gossiplanka image 1
 




සත්‍යවාදී පුද්ගලයාට කාලි මෑණියන්ගේ ඇල්ම, බැල්ම, ශක්තිය හිමිවන්නේ නිරායාසයෙනි. බොරුකාරයන්ට, වංචාකාරයන්ට කාලි මෑණියන්ගෙන් සමාවක්ද නැත. මෙය අද ඊයේ සිට පැවත එන බලවේගයක් නොව, රාවණා රජ සමයේ සිට පැවැත එන සත්‍යයකි. කාලි මෑණියන්ගේ නම විකුණා විවිධ ජාවාරම් කරන අනුන් තළා පෙළා මුදල් ගරන ව්‍යාජ පුද්ගලයන් කාලි මෑණියන්ගේ උදහසට ලක්වනවා පමණක් නොව, ඔවුන්ගේ පසු පස කාලි මෑණියන්ගේ අවතාර 14න් ප්‍රබලම අවතාරය වන සොහොන් කාලි අවතාරය ඒ නිවෙසට ඒ ඉඩමට ගොඩවදින්නේ මරුවා සමඟය. කාලි කෝවිලට පැමිණ බාර හාර වී ගොස් එය ඉටු වූ පසු කෝවිල දෙපස ආපහු හැරී නොබලන පුද්ගලයන්ට මෙන්ම ඥාති බලවේගවල කරපිටින් පැමිණ කාලි මෑණියන්ගෙන් වරම් ලැබ ගම්මානවලට ගොස් එම වරමින් බැතිමතුන් අපහසුවට පත්කර මුදල් ගසාකමින් කාලි මෑණියන්ට අපහාස කරන, අභියෝග කරන සියල්ලන්ම කාලි මෑණියන්ගේ දහසකුත් දෑස්වලට හසුවීමට එතරම් කල්ගත නොවන බව මහා භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි.වසර ගණනක් තිස්සේ අනුරාධපුරයට නුදුරු ප්‍රදේශයක ගම්මානයක පවත්වාගෙන ගිය කාලි දේවාලයක පූජකවරයකු මෑණියන්ගෙන් වරම් ලබාගෙන බැතිමතුන්ට පිහිටවෙමින් සිටියදී ඔහු මියයෑමෙන් පසු ඒ පවුලේ බාල සහෝදරයා අනෙක් සහෝදරයන් දෙදෙනාගේද විරෝධතාව මත එම දෙවොලේ බලය අල්ලාගත් පසු සිදු වූ දේ කියන්නට මෙවරත් කටහඬ අවදි කර සිටියේ හලාවත මහා භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමියි.


මම මේ කියන මියගිය කාලි කෝවිලේ කපු මහතා ඒ ප්‍රදේශයේ හිටිය හොඳ ගොවි මහතෙක්. එයා ගොවිතැන් බත් කරද්දී හොඳින් දෙවියන් මෙන්ම කාලි මෑණියන්ද ඇදහු අයෙක්. ගොවිතැන් බත් කරන්න පටන්ගන්න මාසවලදී එයා අනිවාර්යයෙන්ම කාලි කෝවිලට එනවා. ඒ ඇවිත් ගොවිතැන් සරුවන්නට කාලි මෑණියන්ට භාරහාර වෙලා යන්නේ පළමු අස්වැන්නේ බත දෙවියන්ට පුදලා.

දෙවැන්න අරගෙන කාලි කෝවිලට එනව කියන පොරොන්දුව දීලා. එයා ගොවිතැන් කටයුතුවලට අමතරව සුළුව්‍යාපාරික කටයුතු පටන්හතෙත් කාලි මෑණියන් ළඟ බාරවෙලා. කොළඹට ගිහින් ගෙන යතුරුපැදි අමතර කොටස් විකුණන ව්‍යාපාරික ස්ථානයක් එයා නිවසෙම ආරම්භ කර තිබුණා. හොඳ දැහැමි ජීවිතයක් ගත කරමින් එයා කාලි දේවාලය ද පවත්වාගෙන ගියා. එතැනට යන එන බැතිමතුන්ට එයා සැලකුවේ තමන්ගේ අය විදිහට. ඒ වැඩිමහලු කාලි පූජකවරයා තමන්ගේ ඥාති ආත්මයට කාලි මෑණියන් ලබාදුන්න වරම හොඳින් ආරක්ෂා කළා. එයාගේ දෙවොලට එන අසරණයගෙන් ගසා කෑවේ නෑ. ඒ බැතිමත්තු බුලත් කොළේ තියල දෙන පඬුරු මුදල් දිහා බලල නොවෙයි ඒ අය කාලි මෑණියන්ගේ ආශීර්වාදය ඒ අයට ලබාදුනෙ. ඒ වගේම එයා පසු පස සිටින ඥාති බලවේගයටත් කාලි මෑණියන්ටත් පින් පතා මාසෙකට වරක් දාන මාන දුන්නා. ඒ අයට පින් දුන්නා. ඒ අය වසර ගණනාවක්ම අවට ගම්මානවල අයගෙ හොඳ හිත දිනාගෙන සිටි අයෙක්. එයා හදිසියේ මියගියේ එයාට වයස 70 දී. එයා මියයෑමෙන් පස්සේ එයා ළඟ සිටි ඥාති බලවේගය සිරුරෙන් ඉවත්ව ගියා. ඒ ඥාති බලවේගය වෙනත් සහෝදරයකුට එයාගේ ආත්මය දුන්නේ නෑ. නමුත් බාල සහෝදරයා මියගිය ඥාති බලවේගයේ ආත්මය තමාට ළං වී නැතත්, එයා ඉන්න විදියට දිෂ්ටියක් මවාගෙන කාලි මෑණියන්ගේ නම විකුණමින් මුදල් ගරන්න පටන් ගත්තා.


