gossiplanka image 1
 


අංශභාගය යනු ශරීරයේ එක් පැත්තක් පණ නැතිවීමය. මෙවැනි  රෝගියෙකු දුටු විට “අනේ අපොයි" කියා සිතුණත් ඔබටත් මෙවැනි රෝගයක් හට ගන්නට අනාගතයේ දී බැරිකමක් නැත. ඒ නිසා අංශභාගය ගැන දැනුවත් වීම ඉතා වැදගත් වේ.


අපේ ශරීරයේ වැඩ කරන අන්දම


අංශභාගය ගැන දැනුවත් වෙන්නට නම් අපේ ශරීරය වැඩ කරන අන්දම ඔබ දැනගත යුතුය. අපේ ශරීරයේ අත් පා හරියට රූකඩයක් වගේ යැයි කිව්වොත් ඔබ පුදුම වනු ඇත. මේවා එකිනෙක ශරීරයට සම්බන්ධ වී පවතින්නේ නූල් හා සමාන දෙයකිනි. නිදසුනක් ලෙස ඔබේ පිට අල්ල හරවා ඇගිලි දිගහැර බලන්න. ඇගිලි පහේ කෙළවර සිට මැණික් කටුව දෙසට යන නූල් පහක් ඔබට පෙනෙනු ඇත. මේවා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ටෙන්ඩන් (Tendon) ලෙසිනි. මේ එක නූලක් හෝ කැපී වෙන් වුණොත් ඒ ඇගිල්ල පහතට කඩාගෙන වැටෙනු ඇත.


මේ නූල් පටන් ගන්නේ මස්පිඬුවකිනි. මෙම මස්පිඩුව වැළමිටේ සිට මැණික් කටුව දක්වා අත් බාහුවේ ලොකුවට පිහිටා තිබේ. ඇගිලි දිග හැරීම යනු මස්පිඬු විසින් නූල් මගින් ඇගිලි

උඩට ඇද ගනු ලැබීමය. මෙසේ දිගහරින විට වැළමිට දක්වා මේ කොටස සෙලවෙන හැටි ඔබට පෙනෙනු ඇත. අපට අත නවන්නට අවශ්‍ය වූ විට ඒ විධානය අත වෙත මොළය මගින් මස්පිඩුවට යන්නේ ස්නායු මගිනි. ස්විච් එක දැමූ සැණින් වයර් දිගේ විදුලිය ක්ෂණිකව ගමන් කර විදුලි බුබුළු දැක්වෙන අයුරින් ස්නායු මගින් මේ පණිවිඩය මස්පිඬුවට විදුලියක් ලෙස ගෙන යාම නිසා අත නැවිය හැකි වේ.


හැම ස්නායුවක්ම ආරම්භ වන්නේ මොළයෙනි. අපේ ශරීරය සම්බන්ධ හැම රාජකාරියක්ම මොළය බෙදාගෙන ඇත. මොළයේ වම් පැත්ත විසින් ශරීරයේ දකුණු පැත්ත බලා ගනු ලබන අතර, මොළයේ දකුණු පැත්ත විසින් ශරීරයේ වම් පැත්ත බලා ගනු ලබයි. ඒ අනුව මොළයේ වම් පැත්තට කිනම් හෝ හානියක් සිදුවුණොත් ශරීරයේ දකුණු පැත්ත ක්‍රියාකරවන්නට බැරි වෙයි. එවිට ඔබට දැනෙන්නේ දකුණු පැත්තේ අතටත්, කකුලටත් විශාල බරක් තබා ගැට ගැසූ අන්දමේ ස්වභාවයකි.  මොළයටත් පෝෂණය අවශ්‍යය. යම් හෙයකින් මොළයේ වම් පැත්ත බලා ගන්නා නහරය අවහිර වුණොත් හෝ පිපිරුණොත් හෝ එම ප්‍රදේශයට පෝෂණය ලබා ගන්නට ක්‍රමයක් නැති වේ. එවිට මොළයේ එම පැත්ත මිය යනු ඇත.


