gossiplanka image 1


පසුගිය දිනක අප තරමක් දන්නා හඳුනන පුද්ගලයකු හදිසියේ වැලඳුණු අසනීපයකින් හිටි හැටියේ මියගියේ රෝගය පිළිබඳව හරිහැටි අනාවරණය කර ගන්නට වෛද්‍යවරුන්ටවත් කාලයක් නොතබාය. පසුව දැන ගත හැකි වූයේ ඔහු මියයාමට හේතුව විෂබීජයක් ශරීරගත වීම බවයි. මෙසේ විෂ බීජ ශරීරගත වීම යන්න දැන් බහුලව අසන්නට ලැබෙන තත්වයකි. නමුත් බොහෝ රෝගවලට ලැබෙන පොදු පිළිතුරක් ලෙස විෂබීජ යැයි කීව ද මේ විෂබීජ ගැන බොහෝ දෙනකුට හරි වැටහීමක් නැත. 



මොනවද මේ විෂබීජ කියන්නේ ?



එනම් විෂ සහිත ඉතාම කුඩා සතුන් වැනි ජීවීන් වර්ගයකි. විෂබීජවලටත් අපට මෙන් ආහාර, ඔක්සිජන් සහ උණුසුම අවශ්‍යය. අපට මෙන් ඔවුනට ද පරම්පරාවක් තිබේ. විෂබීජ යනුවෙන් නම් කෙරෙන මෙම ජීවීන් පියවි ඇසට නොපෙනෙන අතර, එහි හැඩරුව බලන්නට සාමාන්‍ය අත්කාචයකටත් වඩා කුඩා දේ පෙනෙන සූක්ෂම අන්වීක්ෂ හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හෝ පාවිච්චි කිරිමට සිදුවෙයි. 



මෙම ජීවීන් වර්ග මොනවා ද?




බැක්ටීරියා, වෛරස්, පැරඩයිට්, දිලීර හෙවත් පුස් වර්ග මේ අතරින් ප්‍රධානය. මෙයින් බැක්ටීරියා සහ දිලීර වර්ගවලට තනිව ජීවත් වීමේ හැකියාව ඇත. නමුත්, වෙරස් සහ පැරසයිට්වලට රැඳීමට තවත් කෙනෙකුගේ ශරීරයක් ඕනෑ වෙයි  අපේ ශරීරයේ මෙන්ම තිරිසන් සතුන්ගේ ශරීරත් ශාකත් සැකසී ඇත්තේ සෛල රැසක එකතුවක් ලෙසිනි. නමුත්, විෂ බීජවලට ඇත්තේ එකම සෛලයක් පමණි.



මේ විෂබීජ වර්ග අතරින් අපි එක විෂබීජයක් ගැන කතා කළොත්?



