නොමග යෑමෙන් හිතුවක්කාරී චරිත බවට පත්වන දූ දරුවන් නිසා හදවත් තුළ කදුළු සඟවාගෙන නිහඬව ඉකිබිඳින මවුපියන් සමාජය තුළ දර්ශනය වීම සුලබ දෙයකි. ලොව උත්තරීතර මවු පදවිය ලබා දු දරුවන් උස්මහත්කර සමාජ වේදිකාවේ බැබළෙන පුද්ගලයකු හෝ කාන්තාවක බවට හෝ පත්කිරීමට ඔවුන්ට මවුපියන් සිප් - නැණ ලබා දෙන්නේ ඇතැම් විට හරිහැටි කුසට අහරක් නොමැතිව දුක් විඳිමිනි. එහෙත්, ඇතැම් දූවරුන් මවුපියන්ගේ අත්වැලෙන් සරසවි වරම් ලැබ අමාරුවේ වැටුණු අවස්ථා කොතෙකුත් ඇති බවට කාලි කෝවිල සාක්ෂියි. එවැනි අන්දමේ දුම්ගැනවිලි කියන්නට හඩා වැටෙමින් හලාවත මහා භද්‍රකාලි කෝවිලට දිව එන මවුපියන්ගෙන් ඒ බව පැහැදිලි වන බව කාලි කෝවිල්ලේ මහේන්ද්‍ර සාමි පවසයි. එවැනි අන්දමේ සිද්ධියකට මැදිවූ සරසවි වරම් ලද දියණියක කාලි මෑණියන් ඉදිරියට පැමිණ දිවුරා මවුපියන්ගෙන් සමාව අයැද සිටි අවස්ථාවක් එක් දිනක කාලි කෝවිලේදී දර්ශනය විය. ඒ ගැන කියන්නට මෙවරත් කටහඬ අවදි කළේ හලාවත මහා ලක්ෂ භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමිය.
'මම මේ කියන මවුපියන් කුරුණෑගල ප්‍රදේශයට නුදුරු ගමක පදිංචිකරුවන්. ඒ දෙන්නාට හිටියෙ දූවරුන් දෙන්නකු පමණයි. පියා විශ්‍රාම ගිය ආරක්‍ෂක අංශයක නිලධාරියෙක්. මව පාසල් ගුරුවරියක්. මේ දෙන්නා ඒ අයගෙ දෑස් මෙන් රැකබලාගත් දූවරුන් දෙන්නා උසස් බාලිකා විද්‍යාලයකට යවල හොඳට ඉගැන්නුවා. වැඩිමහලු දියණිය දීප්තිමත් ශිෂ්‍යාවක්. එයා එයාගෙ ශිල්ප හැදෑරූ පාසලෙන් ඊළගට නැවතුණේ සරසවි බිමේ දොරටුව ළඟ. මේ මවුපියන්ගේ වැඩිමහලු දියණිය ලබපු ජයග්‍රහණය ගැන මවුපියො දෙන්න හරියට සතුටු වුණා. ඒ දියණිය ඉල්ලන සෑම දෙයක්ම ලබාදෙන්න තරම් ඒ මවුපියො කඩිනම් වුණේ ඒ සතුට නිසයි. කොළඹ සරසවි පිවිසුමට තේරුණු දියණිය පියා දන්න හඳුනන කොළඹ නිවසක නවතා ඒ මවුපිය දෙදෙනා ආපසු ආවෙ තරමක් දුරට හිත් තුළ මෝදු වුණ පාළුවක්ද සමගයි. පාසල් ජීවිතයෙන් එහාට ගිය සරසවි භූමිය ඇයට අලුත් තැනක් වුණා. අලුත් නවාතැනේ සිට ඒ දියණිය සරසවියට ආවෙ ගියේ බස් රියෙන්.