මෙසේ අවහිර වීමක් සිදුවුණේ නහරයක් පිපිරීම නිසාද යන්න දැන ගන්නට නම් මොළයේ සී.ටී කෑන් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කළ යුතුය. පිපිරි ඇතිනම් ඉක්මනින් ශල්‍යකර්මයකට යොමු කර ලේ ගුළිය ඉවත් කර රෝගියා සුවපත් කළ හැකිය. නහරය අවහිර වී ඇත්නම් එය සිදු වී පැය එකහමාරක් ඇතුළත එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම තුළින් මොළයේ එම කොටස මිය යාම වළක්වා ගන්නට පුළුවන.  නමුත්, අවාසනාවකට බොහෝ දෙනකුට මේ ප්‍රතිකාර ලැබෙන්නේ නැත. රෝගය හැදුණු ගමන්ම රෝහලකට ගෙන යා  යුතු වීම, නහරය අවහිර වී ඇතිනම් එය සිදුවී පැය එකහමාරක් ඇතුළත පරික්ෂා කිරීමට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් රෝහලේ තිබීම, එවැනි අවස්ථාවක දිය යුතු ඖෂධ මිල අධික වීම යන කරුණු මෙහි දී බලපානු ඇත.අපේ රටේ රජයේ රෝහල් අතර එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර දැනට තිබෙන්නේ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් තුන හතරක පමණි. මෙසේ ප්‍රතිකාර පමා වීමෙන් සිදුවන්නේ රෝගියා අංශභාග රෝගියෙකු බවට පත්වීමය.


අංශභාගයේ දී සිදුවන්නේ ශරීරයේ පැත්තක් අප්‍රාණික වීම පමණක් ද?


අංශභාගය හැමෝටම එකම විදිහට හැදෙන්නේ නැත. වෙනත් රෝග මෙන් මෙය ද එක් එක්කෙනාට විවිධ වූ ආකාරවලට වැලඳිය හැකිය.  වැඩිපුරම දක්නට තිබෙන්නේ මුහුණේ පැත්තක්, අත සහ ඒ පැත්තේ කකුල යන තුනම හෝ තුනෙන් එකක් හෝ නැතිනම් දෙකක් හෝ අප්‍රාණික වීමය. තවත් සමහරුන්ට අංශභාගය වැලදෙන්නේ කතා කිරීමේ දී වචන පටලැවීමක් ලෙසිනි.  සමහරුන්ට සම්පුර්ණයෙන්ම කතා කරන්නට බැරිව යනු ඇත. එසේ වන්නේ අප කුඩා කල සිට වචන සියල්ල මොළයේ සටහන් වී තිබෙන ස්ථානය විනාශ වී යාම නිසාය. එවිට රෝගියාට කතා කිරීමට නොහැකි සේම, අනෙක් අය කියන කිසිම දෙයක් තේරෙන්නේ ද නැතිව යයි. මෙසේ වන්නේ දකුණු පැත්ත පණ නැති වූ දකුණත්කරුවන්ට සහ වම් පැත්ත පණ නැති වූ වමත හුරු අයටය.  මේ අතර තවත් අයට අංශභාගය නිසා යමක් දෙස බැලූ විට එහි හරි අඩක් අදුරු වී ඒ පැත්ත නොපෙනී යයි. සමහර අයට අංශභාග ලක්ෂණ හට ගන්නේ ශරීරයේ පැත්තක්  හිරි වැටීමක් ලෙසින් හෝ ඒ පැත්තට තියුණු ඇස්පෙනෙත්තිවලින් අනින ආකාරයටය . මෙහි තවත් විශේෂත්වයක් නම් රෝගියාට ආහාරපාන ගිලීමේ අපහසුව ද ඇතිවීමය. සමහරුන් සිහිසුන් වී එවේලේම මිය යනු ඇත. මෙවැනි රෝගියෙකුට කිසිවක් පෙවීම සුදුසු නැත. ගිලින විට කැස්ස ආවොත් එය එම දියර පිට උගුරේ යාමකි.


