gossiplanka image 1
 



දරු සෙනෙහස අහිමි වී කඳුළු සලන මෑණි කෙනකුට කාලි මෑණියන් ළංවන්නේ මෑණියන්ගේම අයකු මෙන් දයාවෙන් කරුණාවෙන්. ඒ දුක කාලි මෑණියන්ගේ දහසකුත් දෑස් අතරේ රඳවාගන්නේ ඒ හඬා වැටෙන මෑණියන්ගේ හදවතේ දෝරෙ ගලා යන කඳුළු කතාවට කන්දෙමින් අවසන් තීන්දුව ගැනීමට බව හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි.ජාත්‍යන්තරව රටින් රටට යමින් ව්‍යාපාරික ලෝකයේ සල්ලි මත පාවෙන මහා දානපතියකු උඩරට කුමාරිහාමි කෙනකුට පෙම්බැඳ ඇය සමග විවාහ වී පසුව දරුවන් දෙදෙනකු ලැබුණු පසු ඇය අතහැර දමා සුදු කතකට පෙම්බැඳ දරුවන් දෙදෙනා බලෙන් රැගෙන ගොස් එතෙරදීම සොහොන් කාලි අවතාරයෙන් දඬුවම් විඳීමට සිදුවූ අතීත සිද්ධියක් කියන්නට හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි යළිත් සිය හඬ අවදි කළේය. “මම මේ කියන පුද්ගලයා කෑගල්ලට නුදුරු ප්‍රදේශයක පදිංචි ඉහළ පෙළැන්තියකින් පැවත එන පවුලේ බාලම තරුණයා. ඒ අයට පරම්පරාවෙන් කෝටි ගණන් වටිනා දේපළ හිමිව තිබුණා.මවු පියන්ගේ මග පෙන්වීමෙන් උසස් අධ්‍යාපනයේ ඉහළ තලයට ගිය එම පුද්ගලයාට ජාත්‍යන්තර රටවල් කීපයක් නියෝජනය කරන ඉහළ තනතුරක් බොහොම අඩු වයසේදී ලබාගන්න හැකි වුණා. ඒ ගැන පරම්පරාවේ අය කිව්වේ එයාට ඒවගෙ තනතුරක් ලැබුණේ පෙර පින් පලදීමකින් කියල. ඒ තනතුර ඔහුට ලැබුණෙත් පවුල් පසුබිමේ වැදගත්කම හා ජාත්‍යන්තර සබඳතා නිසා.

කුමාරිහාමි කෙනෙක් සමග විවාහ වී සිටි මෙම ධනවත් තරුණයා බිරිය සහ දරු දෙදෙනා සමඟත් රට රටවල සංචාරය කළා. ඒ යන ගමන්වලදී පිටරටදි ලංකාවේ සිටින විට බිරියට දක්වන සෙනෙහස ආදරය යම් තරමක අඩුවක් වන සේයාවක් එයාගෙ බිරියට දැනිල තිබුණා. එයා ඒ ගැන නිහඬ වුණේ සැමියාගේ මුදල් බලය සමග හැපෙන්න බැරි නිසා. එයාගෙ බිරියට ඒ සැකය මතුවුණේ යන යන රටවල එයාගෙ සැමියා අන් අඹුවන් ඇසුරු කරන බවට ඉවවැටුණු නිසා. එහෙම ගිය රට ගමන්වලදී එයාගෙ විවාහක බිරියයි දරුවන් දෙදෙනයි ඒ අය නැවැතී සිටි හෝටලයේ තනිකරලා මේ පුද්ගලයා රාජකාරී ගමන් ගියේ රාත්‍රි කාලයේදී. එයා ආපසු ආවේ අලුයම් කාලෙදී. දිනක් එයාගෙ 8 හැවිරිදි පුතා මේ ගැන පියාගෙන් අහපු වෙලාවේ එයාට හරියට තරහ ගියා. එහෙම තරහ ගිහිං පිටරටකදි නොකළ යුතු දෙයක් පියා කරන්න