දින, සති, මාස ගණනක් ගෙවී යද්දී සරසවිය ඉදිරිපිට බස් නැවතුමේදී ඇගේ ඇස ගැටෙන්නට වුණේ තරමක් කඩවසම් තරුණයෙක්. ඒ තරුණයා සවස් යාමයේ මේ තරුණිය සරසවි බිමෙන් බස් නැවතුමට යන කොට පස්සෙන් එන්න පටන් ගත්තා. මුලදී සති කීපයක් ඒ තරුණයාගේ බැල්ම මේ තරුණිය පිළිකෙව් කර අහක බලාගත්තද පසුව ඒ දේ කරන්නට ඇයට සිත දුන්නේ නැහැ. ඒ මොකද ඒ තරුණයා ඒ තරමට ඇයට ළං වුණා. ඒ සමීප වීම කුලුඳුල් ආදර කතාවකිනුයි අවසන් වුණේ. හදිසියේ දැන හැඳිනගත් මේ පෙම්යුවළ කතාබහින් අසීමිත වින්දනයක් වින්දත් ඔහු සමග අඳුරු කුටිවලට යෑම වැනි දේවල් මැය ප්‍රතික්ෂෙප කළා. ඒ අලුත් පෙම්වතා නිතරම ඇයට කීවෙ එයා ව්‍යාපාරිකයෙක් බව. ඒ වචනය ආදරය වැඩිකම නිසා එයා විශ්වාස කළා. වැඩි කලක් යන්න පෙර මේ දෙන්නගෙ පෙම් සබඳතාව මවුපියන්ට ආරංචි වුණා. ඒ ආරංචිය මවුපියන්ගේ කනට ගියේ ඒ පළාතෙ ඉන්න අසල්වැසියකුගේ තවත් සරසවි පුතෙකුගෙන්. ඒ තරුණයාගේ යටි සිතේ මේ දැරිය ගැන අදහසක් තිබුණා. එය අහිමිවීමෙන් ඒ තරුණයාත් සිත්තැවුලට පත්වෙලයි හිටියේ. ඒ නිසාදෝ දැරියගේ පෙම් සබඳතාව ගැන සති දෙකකට වරක් ගමට එන ඒ තරුණයා දැරියගේ මවුපියන්ට කියන්න පෙලඹුණා.
ආරක්‍ෂක අංශවල සිට විශ්‍රාම ගියත් දැරියගේ පියා එයාගෙ කොළඹ ඉන්න හිතවතුන් මාර්ගයෙන් සරසවි දුව ගැන විපරම් කරමින් සිටියේ. මාසෙකට කීපවරක් ඒ දුව ගෙදර ආ සෑමවිටම පෙම් සබඳතාව නවත්වන්න කියල මවුපියන් ඇයට අවවාද කළා. ඒත් ඒ වන විට ඒ දෙන්නගෙ ආදර කතාන්දරය හුගාක් දුරදිග ගිහින්. මේ මවුපියන් දෙන්නත් බොහොම කාලයක ඉඳල කාලි මෑණියන් අදහන දෙන්නෙක්. මාසෙක දෙකකට සැරයක් අපේ කෝවිලටත් එනව. පස්සෙ මේ මවුපියන් දෙන්න මේ තරුණිය හිටපු බෝඩිම වෙනස්කරල එයාව වෙනත් බෝඩිමක නැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි එයාගෙ පියා සතියකට වරක් සරසවි පිවිසුම් දොරළඟ රැඳෙමින් දුව ගැන විපරම් කර බැලුවා. ඒ දවසට අර පෙම්වතා මේ දියණිය හමුනොවී මඟහැර ගියා. දුවගෙ සබඳතාව කඩන්න ක්‍රම සොයන්න ඒ අය ගමේ ළගපාත තැන්වලින් පේන බැලුවා. ඒ තැන්වලදි ඒ අයට කියල තියෙන්නේ ඒ තරුණයා කීපදෙනෙක් එක්ක සබඳතා පවත්වනවා. මේ අයගේ දියණියටත් මොනවා හෝ කන්න දීල වසග කරගෙන ඉන්නව කියල. අලුත හදුනාගත්ත මේ නාඳුනන පෙම් පලහිලව්ව දුරදිග යද්දී දිනක් මේ දියණියගේ සරසවියෙ ඉන්න හොඳම යෙහෙළියක් ඇවිත් මෙයාට රහසක් කීවා. ඒ කිසිවක් නෙවෙයි මේ අයගෙ පෙම්වතා තවත් තරුණියන් කීපදෙනකුගෙ ඇසුරේ ඉන්නව ඇසින් දුටුව කියලයි එයා කීවෙ. ඒ රහස එකවර පිළිගත් බවක් ඇය මිතුරිය ඉදිරියේ ප්‍රදර්ශනය නොකළත් ඇගේ යටි සිත තුළ සැකයක් ඇදී ගියා. ඒ ගැන ඇය කම්පාවටත් දුකටත් පත්වුණා. එයාගෙ පෙම්වතාගේ හදිසි වෙනස්වීම් කීපයක් ඇයට පෙනෙන්නට තිබුණා. එයාගෙ පියා විටෙක මවට කීවේ දුවට පෙම් කරන පෙම්වතාව වෙඩි තියල මරන්න හිතෙනව කියල.