කාලි මෑණියන්ගේ නමින් විශාල බෝඩ් ගහගෙන පුද පඩුරු භාර අරන් පූජාවල් භාරගත්තේ සල්ලි හොයන්න මිසක් අසරණයන්ට පිහිට වෙන්න නොවෙයි. එයාගෙ සහොදරයා ගැන විශ්වාසය තබල මෙයා ළඟට ආව බැතිමත්තු එයාට රැවටුණා. එයා කියන කියන පූජාවල් කළා. ඒ සහෝදරයා විවාහක පුද්ගලයෙක්. දරුවන් දෙදෙනකුත් හිටියා. ඒ පවුලේ වැඩිමහල් සහෝදරයා මියගියාට මෙයත් සමඟ තවත් සහෝදරයන් දෙදෙනෙක් හිටියා. ඒ අයට මේ බාල සහෝදරයාගෙන් ඒ කියන්නේ බලෙන් කපුකම ගත්ත අයගෙන් කිසිම උපකාරයක් ලැබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඒ අය දැන හිටිය මේ බාල සහෝදරයා බොරු කරන්නේ කියල. ඒ නිසාම ඒ අය කිසිම විටෙක මේ අයගේ පිහිට පැතුවේ නැහැ. මියගිය සහෝදරයා හදපු කෝවිල අපිරිසිදු වන විදියටයි මොහු කටයුතු කළේ. කෝවිලට එන අයගෙන් ගන්න අසාධාරණ සල්ලිවලින් මොහු සුරාවට සූදුවටත් ඇම්බැහි වුණා. ඒ වගේ  දේවල් කරන අයගේ දොවොලට දෙවියන්ගේ වෙනත් බලවේගත් ඇතුළුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා කියල එයාගෙ අනෙක් සහෝදරයොත් එයාට අවවාද කළා. ඒත් එයා ඒ අවවාද ගණනකට ගත්තේ නැහැ. එයාව කාලි කෝවිලට අරගෙන යන්න සහෝදරයන් එයාට ඇවිටිලි කළත් ඔහු එයද ප්‍රතික්ෂේප කළා. එයා සෑම විටම කාලි මෑණියන්ගෙ නම විකුණමින් වැඩ කරන්න පටන්ගත්තා.


මේ තත්වයට පත්වෙන කොට ඒ අයට කාලි මෑණියන් දඬුවම් දෙන්න පටන් ගත්තා. ඔහුගේ බිරියගෙ කුසට ආව දරුවො දෙනෙක්ම අවස්ථා දෙකකදී නැති වුණා. එයාට හිටිය එකම පුතා වැරැදි ඇසුරට වැටිලා වල්මත් වෙලා ගෙදරින් යන්න ගියා. කාලි මෑණියන්ගේ වරම් අරගෙන ශාස්ත්‍ර කියන පුද පූජා කරන අයට ලැබෙන පුද පඬුරුවලින් තමන්ට හිමිවන්නේ තුන් කාලක පමණ වත්කමක් පමණයි. අනෙක් ඒව දේවාලෙ පරිහරණයටත් කාලි මෑණියන් වෙනුවෙන් දන් පින් කරන්න යොදවන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි අනුන්ට බොරු කරමින් කාලි මෑණියන්ගෙ නම විකුණමින් සිටි මේ බාල සහෝදරයගෙ මහ ඉඩමෙ පදිංචිව සිටිය සහෝදරයන් දෙන්නත් ඒ ගෙවල් දොරවල් අතහැරල ඒ අය විවාහ වී සිටින බිරින්දෑවරුන්ගේ ගම් වලට යන්න ගියා. මේ දෙවොලෙ බොරු කරන අයගෙ බිරියගේ දරුවන් දෙනෙක්ම කුස තුළ මියගියායින් පස්සේ එයාගෙ බිරියත් ඔහුගෙන් වෙන් වී යන්න ගියා. අන්තිමේ මේ බොරු කපු මහතාටත් පිස්සු වැටිලා මහමග ඇවිදිමින් සිටිය දී එක් රාත්‍රි දිනයක දී මහමග ගිය වාහනයකට පැනල සියදිවි හානි කරගත්තා. එයා එහෙම මිය ගියත් ඒ අයගෙ ඉඩම ගේ දොර මිලදී ගන්න කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ” මෙවැනි අන්දමට කාලි මෑණියන්ට සතුන් පූජා කරන්නට ඒ පුදබිමේ සතුන් නිදහස් කරනව කියමින් සතුන් එකතු කළ පූජකවරයකුට ද කාලි මෑණියන් දඬුවම් දුන්න අන්දම කියන්නට යළිත් හඬ අවදි කළ මහේන්ද්‍ර සාමි ඒ සිද්ධිය මතකයට නැංවූයේ මෙසේය.