අපි බැක්ටීරියා  ගැන කතා කරමු. විවිධ බැක්ටීරියා විවිධ නම්වලින් හඳුන්වන අතර, එක නමක් සහිත බැක්ටීරියා වර්ගවල පෙනුම හා හැසිරීම ද එකම ආකාරයෙන් පවතියි. සමහර බැක්ටීරියා වර්ග අපට හානිකර වන අතර, තවත් සමහර බැක්ටීරියා වර්ග අපට හිතවත්ය. එසේ වුව ද සම මතුපිට ජීවත් වන බැක්ටීරියා වර්ග සම මතුපිට පවතිනතාක් අපට කරදරයක් නො වූවත් එය සම ඇතුළට ගියොත් කරදර කරනු ඇත. අපේ සම මතුපිට ආහාර මාර්ගයේ මෙන්ම වෙනත් සෛල තුළ ද බැක්ටීරියා වර්ග ජීවත් වෙයි. තවත් සමහර බැස්ටීරියා වර්ග එක තැන හිඳියි. තවත් ඒවා වතුර බිංදු (කෙළ වැනි) සමග වාතයේ පාවී ඈතට යනු ඇත. සමහර ඒවාට වතුරේ පිහිනීමටත් හැකියාව ඇත. (මුත්‍ර,මල, කෙළ, ආදියේ වෙසෙන බැක්ටීරියා මීට උදාහරණයි) සමහර බැස්ටීරියාවලට පරිසරයේ විවිධ වෙනස්කම් ඇති කිරීමට පුළුවන මෙයට එක් නිදසුනක් ලෙස පිසූ ආහාර පිළුණු වීම දැක්විය හැකිය. ආහාර සාමාන්‍ය පරිසරයේ සෑහෙන වේලාවක් පවතින විට ඒ මත බැක්ටීරියා වසා එයින් බැස්ටීරියාව නඩත්තු වන්නට පටන් ගනී බැක්ටීරියාව විසින් ආහාරයට විෂ එකතු කරනු ලැබීම නිසා එහි දුගඳක් ඇති වේ. ගඳ යනු අපට එය අනුභව කිරිමට එපා යනුවෙන් දක්වන සංඥාවය. සොබා දහම අපේ කටට උඩින් නාසයක් ලබා දී ඇ ත්තේ සිරුරට විෂ විය හැකි දේවල් නොගැනීමට අනතුරු ඇගවීම පිණිස වේ. අපි තවත් උදාහරණයක් ගනිමු. මීයා අපගේ ගේ ඇතුළේ එහා මෙහා දුවන විට උගේ ගඳක් නැත. නමුත්, ඌ ගෙතුළ මිය ගියොත් දිනක් දෙකක් යන විට විශාල දුගඳක් මුළු ගේ පුරා දැනෙනු ඇත. මීයාගේ ශරීරයේ තිබෙන  බැක්ටීරියා වර්ග මීයාට පණ තිබෙන විට ඌට කරදර කරන්නේ නැත. නමුත්, මීයා මැරුණාට  බැක්ටීරියාව නොමැරෙයි. එනිසා කලින් සම මතුපිට සිටි  බැක්ටීරියාව මීයා මිය යාමෙන් පසු කිසිදු අවහිරයක් බාධාවක් නැතිකම නිසා ශරීරය ඇතුළට ද ගමන් කර මුළු ශරීරයම වසා ගනු ඇත. මීයා පමණක් නොව, ඕනෑම කෙනෙකු මියගිය පසු දුගඳක් ඇතිවන්නේ ඔය හේතුව නිසාය.ජීවත්වන සෑම මනුෂ්‍යයකුගේ සහ සතෙකුගේ ද ශරීරය ඇතුළත පිරිසිදුය. මතුපිට අතිශයින් කිලිටි හිඟනෙකුගේ වුවද එසේ. ඒ පණ තියෙද්දී විෂ  බැක්ටීරියාවලට ශරීරය ඇතුළට යාමට ශරිරය ඉඩ නොදෙන නිසාය. අපේ ශරීරයේ මස්, ලේ ආදියෙහි කිසිදු විෂබීජයක් නැත. නමුත්, ඕනෑම මිනිසකු හෝ සතකු, මිය ගිය පසු එම  බැක්ටීරියාවලට කිසිදු අවහිරයක් කරන්නට කෙනෙකු ශරීරය තුළ නැති නිසා මුළු ශරීරයම වසා ගන්නට බැක්ටීරියාවලට හැකිවෙයි. ඕනෑම දෙයක් කුණු වීම යනු මේ තත්ත්වයයි. 



බැක්ටීරියා වර්ධනය වන්නේ කොහොමද?



