gossiplanka image 1
 


ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලය ශ්‍රී ලංකාවේ මුහුද මැද පිහිටි සුවිශේෂී දේවාලයකි. එය ගාලු දිස්ත්‍රික්කයේ රත්ම ආසනයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව සීනිගම ප්‍රදේශයේ පිහිටා තිබේ. දෙවොල් දෙවියන් ගොඩබසින ලද්දේ මෙතැනට යැයි කියැවේ. සීනිගම අතීතයේ හඳුන්වා ඇත්තේ හකුරා හෙබ, සක්කර සොම්බ යන නම් වලිනි. එකල මෙහි පුරාණ වරායක් තිබී ඇති අතර කුරුම්බර දෙවොල් සාමි ඇතුළු පිරිසගේ පැමිණීමට හේතු වූයේ එම වරාය පැවතීම විය හැකිය. දෙවොල් දෙවියන් ඇතුළු පිරිස ලක්දිවට පැමිණියේ විජයාවතරණයට පෙර බව අතීත පුරාවෘත්තයන්හි සඳහන් වේ. වෙළඳ නාවිකයන් හැටියට මෙරටට පැමිණි දෙවොල් කුමරු ඇතුළු පිරිස කුරුම්බර නමින්ද හැඳින්වේ. දඹදිව ස්වර්ණකුදුර නුවර සිට මෙසේ වෙළඳාමේ පැමිණි පිරිස අතර දෙවොල් කුරුම්බර, සඳුන් කුරුම්බර, හෙට්ටි කුරුම්බර, ගිනි කුරුම්බර, එදි කුරුම්බර, මල් කුරුම්බර, ගෙපලු කුරුම්බර, දළ කුරුම්බර, ඊරි කුරුම්බර, හැඩි කුරුම්බර, වගඩි කුරුම්බර ආදී පරිවාර සේනාවක් විය.


මේ පිරිසගේ නාවික යාත්‍රා මුහුද මැදදී හදිසි කුණාටුවකට හසුවිය. දෙවොල් සාමි වහා කුඹ ගස මුදුනට නැග දෙවියන්ට පහනක් දල්වා පිරිස බේරා දෙන්නැයි අයැද සිටියේය. එවෙලේ සක් දෙවිඳුන් විසින් ගල් පවුරක් මවා පෑ බවත් ඒ පිරිස එම ගල් පවුරේ පාවී ලක්දිවට පැමිණි බවත් ජනශ්‍රැතියේ සඳහන් වේ. එසේ පැමිණි මේ වෙළඳ නාවිකයන් සීනිගමට ගොඩ බැසි අතර එහිදී නොයෙක් බාධක වලට මුහුණ දෙන්නටද දෙවොල් සාමි ඇතුළු පිරිසට සිදු විය. ඒ වනවිට සීනිගම සිටි පත්තිනි දේවිය නවගමුවට වැඩම කළහ. දෙවොල් සාමි මරණයට පත් වූ පසු ප්‍රදේශයේ ජනතාව ඔහුව දේවත්වයෙන් අදහන්නට ගත් බව කියැවේ. දෙවොල් සාමින් සමග ආ සහෝදරයන් සත් දෙනාද මරණින් මතු දේවත්වයට පත් වූ අතර මේ කුරුම්බර සත් දෙනා උණවටුණ, උඩුගල්පිටිය, වේරගොඩ, කොන්ගොඩ, බෙන්තොට, පානදුර , හොරවල යන දේවාලවල අධිගෘහිතව අදත් පූජා ලබති.


දෙවොල් දෙවියන් සීනිගමට ගොඩ බසිද්දී එය වැළකීමට ගිනි වැට සතක් මැවූ අතර ඒවා සුණු විසුණු කොට ගිනි වැට සතම පාගා දෙවොල් සාමි සීනිගමට ගොඩ බැස්සේය. ගිනි වැට සත තරණය පළමුව ආරම්භ වන්නේ ද සීනිගම දෙවොල් මහා දේවාලයෙනි. එය දෙවොල් දෙවියන් ගිනි සිසිල් කර ගෙන එදා ගිනිවැට සත තරණය කිරිම අරබයා පවත්වන්නකි. දෙවොල්  දෙවියන් ප්‍රදේශයේ ජනී ජනයාගේ දුකට පිහිට වන්නා වූ දෙවි කෙනෙක් හැටියට ප්‍රකටයි. මෙහිදී දෙස් දෙවොල් සඳහා මුහුදේ පිහිටි දියඹ දේවාලය ද, ශාන්තිකර්ම සඳහා මුහුදු වෙරළේ පිහිටි ගොඩ බිම දේවාලයද යොදා ගනී විශේෂයෙන් පණ්ඩුකාභය  රජ සමයේත්, දප්පුල රජ සමයේත් සීනිගම දේවාල ඉතිහාසය පොත පතේ සටහන්ව පැවතීමෙන් එහි ඉතිහාසය හඳුනා ගැනීම අපහසු නොවේ.


ඇසළ සමයේදී දෙවොල් දෙවියන් උදෙසා විශේෂ දේව මංගල්‍යයක් පැවැත් වේ. සීනිගම දේවාලයේ පෙරහර ඉන් එකකි. වාර්ෂික ඇසළ මංගල්‍යය 2013 වර්ෂයේ පැවැත්වුණේ 46 වැනි වරටයී එහිදී මහා පෙරහර හතරක් පැවැත්වේ පෙරහර කප් සිටුවීමෙන් ආරම්භ වන අතර පිරිත් දේශනා, සාංඝික දානාදී පින්කම් ද එහිදී සිදු කෙරේ. ලංකාවාසී සීනිගම දෙවොල් දෙවි බැතිමතුන් විශාල පිරිසක් ඇසළ සමයේ මෙම උත්සවයට සහභාගී වේ. සීනිගම දේවාල පෙරහරේ දහවල් පෙරහර දෙකකි. මෙහිදී පූනාව රැගෙන යාම විශේෂයකි. ප්‍රදේශයේ ධීවර ජනයාද ඉමහත් භක්තියෙන් සීනිගම දේවාල පෙරහරට සම්බන්ධ වීම විශේෂත්වයකි.  පෙරහරින්පසු දෙවොල් මඩු යාග ශාන්තිකර්මයද ගිනි පෑගීම හා දේව්දාන පින්කමද පැවැත්වේ. දකුණු ලක මුහුදු බඩ ජනයාගේ සිත් සතන් පහන් කරවන ඇසළ සැනකෙළියක් හැටියටද සීනිගම දෙවොල් දේව මංගල්‍යය ප්‍රකටයි.