විශ්‍රාමික ගුරුවරියක වුණු එයාගෙ බිරිය සැමියා සනසවමින් නිතරම කීවෙ ඉවසීමෙන් යුතුව දුවගෙ ප්‍රශ්නය විසඳමු කියල. ඒ වෙලාවෙ ඒ අයගෙ දුක වැඩිකමට දෝ ඒ අයට මතක් වුණේ කාලි කෝවිල. ඒ දෙන්න කාලි කෝවිලට ඇවිත් මාව හමුවෙලා දුවගෙ පෙම් පලහිලව්ව මට කියා සිටියා. ඒ පෙම්වතාගෙන් එයාලගෙ දියණිය බේරා දෙන්න කියල ඒ දෙන්නා කාලි මෑණියන් ඉදිරියෙ අයැද සිටිය. මමත් ඒ අයගෙ දෝතින් ඉල්ලගත භාරය කාලි මෑණියන් ළඟ ගැටගහල ඒ අයගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවෙන්න කියල කාලි මැණියන්ට ස්ත්‍රෝත්‍ර කීවා. දිනක් මේ තරුණ දියණිය සරසවි අසල මාර්ගයක බස්නවතුමේ ඉන්න කොට එයාගෙ පෙම්වතා ඇයව සොයා ආව. එදා මේ තරුණිය එයාට කතා කළේ එතරම් ළබැඳියාවෙන් නොවෙයි. මොකද ඒ වන විට මෙයාගෙ සියලු දේ මේ තරුණියට ආරංචිවෙලයි තිබුණේ. ඒ සෑමදෙයක්ම මේ තරුණිය එයාගෙ මුහුණටම අහනකොට එයාට ඒවට දෙන්න උත්තර නැති වුණා. ඒවට බොරුවට නිදහසට කරුණු කියන්න ඒ තරුණයා උත්සාහ කරද්දි මෝටර් රථයක් ඇවිත් බස් නැවතුමේ නතර කළා. ඒ වාහනයෙන් බැහැල තියෙන්නෙ ඒ තරුණයාගේ දෙවැනි පෙම්වතිය. ඒක ඒ වෙලාවෙ මේ තරුණියගෙ දෑස් ඉදිරිපිට ඔප්පු වුණා. දෙවැනි පෙම්වතිය ඒ තරුණයා සමග මහපාරේ සණ්ඩු කරද්දී මේ දියණිය ත්‍රිරෝද රථයක් අරන් බෝඩිමට ගිහින් තියෙන්නෙ හඩා වැටෙමින්. ඒක දැකපු මේ සරසවි දියණියට මවුපියන් සිහිවුණා. මවට, පියාට ද්‍රෝහිවීම ගැන ඇය කම්පා වුණා. කොහොම නමුත් ඒ තරුණිය මේ පෙම්වතා සමඟ ගමන්බිමන් නොගිය නිසා එයා ජීවිතය කැපකරගෙන හිටියෙ නැහැ. බිඳුණු පළමු පෙමට තිත තියල ඒ දියණිය පසුදාම මවුපියන් සොයා ගමට ගියා. ඒ වෙනකොට මවුපියන් කාලි කෝවිලට ඇවිත් ගිහින් දින 10යි ගතවෙලා තිබුණේ. ඒ මවුපියන් දෙන්නා ගෙදර ඉඳගෙනත් කාලි මෑණියන් සිහිපත් කරමින් තමයි හිටියෙ. ඒ අතරේ තමයි මේ සියල්ල සිදුවුණේ. හදිසියේ ගෙදර ආව දියණිය මවුපියන් ඉදිරියේ වැඳවැටිල සමාව ගත්තා. ආයෙත් කිසිම තරුණයකුට පෙම් කරන්නේ නැහැ කියන පොරොන්දුවත් ඒ තරුණිය මවට දිවුරා කියා සිටියා. ඒත් ඒ මවුපියන්ට ඒ මොහොතෙ මතක් වුණේ කාලි මෑණියෝ. ඒ දුව ගෙදර ඇවිත් තිබුණෙ සිකුරාදා දිනෙක. පසුදා සෙනසුරාදා මවුපියො දියණියත් සමඟ කාලි කෝවිලට ආව. ඒ ආව වෙලාවෙ මම ඒ දියණියගේ හිස අතගාල ආශීර්වාද කරල ඇය මවුපියන් සමඟම කාලි මෑණියන් ඉදිරියට කැඳවාගෙන ගියා. ඒ වෙලාවෙ මම කාලි මෑණියන් ඉදිරියේ මේ දියණියගෙන් දිවුරුමක් ලබා ගත්තා. ඒ දිවුරුම් දෙන්න ඒ දියණිය මැළි වුණේ නැහැ. මීට පසු මෙවැනි අන්දමේ පෙම්සබවලට හසුනොවී මවුපියන් හොයාදෙන තරුණයකුට කැමැති වන බවට ඇය කාලි මෑණියන් ඉදිරියේ පොරොන්දු වෙමින් යළිත් මවුපියන් ඉදිරියේ වැඳ වැටුණා. එදා මේ මවුපියන් ඒ දියණිය සමග සතුටු කඳුළු සලමින් කාලි මෑණියන්ට පූජා ඔප්පුකර කෝවිලෙන් පිටව ගියේ සෑම තුන් මසකට සැරයක් කෝවිලට එන බවට පොරොන්දු දෙමින්.