බැක්ටීරියා සෛලය මැදින් බිත්තියක් හදාගෙන දෙකට බෙදේ. එවිට සෛල දෙකකි. එනම් බැක්ටීරියා දෙකකි. මේවා ද තව තවත් බිත්ති සාදා ගනිමින් තවත් සෛල සෑදෙනු ඇත. මේ අනුව සතියක් දෙකක් ගත වන විට සෛල ලක්ෂ කෝටි ගණනින් බිහි කිරීමේ හැකියාව බැක්ටීරියාව සතුව ඇත. මෙයින් පරිසරයට ඔරොත්තු නොදෙන බැක්ටීරියා මියගොස් පරිසරයට ඔරොත්තු දෙන ඒවා ජීවත්වෙයි. මේවායේ වර්ධන වේගය කොතරම් ද කිවහොත් අලුත් අලුත් බැක්ටීරියා වර්ග බිහි වන්නට ගත වන්නේ විනාඩි ගණනක් තරම් වූ සුළු කාලයකි. මෙහි දී ඉතා වැදගත් දෙයක් මතු වේ. කිසියම් රෝගයකට යම් ඖෂධයක් නොකඩවා දින පහක් ගන්නා ලෙස වෛද්‍යවරයා නියම කළේ යැයි සිතන්න. රෝග ලක්ෂණ දින දෙකකින් පමණ  පහව ගියොත් රෝගියා බෙහෙත් ගැනීම නවතා දමයි. මෙහි දී රෝග ලක්ෂණ පහව ගියාට විෂබීජ තවම ශරීරයේය. ඒ අනුව ගන්නා සුළු බෙහෙත් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් බැක්ටීරියා මිය ගියත්, තව රාශියක් සිරුරේ ඉතිරි වී පවතියි. එවිට එම බැක්ටීරියාවල අලුතින් හැදෙන සෛල මුලින් ගත් අර ඖෂධය ඔරොත්තු දෙන අන්දමට නිර්මාණය වෙයි. ඒ අනුව ඒ රෝගියා ඊට පසුව එම ඖෂධය ගත්තාට පලක් වන්නේ නැත. මන්ද බැක්ටීරියාව එම ප්‍රහාරයට සූදානම්ව නිර්මාණය වී ඇති හෙයිනි. එසේම ඒ බෙහෙතට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ඒ රෝගියා කළ වරද නිසා (බෙහෙත් නොබී හිදීමෙන්) පරිසරයට එකතු වෙනු ඇත. එවිට වෙනත් කෙනෙකුට ඒ රෝගය වැලඳුණොත් ඒ ඖෂධය පලක් නොවෙයි. ඖෂධ දුන්නත් සුව නොවන රෝග දැන් දකින්නට ඇත්තේ මේ තත්වය නිසාය. 



ශරීරයේ එක් එක් කොටස්වලට වෙන් වෙන් වූ බැක්ටීරියා තිබෙනවා ද?



පෙණහලු, මොළය, සමේ තුවාල, මුත්‍ර මාර්ගය, ලිංගික ප්‍රදේශය ආදී වශයෙන් එක් එක් කොටස්වලට වෙන්වූ බැක්ටීරියා වර්ග තිබේ. මින් සමහර ඒවාට ඊට වෙන් වූ කොටසේ පමණක් සිටිය හැකි අතර, ඕනෑම තැනක සිටිය හැකි බැක්ටීරියා වර්ගත් ඇත. 



බැක්ටීරියාව අපව ලෙඩ කරන්නේ කොහොමද?



බැක්ටීරියාව ශරිරයට ඇතුළු වීමේ දී ශරීරය විසින් බැක්ටීරියාවට විරුද්ධව සටන් කරනු ලබයි. එම සටනින් ශරීරය පැරදුණොත් සිදුවන්නේ අප රෝගී වීමය. මෙහි දී බැක්ටීරියාව නිකුත් කරන විෂ ශරීරය පුරා ගමන් කරනු ඇත. ඊට අමතරව බැක්ටීරියාව සිටි තැන ඇති අවයවය විනාශ වීම ද සිදු වේ. 



ප්‍රතිශක්තිය යනු කුමක් ද?



