gossiplanka image 1
 


සිංහලයන් අතර ළමයෙකු වැඩිවියට පැමිණීම ලෙස හඳුන්වන්නේ දැරියකගේ ප්‍රථම ඔසප්වීමයි. පසුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන චාරිත්‍ර 'මල්වර වීම, "මල්වර මංගල්ලය' හෙවත්  'හැළි මගුල' ලෙස පැරණි සිංහලයෝ හැඳින් වූහ. මෙහිදී දැරියක් වැඩිවියට පැමිණි බව දැනගත් වහාම වැඩිහිටියෝ එම වෙලාව නිවැරදිව සටහන් කර තබා ගනිති. දැරිය වැඩිවිය පැමිණි බව අසල්වැසියනට දැන්වීම සඳහා කොළ අත්තක් නිවස තුළ වෙනම කාමරයක එල්ලා තබයි. උඩරට සමහර සිංහල නිවෙස්වල ගෙවල්වලින් පිටත කිරි ගසක් මුල පැලක් සාදවා දැරිය එහි නතර කරයි. එය 'කිළි පැළ' ලෙස හඳුන්වනු ලදහ. ඇගේ තනියට ගැහැනු කෙනෙක් ළඟ තබයි. දැරියට - පිරිමින්ව හෝ පිරිමින්ටඇයව නොපෙනෙන ලෙස තැබීම සාමාන්‍ය සිරිතයි..  මේ කාලය තුළ වැඩිහිටියෝ ගමේ නැකත්කරු හමු වී දැරිය නෑවීමට දිනයක් නැකතක් ලබා ගනිති. ඒ සඳහා යන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ දූත ලක්ෂණ අනුව දැරියගේ අනාගතය ගැන නැකැත්කරු ප්‍රකාශ කරයි. නැකැත්කරු විසින් දෙන ලද නැකැත් දින අනුව දැරියගේ දෙමාපියන් ඉදිරි වැඩ කටයුතු සූදානම් කරයි. ජලස්නානයට නියමිත දිනය වේලාව පැමිණි විට ඒ සඳහා දැරිය යන්නේ ඇගේ හිස සහ මුහුණ සුදුවතින් වසාගෙනය. ඇය ඒ වන තෙක් අතු පැළක සිටියානම් එය පුළුස්සා විනාශ කර දමයි. ජලස්නානය කරන ස්ථානය මත කිරිගස්වල අතුරිකිලි අතුරා ඒ මත සිට දැරිය නෑමට සූදානම් වෙයි. ඇඳසිටි වතින්ම ඇය නොවනු ලබන්නේ නැවුම් කළයකිනි.


සමහර පළාත්වල ඇය නාවනු ලැබූ කළය ඇයගේ හිසට උඩින් පිටුපසට විසිකර බිඳ දමනු ලබයි. තවත් සමහර ප්‍රදේශවල කළය බිඳීමේ චාරිත්‍රය කෙරෙන්නේ දැරිය මල්වර බව දැනගත් මොහොතේදීය. එනම් ඇය එම සිද්ධිය වැඩිහිටියකුට දැන් වූ අවස්ථාවේදීම ඇයගේ හිසට උඩින් පිරුණු වතුර කළයක් විසි කරන්නේ සියළු වස් දොස් නැති කිරීමේ අභිප්‍රායෙනි. මේ වස් දොස් ඇරිම ඒ ඒ පළාත් අනුව වෙනස් අයුරින් සිදුකරති. සමහර පළාත්වල මල්වර වූ සිද්ධිය දැනගත් වහාම වැඩිහිටියෙක් කැත්තක් හෝ පිහියක් ගෙන ළගම ඇති කිරි ගසකට කොටා "දෙමාපියන්ට දොස් නැත, සහෝදර සහෝදරියන්ට දොස් නැත, මගේ හිමියාට දොස් නැත, මට දොස් නැත ඒ සියළු වස් දොස් මේ කිරි ගසටයි.'' කියති. මෙසේ වස් දොස් පවරන සමහර ගස් මැරෙන බවට සිංහල ගැමියා තුළ විශ්වාසයක් පවතී.

ජලස්නානයෙන් පසුව හිසත් මුහුණත් වසාගෙන ගෙට එන දැරිය පිළිගන්නේ දැක්වෙන පහනක් සහ පිරුණු කළයක් රැගත් වාසනාවන්ත වැඩිහිටියෙකු විසිනි. ගෙට ඇතුළු වීමට පෙර දොරකඩ බුලත් කොලයක් මත තබා ඇති පොල් ගෙඩියක් කැත්තකින් බිදීම සිදු කරයි. නව යුවතියගේ කැමැත්ත පරිදි තෝරා ගැනීම සඳහා කැවිලි, පළතුරු, රන්රිදී කාසි ආදිය ගේ මැද පැදුරක සියල්ලන්ටම පෙනෙන සේ තබයි. සමහර ගම්වල මේ කැවිලි පලතුරු ආදිය තැබීමට යොදාගන්නේ කුල්ලකි. කුලෙහි තබන ආම්පන්න ඔවුන් හඳුන්වන්නේ කුල්පන්නේ යන නමිනි.දැරිය පැදුර වටා පැදකුණු කර එයින් වී ටිකක් ගෙන එය මෝල් ගසකින් කොටයි. අනතුරුව මුහුණ ආවරණය ඉවත් කර දැක්වෙන පහන නිවා දමයි. මේ අවස්ථාවේදී කිරිබත් වට්ටියක් ඇගේ හිසවටා තුන් වරක් කරකැවීමේ සිරිතක් සබරගමු පළාතේ පැවතිනි. එම චාරිත්‍ර අවසන් වූ පසු නෑයන්ට බුලත් දී ආචාර කිරීමට පටන් ගනියි. මුලින්ම බුලත් දී වඳින්නේ තම මවට හා පියාටයි. මෙම අවස්ථාවේදී එම දැරියට නොයෙකුත් තෑගි බෝග දෙනු ලබයි.