සමහරුන්ට ඉහත කී ආකාරයේ ලක්ෂණ වලින් එකක් දෙකක් ඇති වී යළි ඔවුන් යථා තත්ත්වයට පත්වෙනවා නොවේ ද?  


එසේ විය හැකිය. ඉහත කී සමහර ලක්ෂණ සංඥාවක්  ලෙස ඇති වී විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් හෝ යථා තත්වයට පත්වන්නට පුළුවන. මෙය T.I.A. නමින් හඳුන්වයි. මෙසේ වන්නේ ඉතා සියුම් ලේ කැටියක් නහරයක හිර වී පසුව ඉබේම දිය වී යාම නිසාය. මෙසේ වූ විට රෝගීන් හිතන්නේ “දැන් ඉතින් සේරම හරි. ආයෙත් අංශභාගය එන්නේ නෑ” යනුවෙනි. නමුත්, මතක තබා ගන්න, කසකාරයා ඇවිත් ගිය පසුව පෙරහැර පසුපසින් එන බව. එලෙසින් මෙවැනි තත්වයක් ඇති වූ වහාම ස්නායු රෝග හෝ කායික රෝග හෝ

විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගියහොත් අංශභාගය හැදීම වළක්වා ගන්නට හැකිවනු ඇත. නමුත්, බොහෝ දෙනකු වෛද්‍යවරුන්  සොයා එන්නේ පෙරහැර ගිහින් හමාර වූ පසුවය.


සමහරුන්ට අංශභාගය හැදී පසුව ඉබේම ඔවුන් සුව වෙන අවස්ථා තිබෙනවා නේද?


කල්ගත වීමේ දී යම් පමණකට සුවවෙන අවස්ථාත් ඇත. මෙය ඉතාම හෙමින් සිදුවන්නකි. නමුත්, "මගේ අත පය වැඩ කරවලා දෙන්න” කියා මොනම වෛද්‍යවරයෙකුගෙන්වත් ඉල්ලා සිටියාට පලක් වන්නේ නැත. මේ රෝගය හැදුණු බොහෝ රෝගීන්ට ආහාරපාන ගිලීම අපහසුය. ඒ නිසා යමක් පොවන්නට ගියොත් කැස්ස හට ගනී. එනම් පිට උගුරේ යාමය. එවිට හුස්ම මාර්ගය දිගේ කෑම බීම පෙණහලුවලට යනු ඇත. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියා එතැනම මිය යාමය. එනිසා අංශභාගය හැදුණු ගමන්ම රෝගියාට වතුර ටිකක් හෝ පොවන්නට යාම අන්තිම භයානකය. කළ යුත්තේ වහාම රෝගියා රෝහලකට ගෙන යාමය. එවිට ආරක්ෂකාරි ලෙස නාසයෙන් ගුටයක් යවා දියර ආහාර ලබා දෙන්නට පුළුවන. කතා කරන්නට බැරි නිසා “මට තිබහයි“ කියන්නටවත් රෝගියාට හැකියාවක් නැත. එනිසා දියර ආහාර සහ වතුර දිගින් දිගටම දිය යුතුය. බත් බ්ලෙන්ඩර් කර කැඳ මෙන් දීම, සුප් සාදා එළවළු ටික බ්ලෙන්ඩර් කර සුප් වතුර සමග දීම, කිරී දීම ආදියෙන් රෝගියාට පෝෂණය ලැබේ. එසේ බ්ලෙන්ඩර් නොකර දියරය පමණක් දුන්නොත් රෝගියාට පෝෂණයක් ලැබෙන්නේ නැත.