ශරීරයට විෂබීජයක් ඇතුළු වූ පසු එම විෂබීජයට විරුද්ධව සටන් කරන්නට සෛල හමුදාවක් ඉදිරිපත් වෙයි. මෙම සෛල අපේ රුධිරයේ නිරන්තරයෙන් පවතින සුදු රුධිරානුය. මේවා පවතින්නේ රුධිරයේ පා වෙමිනි. මෙම සෛලවලට තිබෙන එකම රාජකාරිය වන්නේ ද ශරීරයට ඇතුළුවන විෂබීජවලට විරුද්ධව සටන් කිරීමය. ඒ අනුව සුදු රුධිරානු විසින් එම විෂබීජය නිසි ලෙසින් හඳුනාගනු ලබයි. එසේ හදුනා ගෙන එම විෂබීජයට එරෙහිව හරියටම සටන් කළ හැකි හමුදාවක් ශරීරය තුළ සකස් වෙයි. එය අපේ ශරීරය තුළ ජීවිත කාලය තුළම පවතිනු ඇත. ඒ අනුව නැවත ඒ විෂබීජය සිරුරට ඇතුළු වන්නට ආ කල සාර්ථක ලෙස සටන් කර අදාළ විෂබීජය පලවා හැරීම සිදු වේ. එන්නත් කිරිමේ දී සිදු වන්නේ මේ තත්වයයි. පැපොල වැනි සමහර රෝග එක් වරක් වැලඳුණු පසු නැවත වැලඳෙන්නේ නැත. ඊට හේතුව එම වෛරසය ශරීරයට ඇතුළු වූ පසු ශරීරය එය මතක තබා ගැනීමයි. ඒ අනුව එයට නැවත ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. නමුත් සෑම රෝගයකටම මෙය අදාළ වන්නේ නැත.


කෙසේ හෝ රෝගයකට එන්නත් කිරීම යනු අදාළ රෝගයේ විෂබීජයෙන් කොටසක් සිරුරට ඇතුළු කිරීමයි. එම විෂබීජයට රෝගය හැදීමේ හැකියාවක් නැති අතර, විෂබීජය ඇතුළු කළ පසු ශරීරය එය හදුනා ගෙන ඊට විරුද්ධ හමුදාවක් ශරීරය තුළම සකස් කිරීම සිදුවෙයි. ඉන් පසු නැවත එම විෂබීජයට ශරීරයට ඇතුළු වීමට ඉඩ නොලැබේ. රෝගයට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දුන් පසු එම රෝගය නොසෑදීමේ හේතුව එයයි. 



බැක්ටීරියාවලට විරුද්ධව දෙන ඖෂධ නිවැරැදිව තෝරා ගන්නේ කෙසේ ද?



මුලින්ම බැක්ටීරියා වර්ගය නියම ලෙස හඳුනා ගත යුතුය. නිදසුනක් ලෙස නියුමෝනියා රෝගය ගනිමු. මෙම රෝගයේ දී සෙම එන්නේ පපුව ඇතුළෙනි. ඒ අනුව හොඳින් කැහීමෙන් සෙම ටිකක් පරීක්ෂණය සඳහා රැගෙන දෙන ලෙස රෝගියාට නියම කෙරේ. ඒ එම ස්ථානයෙන්ම සෙම ලබා ගැනීම සඳහාය. ඉන් පසු ඒ සෙම ටික පිගානකට දමා රසායනාගාරයක් තුළ විෂබීජය වැවෙන්නට හරියි. දින 3-4ක් යන විට ලොකු පැල්ලමක් දිස් වෙනු ඇත. ඉන් පසුව එම විෂබීජය නැසීමට සුදුසු වේයැයි සැක කරන පෙති වර්ග 5ක් පමණ එම පැල්ලම මත තැනින් තැනට දමයි. ඉන් පසු සමහර බෙහෙත් පෙති වටේම ලොකු කොටසක් විනාශ වී තිබෙනු දැකිය හැකිය. සමහර පෙති වටේ කුඩා රවුමක් පමණක් පවතිනු ඇත. මේ අනුව වඩා විනාශ වීමට බලපෑ ඖෂධ වර්ගය රෝගියාට සුදුසු ඖෂධය ලෙස නිගමනය කෙරේ. මෙවැනි පරීක්ෂණයක් කිරීමට දින 3ක වත් කාලයක් ගත වන අතර, කල්චර් පරීක්ෂණය හෙවත් රෝපණ පරීක්ෂණය යනු මෙයයි. 



සමහර රෝග සුව වී දින කිහිපයකින් නැවත හට ගන්නේ ඇයි?