අන් සතු දේ සොරා ගන්නා පුද්ගලයන්ටද කාලි මෑණියන් දඬුවම් දෙන්නේ ඇය සමඟ සිටින සොහොන් කාලි අවතාරය යවමින් බව මහේන්ද්‍ර සාමි පවසයි. එවැනි තවත් සිද්ධියක් මතකයට නැ වූ මහේන්ද්‍රසාමි ඒ ගැන කියන්නට යළි කටහඬ අවදිකර සිටියේය. මම මේ කියන පුද්ගලයා පදිංචිව සිටියේ ඕපනායක ප්‍රදේශයට නුදුරු ගම් ප්‍රදේශයක. ගමේ අයත් මේ මිනිහ දැක්කහමත් බියක් දැක්කුවා. ඒ මොකද මෙයා පළාතෙම ප්‍රසිද්ධවෙලා හිටියෙ හරක් හොරෙක් විදියට. ගමේ සිදුවන හොරකම්වලට පිටින් එන හොරුන්ට අනුබල දුන්නේ මේ මිනිහා බව කවුරුත් දැන සිටියා. ඒ මිනිහගෙ තියෙන දාමරිකකම නිසා කවුරුත් ඒ ගැන කියන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ ගමේ හිටපු වැදගත් විදියට ජීවත්වුණ ඉඩකඩම් හිමි පුද්ගලයකුට වටිනා හරක බාන පවා සිටියා. ඒ අයට හිටපු රට එළදෙනක් හදිසියේ අතුරුදන් වුණා. ඒ කියන්නේ කවුරුන් හෝ ඒ හරකා සොරාගෙන ගිහින් තිබුණා. ඒ ගැන ගමේ ඉන්න හොරා සැක කළත් ඒ ගැන කොහාටවත් පැමිණිලි නොකර ඒ එළදෙන හිමි ඉඩම් හිමියා කෙළින්ම ආවෙ කාලි කෝවිලට. ඒ අය දුර ගෙවාගෙනවිත් මාව හමුවෙලා මේ විස්තරේ කියල කාලි කෝවිල
ඉදිරියෙ පළිගැහැව්වා. ඒ අය ඉල්ලා සිටියෙ එයාගෙ වටිනා කිරි එළදෙන සොරකම් කළ අයව ඇස් ඉදිරියේ පෙන්නල දීල දඬුවම් දෙන්න කියල. එහෙම කියල පළි ගහල පොල් බිඳල ඒ අය කාලි කෝවිල් භූමියෙන් පිටවී ගියේ හරිම බලාපොරොත්තුවෙන්. ඒ ගිහින් දින 10ක් ගියේ නැහැ අර හරක් හොරාට පිස්සු හැදිල හැමතැනම ඇවිදින්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි ගමින් ගමට ඇවිදගෙන ගිය ඒ මිනිහා අන්තිමේ ගමෙන් හොරකම් කළ එළදෙන මරා මස්කර ඇටකටු වළදාපු තැනට ඇවිත් සිරුරට භූමිතෙල් වත්කරන්ගෙන ගිනි තියාගෙන මැරුණ. ඒ සිද්ධිය ගම්මාන පුරා පැතිර ගියා. හුගක් පිරිස් මේ කෝවිලටත් ඇවිත් ඒ අයගෙ නැතිවුණු දේවල් ගැන කියමින් කාලි මෑණියන්ට භාර හාරවෙලා ගියා. සොරුන්ට, මැරයන්ට කාලි මෑණියන්ගෙන් සමාවක් නැති බව සත්‍යයක් බව ඒ කතාව හමාර කරමින් මහේන්ද්‍ර සාමි පැවැසීය.
Comments
Post a Comment