබෙන සෙම ඉවත් කිරීම පහසු නොවේ. එනිසා සම්පූර්ණයෙන් සෙම සුව කිරීම කළ නොහැකි වනු ඇත. දිගටම ප්‍රතිකාර ගැනීම තුළින් රෝගය පාලනය කර ගැනීමෙන් රෝගියාට යම් පහසුවක් සලසා ගත හැකි වේ. බ්‍රොන්කියෙව්වේස් යනු මෙම රෝගයයි.නමුත්, මේ තත්වය පවතින්නේ පෙණහැල්ලේ එක් ප්‍රදේශයක පමණක් නම් සැත්කමක් මගින් එම කොටස ඉවත් කර දැමීම තුළින් රෝගය සුව කළ හැකි වේ. නැතිනම් මෙතැන තිබෙන සෙම ළඟපාත තැන්වලටත් බෝවිය හැකිය.


කැස්ස සමග සෙම පිටවීම සහ උණ


සමහරුන්ට කැස්ස සමඟ කහපාට සෙම පිටවීමත් උණත් එක වරම පැවැතිය හැකිය. එය, විෂබීජ හුස්ම මාර්ගයට ඇතුළු වී පැසවා ඇති බව දක්වන ලක්ෂණයකි. මෙය වෛද්‍යවරයෙකු හමුවී ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු රෝග තත්ත්වයක් වේ.  මේ හැරුණු විට කැස්ස සහ සෙම සමඟ ඇඟ කෙට්ටු වීම, ආහාර අරුචිය, කහින විට ලේ යාම යන ලක්ෂණ ඇත්නම් එය අනිවාර්යයෙන්ම රෝහලක නතර වී වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.  හේතුව එවැනි ලක්ෂණ ක්ෂය රෝගයට මෙන්ම ඇතැම් විට පිළිකා වැනි වෙනත් භයානක රෝගවලදීත් ඇති විය හැකි බැවිනි. පෙණහලුවල සෙම නිසා හට ගන්නා සැරව ගෙඩි  සමහරවිට සෙම පැසවා රබර් බෝලයක් මෙන් ලොකු වී පෙණහලු තුළ පවතින අවස්ථා ඇත. මේ බෝලය තුළ පිරි තිබෙන්නේ සෙම පැසවීමෙන් ඇතිවන සැරවයි. වතුර බොන හිස් වීදුරුවකට තේ කහට දැමු විට එම ත්තේ කයට තිබෙන මට්ටම  වීදුරුව දෙස පිටතින් බැලූ විට පෙනෙන්නාක් මෙන් එසේ රේ පරික්ෂණයක දී මෙම බෝලය තුළ ඇති සැරව මැනවින් දැකගත හැකිය. සැරව ගෙඩියක් වන මෙහි දී පවතින රෝග ලක්ෂණ වන්නේ සැරව පාටින් සෙම පිටවීම, කෑම අරුචිය, උණ, කහින විට ලේ පිටවීම ආදියයි. මේ ත ත්ත්වය ඇති නම් වෛද්‍යවරයකු  හමුවිය යුතුය. මෙය රෝහලක නතර වී ප්‍රතිකාර ලැබිය යුතු රෝග තත්වයකි.



සම ලෙස සමහරුන් වරදවා වටහා ගන්නා පිළිකා විශේෂයක්


හුස්ම මාර්ගයේ ඇතුළත ආවරණයෙහි ගැටයක් ලෙස කොටසක් වර්ධනය වන අවස්ථා තිබේ. එය පෙණහල්ලක වර්ධනය වී ඉන් පසු එම පෙනහලෙන් පිටතට ඒමට ද පුළුවන. රෝගය පැතිරී යනතුරුම රෝගියාට එය නොදැනෙයි. මෙහි දී පෙණහලේ කිසිම කොටසක වේදනාවක් දැනෙන්නේ ද නැත. එය මේ රෝගයේ තිබෙන භයානක තත්වයකි. රෝගය හරිහැටි  හඳුනා ගන්නට ඇති එකම මාර්ගය වන්නේ හුස්ම මාර්ගය දිගේ කැමරාවක් සහිත බටයක් යවා කරන ක්‍රොකොකොපි පරික්ෂණයක් මගින් පමණි. එම මුල් අවස්ථාවේ දී සැත්කමක් කිරිමෙන් රෝගය සුව කිරීමට පුළුවන. නමුත්, රෝගය පෙණහලුවලින් පිටතට වර්ධනය වී තිබුණොත් ඉහත කී ක්‍රොකොකොපි පරීක්ෂණයක් නොකරම වුවත් වෛද්‍යවරයකුට පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබේ. නමුත්, එවිට වෛද්‍යවරයාටවත් කළ හැකි දෙයක් නැත. ඒ තරමටම රෝගියා ප්‍රමාද වී වැඩි බැවිනි.


මෙහි රෝග ලක්ෂණ වන්නේ දිගින් දිගටම පවතින කැස්ස, කෑම අරුචිය, ඇග කෙට්ටුවීම, කහින විට ලේ පිටවීම, ඇගිලිවල නියපොතුවල අමුතු ගෝලාකාර හැඩයක් හට ගැනීම ආදියයි. මේ ලක්ෂණ පහළ වූ මුල් කාලයේදීම වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් රෝගය වර්ධනය වීම වළක්වා සුව කර ගත හැකි වේ.  කෙසේ වුව ද මේ රෝග ලක්ෂණ මෙම රෝගයට පමණක් සීමා වූවක් නොවේ. එබැවින් මේ රෝග ලක්ෂණ තිබූ පමණින්ම  පිළිකාවක් යැයි ඔබම තීරණය කළ යුතු නැත. නමුත්, එසේ සිතා මෙය කිසිසේත් නොතකා හැරිය යුතු ද නොවේ. එබැවින් එවැනි රෝග ලක්ෂණ සුළුවෙන් හෝ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවීම  අනිවාර්ය බව සලකන්න. එය ඔබගේ හිත සුව පිණිස වේ.