මෙයට හොඳ නිදසුනක් ලෙස මොළයේ උණ හෙවත් මෙනිංජයිටීස් රෝගය ගනිමු. මොළය වටේට තිබෙන දියරය විෂබීජ රහිතය. මොන හේතුවක් නිසා හෝ මෙයට විෂබීජයක් ඇතුළු වුවහොත් එය ඉක්මනින් පැතිරි මොළය සැරවවලින් පිරෙයි. මොළය වටේ ඇති මෙම කවරය පැසවීම මෙනිංජයිටීස් රෝගයයි. මෙය ඖෂධ නිසි ලෙස ලබා දීමෙන් සුවකළ හැකිය. බෙහෙත් දෙන විට දින දෙකකින් පමණ උණ බැසීම සිදු වේ. මෙම රෝගය වැලඳුණු රෝගියකුට රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන අතර, දින දෙකකින් පමණ උණ බැසීමෙන් පසු රෝගය සුව වී ඇතැයි සිතා රෝගියා උත්සාහ කරන්නේ ටිකට් කපාගෙන ගෙදර යන්නටය. නමුත්, මොළය යනු ඉතා ආරක්ෂිත ආවරණ සහිත ස්ථානයකි. එතැනට බෙහෙත්වලට රිංගා ගැනීමට හැකි වන්නේ අසීරුවෙනි. එනිසා මොළයට දෙන බෙහෙත් වැඩි ප්‍රමාණයක් දිය යුතුය. ඒ අනුව සති දෙකක් පමණ රෝහලේ රෝගියා නතර කරගෙන මෙම රෝගයට ප්‍රතිකාර ලබා දිය යුතු වෙයි. විෂබීජ මුළුමනින්ම විනාශ කළ හැක්කේ එවිටයි


ක්ෂය රෝග හදන බැක්ටීරියාව ද ඉතා සෙමින් සුව වන විෂ බීජයකි. මාස හයක පමණ කාලයක් නොනවත්වා මෙයට ඖෂධ ගත යුතුය. බාගෙට ඖෂධ ගෙන නතර කළොත් එම ඖෂධ නැවත ගැනීමෙන් රෝගය සුව කළ නොහැකි තත්වයට පත්වේ. ඒ ශරීරයේ ඉතිරි වී තිබෙන බැක්ටීරියා මගින් එම බෙහෙත්වලට ඔරොත්තු දෙන දරුණු බැක්ටීරියා රැසක් අලුතින් නිර්මාණය කිරීම නිසාය. කොලරාව ගැන සැලකුවහොත් එම රෝගය නිසා මිනිසුන් මිය යන්නේ එම බැක්ටීරියාව හේතුවෙන් නොව, බැක්ටීරියාවට විරුද්ධව බඩවැලේ ඇතිවන ප්‍රතිඵලයක් ලෙස විශාල දියර ප්‍රමාණයක් ශරීරයෙන් පිට වීම නිසාය. පාචනය ලෙසින් පිටවන මෙම විශාල දියර ප්‍රමාණය නිසා රෝගියා විජලනයට පත්වී මියයයි.පිටගැස්ම රෝගය සාදන බැක්ටීරියාව වාසය කරන්නේ ඔක්සිජන් නැති තැනකය. මේ අනුව එම බැක්ටීරියාවට සුදුසුම ස්ථානය වන්නේ මලකඩ ඇති තැනකි. මලකඩ බැදීම යනු එතැන ඔක්සිජන් යකඩ විසින් පාවිච්චි කරනු ලැබ ඔක්සිජන් ප්‍රමාණය ඉවර වූ ස්ථානයකි. එනිසා එතන ඔක්සිජන් නැත. එයට හේතුව යකඩ, යකඩ ඔක්සයිඩ් බවට පත්වීම නිසා ඔක්සිජන් නැතිවී යාමය. පිටගැස්ම විෂබීජයට වර්ධනය වන්නට මෙය ඉතා සුදුසු පරිසරයකි. මලකඩ කෑ ඇණයක් වැනි දෙයක් ඇනුණු කල පිටගැස්ම හැදෙන්නේ ඒ නිසාය.