කඩුවෙල නගරය උතුරු දෙසින් කැලණි නදියටත්, දකුණින් පැරණි කෝට්ටේ රාජධානියටත්, බටහිරින් පරංගි පරාජය ලැබූ මුල්ලේරියා රණ බිමටත්, නැගෙනහිරින් පරංගි සටනට සිංහලයන් පණ පෙවූ (පුහුණු කළ) කඩුගමැඩිල්ල වෙල් යායටත් මායිම්ව පිහිටා ඇත. කඩුවෙල ධාතු පෙරහර පවත්වනු ලබන්නේ කොතලාවල සංඛපියි පුරාණ විහාරය මගිනි. පෙරහර ක්‍රි.ව. 1844 වර්ෂයේදී ආරම්භ වී එවක පටන් කිසිම හේතුවක් නිසා නොකැඩී නොනැසී නොකඩවා පවත්වාගෙන එනු ලැබේ. විහාරයේ ආරම්භය කවදාක දැයි නිශ්චිත නොවෙතත් පැරණි බුදු මැඳුරේ සිතුවම් කෝට්ටේ යුගයට අයත් බව පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. එම සිතුවම් වලට යටින් තවත් සිතුවම් ඇති බවත් ඒවා කුමන යුගයේදැයි නිශ්චිත නැති බවත් පැවසේ. 1843 දී මෙරටට පැමිණි කොලින් කැමල් නැමැති ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලංකාවේ ගිහි පැවිදි සම්බන්ධතාවය බිඳ දැමීමේ අරමුණින් නොයෙක් නීති පැනවීය. මොහුගේ ක්‍රියා කලාපයට වඩාත් උරණ වූ බෞද්ධයෝ භික්ෂුන් වහන්සේලාද සමග එක්ව නොයෙක් පින්කම් ආරම්භ කළහ. ඒ යළිත් බෞද්ධ ප්‍රබෝධය විහාරස්ථාන වල ගොඩ නැංවීමේ අරමුණෙනි. එවකට සංඛපිට්ඨි විහාරයේ වැඩ සිටි හත්පිටියේ අත්ථදස්සි නාහිමියන් විසින් ගිහි පින්වතුන්ද සමඟ එක්ව විහාරයට ලැබී තිබුණු සර්වඥ ධාතුන් වහන්සෙස්ලාට පුද සත්කාර කිරීම සඳහා පෙරහරක් ආරම්භ කළහ. එදා මෙම පෙරහරට අලි ඇතුන් වෙනුවට ගොනුන් යොදාගත් බවත් ජනප්‍රවාදයේ එයි.
පෙරහර ආරම්භ කළ හත්පිටියේ අත්ථදස්සි හිමියන් ඇහැලේපොළ පරපුරට අයත් බව කියැවේ. එතැන් පටන් විහාරයේ අධිපතිත්වයට පත් සියළු මහා සංඝයා වහන්සේලා පෙරහර වඩා සාර්ථක කර ගැනීමට නොයෙක් ලෙස මග පෙන්වීම් කරමින් පවත්වාගෙන ආහ. විහාරාධිපතිව වැඩසිටි පෝරේගෙදර ධර්මපාල හිමියන්ගේ කාලයේදී ධාතු පෙරහරට දේවාල පෙරහරද එකතු විය. කොතලාවල සංබපිට්ඨි විහාරය පවත්වන කඩුවෙල ධාතු පෙරහරට කප් සිටුවීමක් හෝ පෙරහර අවසන දානය දීමක් සිදු නොකෙරේ. සර්වඥ ධාතු උදෙසාම පවත්වන පෙරහර පිටුපසින් විෂ්ණු, සමන්, කතරගම පෙරහර ගමන් ගනී. පෙරහරේ කිසිම දිනෙක කාන්තා නර්තනාංග තිබී නැත. වත්මන් විහාරාධිපති කඳුබොඩ අමරඥාන නාහිමියන්ගේ සහ තක්ෂිලා පරිස්වේනාධිපති කනම නාරද හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්වේ.
දඹදෙණියේ දළදා පෙරහර
දඹදෙණිය බලකොටුවක් බවට පත්කර ගත් තුන්වන විජයබාහු රජතුමා දළදා වහන්සේ පළමුව බෙලිගලටත්, අනතුරුව තුන් මහල් ප්‍රාසාදයක් කරවා දඹදෙණියටත් වැඩම කරවා පුදපූජා කිරීමට පියවර ගත්තේය. එදා රාජ අනුග්‍රහය ඇතිව දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාමයේදී අධ්‍යාපන හා සාහිත්‍යමය වශයෙන් මහත් සේවාවක් සිදුවිය. මාඝ ගේ බෞද්ධ සංහාරය නිසා විසිරී සිටි භික්ෂූන් වහන්සේලා ඒකරාශී කොට කථිකාවතක් සිදු කෙරිණි. ක්‍රි.ව. 1236 - 1250 සමයේ රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයද දඹදෙණි රාජධානියේ දීප්තිමත් සමයකි.
දඹදෙණි යුගයේ සිදුවූ විශේෂ සිදුවීම් අතර දඹදෙණියේ සිට සිරිවර්ධනපුරයට උත්සවශ්‍රීයෙන් හා අත්‍යාලංකාරව දළදා පෙරහරක් පැවැත්වීම සිදුවිය.එවක පටන් අද දක්වාම වර්ෂ හත්සිය ගණනක් මුළුල්ලේ වාර්ෂික පෙරහර මංගල්‍යය ඇසළ මාසයේදී පැවැත්වේ. වත්මන් විහාරාධිපති නාරංගොඩ සිරිනිවාස හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මල් පෙරහර පවත්වා අවසන මහා පෙරහර පැවැත්වේ .පෙරහර මංගල්‍යය නිමා කරමින් ගිරිඋල්ල මාඔයේදී දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ.
Comments
Post a Comment