“මම මේ කියන පුද්ගලයාත් දකුණු පළාතේ කාලි මෑණියන්ගෙන් වරම් ලබාගෙන දෙවොලක් කරගෙන ගිය පූජකවරයෙක්. එයාගෙ සිරුරට දිෂ්ටි වැටිල හිටිය ඥාතියාගෙන් එයා වැඩ ගත්තෙ ඥාතියාත් රවට්ටමින්. එයාට පින් පිණිසත් කාලි මෑණියන්ට පුද දෙනව කියල එයා එතැනට එන බැතිමතුන්ගෙන් සතුන් එකතු කරල එයාගෙ පුදබිමේ බැඳල තියල කාටත් හොරා පිටට විකුණා දැම්මා. කිසිම සතෙක් කාලි මෑණියන්ට ගෙනත් නිදහස් කළේ නැහැ. මෙයාට දිෂ්ටි වෙලා ඉන්න ඥාතියා එයාගේ දියුණුවට අත දීල ටික කලක් එයා කරන කියන දේ ගැන බලා සිටියා. මියගිය අයගේ උදව්වෙන් ඒ අය යතුරුපැදියක් අරන් ඊළඟට වාහනයක් මිලදී ගත්තා. නමුත් එයා කාලි මෑණියන්ට පුද දෙනු වෙනුවට එයාගෙ ඇඟිල්ලක් සිදුරු කරල ලේ ටිකක් අරන් බිත්තර කීපයක ගාලා දේවාලේ වටේ ගහල එයා අමුතු ක්‍රමයකට කාලි මෑණියන්ට පුද පූජා කළා.ඒක එයා හදාගත්තෙ අර බැතිමතුන් එතැනට පූජා කළ සතුන් කාලි කෝවිලට ගෙනැවිත් නිදහස් කිරීමෙන් වැළකී ඉන්න.


මේ දෙවොල ගැන ගම්වල නගර මට්ටමින් දැන්වීම් ගහල මිනිස්සු ගෙන්වා ගෙන ඒ අයගෙන් මුදල් කඩාගත්තා. ඒ අයගෙන් ප්‍රශ්න අහල ඒ අයට එයාගෙ කටට එන මුදල් නියම කළා. එතැනට පිළිසරණ පතා එන දුප්පත් අයෙක් දිහාවත් එයා කාරුණිකව බැලුවේ නැහැ. සමහර විටෙක එයා එයාගෙ දෙවොලෙ ඉඳන් කාලි මෑණියන්ට අභියෝග කළ අවස්ථා තිබුණා. එයා ඒවා නොදැන කළාද නැත්නම් හිසේ අමාරුවකට කළ ද දනෙ නැහැ. දිනක් මේ අය යතුරුපැදියකින් බිරියත් සමඟ ඥාති නිවෙසකට යද්දි හදිසි අනතුරකට මැදි වුණා. බිරිය මියගියා. මේ අයගෙ කකුල කැඩිලා එයාගෙ එක කකුලක් කපා දමන්න පවා සිදුවුණා. පස්සෙ එයාගෙ දේවාලයට ආව ගිය ව්‍යාපාරිකයකුගේ පිහිටෙන් බොරු කකුලක් සවිකරන්ගෙන තමයි ඇවිද්දෙ. පස්සෙ මේ අය අර ව්‍යාපාරිකයාගේ වාහනයෙන්ම මුන්නේස්වරම කෝවිලට ඇවිත් එළුවෙක් කාලි භූමියට නිදහස් කරල කාලි මෑණියන්ගෙන් සමාව අයැදිමින් පූජාවන් පැවැත්වූවා. පස්සේ අර ව්‍යාපාරිකයා මේ අයට අනුකම්පා කරල ඒ අයගෙ ගමේ පුංචි කඩයක් දාල දීල බඩුත් අරන් දීල එයාට ජීවන මාර්ගයක් සකස් කර දුන්නා. ඒ ව්‍යාපාරිකයා ඒ යුතුකම ඉෂ්ට කළෙත් කාලි මෑණියන් ඉදිරියේ අසරණයකුට පිහිට වන ආකාරයේ යැදුමක් කරලා. අදත් ඒ ව්‍යාපාරිකයා කාලි මෑණියන්ගෙන් දඬුවම් ලබපු ඒ අය අරගෙන මාස දෙකකට වරක් කාලි කෝවිලට එනවා.