ඇඳ තෙමා ගන්නා නිසා මුත්‍රා පිට කිරීමට රෝගියාට බටයක් සවි කෙරේ.  මෙවැනි රෝගියෙකු එක ඇලයකට දිගු වේලාවක් සිටින විට මෙට්ටයට තදවුණු කොටසේ ඇඳ තුවාල හට ගනී. මෙවැනි සමහරුන්ගේ අගල් හයක් තරම් ලොකු ඇට කටු දක්වා ගිය ගැඹුරු තුවාල පවා දැකිය හැකිය. මේවා හට ගැනීම වළක්වන්නට පැය දෙකකට වරක් රෝගියා හැරවිය යුතුය. නැතහොත් වතුර පිර වූ විශේෂිත මෙට්ටයක් භාවිත කරන්නට සිදු වේ.  රෝගියා උඩුබැලි අතට තැබීමත් සුදුසු නැත. උගුරේ සෙම, පිට උගුරේ යාම නිසා හුස්ම හිරවීමෙන් හෝ නියුමෝනියාව හට ගැනීමට අවකාශ ඇති නිසාය. උගුරේ සෙම පිටතට ඒම සඳහා රෝගියා හරවා තැබිය යුතුය. සෑහෙන කලක් මේ ආකාරයට රෝගියාව බලා ගන්නට සිදු වේ.


සෙම, ආහාර, වතුර වැනි දෙයක් පිට උගුරේ ගියොත් රෝගියා හුස්ම තද වී එවේලේම මියයන අතර එය හරිම වේදනාකාරී අත්දැකීමකි.  මේ කියූ අනතුරු මොකුත්ම සිදුවුණේ නැතිනම් අංශභාග රෝගියෙකුට කලක් ජීවත් වන්නට පුළුවන. ගෙදර හැමෝටම රෝගියාව බලා ගන්නට සිදු වේ. එනම් ගෙදර සියල්ලන්ගේම කටයුතු අඩපණ වීමය.  එනිසා ඔබට මෙවැනි දෙයක් වුණොත් ඔබ වෙනුවෙන්ම කැපවී පවුලේ අයට සිටිය හැකිදැයි සිතා බලන්න. අත් පා ගැට ගසාගෙන, කටේ විශාල ගුළියක් ඔබාගෙන ඔබට ටික වේලාවක්වත් ඉන්නට බැහැ නේද? ඒත් ඊටත් වඩා අමාරු දෙයක් වන මේ තත්වය හැදුණොත් මිය යන තුරුම ඔබට එකම විදිහට ඉන්නට සිදුවන බව සිහි තබා ගන්න.


එක් වරක් අංශභාගය හැදුණොත් නැවතත් එලෙස නහර පිපිරීමක් හෝ අවහිර වීමක් හෝ සිදුවිය හැකි ද?


අනිවාර්යයෙන්ම එය බලාපොරොත්තු විය යුතුය. එය වළක්වන්නට නම් මෙවැනි රෝගියෙකු දිගටම ප්‍රතිකාර ගත යුතුය.


අංශභාගය වළක්වන්නට බැරි ද?


දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්වලින් ආරක්ෂකාරී වීම, ඒවා තමන්ටම තිබෙන්නේ දැයි සොයා බලා තිබේ නම් නියම ලෙසම ප්‍රතිකාර ගැනීම, වසර දෙකකට වරක් පපුවේ එකෝ පරික්ෂණයක් කර බැලීම, දුම්පනයෙන් සහමුලින්ම වැළකීම අත්‍යවශ්‍යය. රෝගය හැදුණු වහාම රෝහලකට යාම තවත් වැදගත් කාරණයකි. නමුත්, සමහරුන්ට ඔය මොන රෝගය නැති වුණත් අවුරුදු හැට, හැත්තෑව පසුකළ විට මේ රෝගය හට ගැනීමේ අවදානමකුත් තිබෙන බව ද නොකියාම බැරිය. ඒ වගේම රෝගය හැදුණු පසු බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් බැරිවුණොත් විවිධ විකල්ප ප්‍රතිකාර සහ ගුප්ත බලවේගවල පිහිට පැතීම අඩපණ වූ නිවසක් මහපොළවටම සමතලා කිරීමක් හා සමාන දෙයක් බව ද සිහි තබා ගන්න.