පෙලඹුණා. ඒ මොකද මේ අය දරුවාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ බිරියගේ මුහුණ හරහා කම්මුල් පහරක් එල්ල කරමින්. ඒත් ඒ බිරිය සියල්ල ඉවසගෙන හිටිය මිසක් එයා සමග දබර කරගන්න ගියේ නැහැ. පවුලේ සියලු දෙනා රට සවාරිය අවසන් වෙලා ආපසු ලංකාවට ආවේ කිසිදෙයක් සිදුවුණු බවක් කිසිවකුට හඟවන්නේ නැතිව රහසක් වශයෙන් තබා ගෙන. ඒ ආව ගමන් ඒ සැමියා තමන්ගේ දුවටයි පුතාටයි ඒ අයගෙ අනාගතය සඳහා විශාල මුදලක් බැංකු දෙකක තැන්පත් කළා. නමුත් එයාගේ අරමුණ වුණේ වෙනත් දෙයක්. ඒ අරමුණ එළිදකින්න ටිකක් කල් ගියා. ඒ පුද්ගලයා ආපසු එයාගෙ ජාත්‍යන්තර රැකියාවට යද්දී දුවගෙත් පුතාගෙත් විදේශ ගමන් බලපත්‍රයක් අරගෙනයි ගියේ. එයා මාස පහකට හයකට සැරයක් තමයි ලංකාවට නිවාඩුවට ආවේ. ඒත් සෑම සති දෙකකට සැරයක් එයා පිටරට ඉඳන් ගෙදරට ලියුම් එව්වත් දරු දෙන්නාගෙ නමට මිසක් බිරියට ලියුම් එවන එකත් නැවතුණා. ඒ ගැන එයාට අවංකවම ආදරය කරන බිරියට ඇති වුණේ හරිම දුකක්. රට ඉන්න සැමියාට දුරකථනයෙන් අමතන්න ඇය දැරූ උත්සාහයන්ද බොඳවී ගියා. සැතැපුම් දහස් ගණනක් දුර රටක සිටින සැමියා කරදිය වළල්ලෙන් මෙන්ම ඇයගෙන්ද ඈත් වීම ගැන ඒ කුමාරිහාමි නිතරම හිටියේ හැඬු කඳුළෙන්. ඒ දුක වේදනාව මැද්දේ කුසට අහරක් නොමැතිව නොනිදා පහන් කළ අවස්ථා ද තිබුණා. ඒ නිසාම ඇය දිනෙන් දින ලෙඩ වෙන්න පටන් ගත්තා. ඒ අතරතුරදී හදිසියේම එයාගෙ සැමියා කාටවත් නොකියාම ලංකාවට ආවා. එයාගෙ සැමියා දින පහක් විතර ගෙදර ගත කළේ බිරිය සමඟ වැඩි කතා බහක් නැතිවයි.

එහෙම ඉන්න ගමන් දරුදෙන්නගේ ඇඳුම් පැලඳුම් පැක්කරන්ගෙන් පසු දිනයෙම දරු දෙන්නට කියලා මවට වන්දවලා බිරිය සමග වචනයක්වත් කතා නොකර හදිසියේම කැනඩාව බලා යන්න ගියා. බිරිය අතහැර සැමියා ඒ ගමන ගියේ ජාත්‍යන්තරයේදී එයා සමඟ අනියමින් බැඳුණු පෙම්වතිය වී සිටි විදේශීය සුදු කාන්තාව සමග ,සදාකාලිකව ජීවත් වෙනවා කියන යටි අරමුණ ඇතිව. එයාගෙ බිරිය කුමාරිහාමි මේ රටේ තනිකරලා දරුවන් දෙදෙනා රැගෙන සැමියා ගිය ඒ ගමන නිසා මේ කාන්තාව හඩාවැටෙමින් කල් ගත කළා. මේ සියල්ල එයාගෙ මවුපියන්ට දැනගන්න ලැබුණේ එයාගෙ සැමියා දරු දෙදෙනා රැගෙන රටින් පිටවී ගිහිං දින දෙකකට පසුව. ඒ දෙන්නගෙම මවුපියන් ගෙදරට ඇවිත් නිවෙසේ තනිවුණු සිය දියණිය කුමාරිහාමි සමඟ ඇගේ දුක බෙදා හදාගන්න දෙවියන් අයැදමින් හඬා වැලපුණා. ඒත් ඒ අයටවත් කුමාරිහාමිගේත් සැමියාගේත් දරුවන්ගේත් වෙන්වීම නිසා ඇතිවුණු වේදනාව ඉවසා දරාගන්න බැරිවුණා. ඒ කුමාරිහාමිගේ එක කුස උපන් සහෝදරයාත් මේ ගැන හිටියේ තද කේන්තියකින්. ඒ අය තවත් ඥාතීන් පිරිසක් සමග අපේ කාලි කෝවිලට ආවා. ඒ ආවෙ සිකුරාදා දිනයක. අඟහරුවාදා සිකුරාදා දින දෙක කාලි මෑණියන්ට විශේෂිත දින දෙකක්. ඒ අය ආව දිනයෙත් කාලි බැතිමතුන්ගෙන් කෝවිල පිරිලයි තිබුණේ.  