මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයට අයත් ඉපැරණි දේවාලයක් ලෙස ගැටබරු රාජමහා විහාරයේ පිහිටි බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලය ප්‍රකටය. 'රුහුණේ පුංචි කතරගම” ලෙසද මේ දේවාලය ඇතැහු හඳුන්වති. ප්‍රදේශයේ කවර උත්සවයක් පින්කමක් සිදුකළද ඊට පෙර ගැටබරු බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය පැතීම සිරිතය. එසේම යම් අසාධාරණයක්, අපහාසයක්, අයුක්තියක් වුවද බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට කියා සිටීමට ප්‍රදේශයේ ජනතාව පුරුදු වී සිටිති. දෙවියන්ගේ ඇල්ම බැල්ම පිළිබඳ දැඩි විශ්වාසයක් මිනිස්සු අතර පවතී. ගැටබරු දේවාලය පිහිටා තිබෙන්නේ ගාල්ල දෙනියාය පාරේ
කොටපොලට නුදුරුවය. ජනප්‍රවාදයේ හැටියට රජ්ජුරු බණ්ඩාර යනු කන්ද උඩරට රජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ ප්‍රාදේශීය උප රාජ්‍යයක් පාලනය කළ අයෙකි. බස්නාහිර ඉසවු ප්‍රදේශ කිහිපයකට අධිපතිව සිටි රජ්ජුරු බණ්ඩාර මරණින් මතු දේවත්වයට පත්විය.
මෑත යුගයේදී ගැටබරු දේවාලය සොයාගෙන ඇත්තේ 1834 වර්ෂයේය. එදා මේ ගල් ලෙනේ දහඅට රියන් බුදු පිළිමයක් තිබෙනු දඩයක්කරුවෙකු දැක ඇත. ඔහුගේ තොරතුරු අනුව කොස්නිගොඩ කැටගොඩ උපාසක මහතා සංඝාවාසයක් තනවා භික්ෂූන් වහන්සේ නමක් නවතා ඇප උපස්ථාන කිරිමට කටයුතු කර ඇත. ඒ අනුව ගැටබරු රජමහා විහාර පරම්පරාවේ පළමු විහාරාධිපති හාමුදුරුවෝ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන්ය. ගැටබරුව විහාරයේ වත්මන් විහාරාධිපතීන් වහන්සේ බෙරලපනාතර චන්දවිමල නායක හිමියන්ය.ගැටබරු පෙරහරෙහි කරුණු සොයා බලනවිට 1953 වසරේදී උඩමළුවේ චාරිත්‍ර පූජෝත්සවය ලෙස ඇසළ පෙරහර ආරම්භ විය. අපවත්වී වදාළ රොටුඹ රතනපාල නාහිමියන්ගේ අනුශාසනා මත මෙය පැවැත්විණි.
1956 වසරේ පෙරහර වීදි සංචාරය කරන ලද අතර අද වනවිට ජාතික මට්ටම් පෙරහරක් ලෙස රටම පිළිගෙන තිබේ. ඓතිහාසික ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි පෙරහර මංගල්‍යය (2013වසරේ) පැවැත්විණි. පේළි පෙරහර තුනක් හා රන්දෝලි පෙරහර දෙකක් වත්මන් පෙරහරේ වීදි සංචාරය කෙරේ. උඩරට, පහතරට, සබරගමු නර්තනවලින් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව පෙරහර වීදි සංචාරය වේ. පෙරහැර මංගල්‍යය නිමා වන්නේ දේව තොවිලයක් පවත්වා ගිනි පාගා අවසන දේව දානය දීමෙනි.
Comments
Post a Comment