ඒ ඇවිත් ටිකක් සෙනග අඩුවෙනකොට ඒ අය ඇවිත් මේ ප්‍රශ්නය ගැන මා ඉදිරියේ කියමින් තම සහෝදරිය වැටී සිටින දුක්ඛිත තත්ත්වය ගැන මුල සිට අගටම කියාගෙන ගියා. ඒ අයත් අපේ කාලි කෝවිලට ඇවිත් තිබුණේ පළමු වතාවට. මා එක්ක එහෙම දුක කියල ඒ අය එයාලගේ සහෝදරිය වෙනුවෙන් කාලි මෑණියන් වැඩ හිඳින කුටිය අසල පඩිය මත හිස ගසමින් හඬා වැටුණා. වැලපුණා. ඒ අයගෙ හදවතේ රහසේ ලියවුණු සිතිවිල්ල රතු රෙදි කැබැල්ලක ගැටගැසුණු රෙදිකඩක ඔතලා කාලි මෑණියන් ළග ගැටගහන්න මගේ අතටයි දුන්නේ. මටත් ඒ අය ගැන ඇති වුණේ බලවත් කම්පාවක්. මමත් ඒ අය ගෙන ආ පලතුරු පූජාව කාලි මෑණියන්ට කැපකරලා නම් ටික කියලා කාලි මෑණියන්ගෙන් ඒ අයට පිළිසරණක් පතා මම කාලි මෑණියන්ට නෙළුම් මල්පෙති ඉසිමින් කන්නලව් කළා. ඒ අය ආපසු යනවිට මම ඒ සහෝදරයගේ හිසට අත තියලා කීව කාලි මෑණියන්ගේ පිහිටයි සියල්ල මෑණියන් බලා ගනීවි කියලා ආශීර්වාද කරයි කියල. ඒ ගිහිං මාස දෙකක් ගතවුණේ නැහැ කැනඩාවේ ඉන්න සුදු කාන්තාවගේ සහෝදරියක් කුමාරිහාමිගේ දරු දෙදෙනා ලංකාවට කැඳවා ගෙනැවිත් ඒ අයගෙ නිවෙසට ගිහිං දරු දෙදෙනා කුමාරිහාමිට භාර දීලා ලියුමකුත් දීල පසුදිනම ආපසු රටින් පිටවී ගියා.ඒ සිද්ධිය කුමාරිහාමිටත් ඇගේ මවුපියන්ටත් පුදුම සිද්ධියක් වුණා. පසුව දරුවන්ගෙන් දැන ගන්න ලැබුණේ කැනඩාවේදී සුදු කත සමග දීග කෑ පියා දරු දෙදෙනා ගෙදර නවතා රාත්‍රි සාදයකට ගිහිං අලුයම ආපසු එද්දී වාහනය හදිසියේ ගිනි අරන් දෙදෙනාම වාහනයත් සමඟ අළුවී ගිය බව. දරු දෙදෙනා ආපසු මේ රටට එනවිට ඒ දෙන්නගේ වයස අවුරුදු 14යි 16යි. දරුවන් සමඟ තමාටත් නොකියා රට අතහැර ගිහිං දුක්ඛිත ඛේදවාචකයට මැදිවූ සැමියා ඇගේ දෑසටවත් නොපෙනී අවසන් ගමන් යෑම ගැන ඇය ගේ දෙවනත් කරමින් හඬා වැලපුණා. ඒ සිද්ධිය ගැන ඇය සදාකාලික දුකට පත්වෙලා වැන්දඹුවක් බවට පත්වුණු ඇය කිසි දිනක යළි විවාහයක් කරගත්තේ නැහැ. ඇය තම සැමියා වෙනුවෙන් වැඩි වැඩියෙන් පින් දහම් කරන්න වුණා. කුමාරිහාමිගෙ සහෝදරයා කාලි කෝවිලට ගියවග ඇය කිසිවිටෙක දැන සිටියේ  නැහැ. ඒත් ඒ සහෝදරයා කුමාරිහාමිටත් හොර රහසේම කාලි කෝවිලට ඇවිත් සතුන් දෙදෙනකු කෝවිල් භූමියට නිදහස් කරල එයා එදා කාලි මෑණියන්ට භාර කළ භාරයෙන් නිදහස් වුණා. මියගිය සැමියාගේ දේපොළ සියල්ල වැන්දඹු බිරියටත් දරුවන්ටත් හිමිවුණා. මවකගේ කඳුළට කාලි මෑණියන් පිහිට වූ අන්දම මේ.