gossiplanka image 1
 


කෙම


ඇසේ නගනයක් සෑදුණ විට කතා නො කර ලුණ කැටයක් ගෙන නගනයේ අතුල්ලා හත්වරක් පහත සඳහන් කෙටි මන්තරය එම ලුණු කැටයට මතුරා වතුර කළයකට දමනු. නගනය සුවවේ.


මන්ත්‍රය


නගනය පොගනේ කළයට පොගනේ.


එහි විද්‍යාත්මක පදනම


ඇස් පිහාටුවේ සෑදෙන කුඩා පරිමාණයේ ගෙඩි විශේෂයක් වන නගන සුවකිරීම සඳහා ප්‍රචලිත කෙම් ක්‍රම ගණනාවක් විවිධ පළාත්වල ව්‍යාප්ත ව ඇති අයුරු දැකිය හැකි ය.


තුත්තිරි යුෂ ගෑම, බළල් වළිගයේ කෙළවර නගන යේ ඇතිල්ලීම, බත් හැළියේ පෙණ ආලේප කිරීම ඉන් කීපයකි. ඒවා අතුරෙන් ලුණු කැටයෙන් කරන මෙම වඩාත් ප්‍රචලිත බැවිනුත්, එහි විශේෂත්වයක් ඇතැයි හැඟුණ බැවිනුත් එහි විද්‍යාත්මක පදනම සොයා බැලීම සඳහා තෝරා ගතිමි. නගනය වනාහී සුළු පරිමාණයේ ආසාධන තත්වයක් යයි සිතා නො සලකා හැරීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවේ. මන්ද සුළු පරිමාණයේ ආසාදන තත්ත්වයක් වුව ද මහා පරිමාණයේ ආසාදන තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ හසර පවතින බැවිනි. නගනයක් සෑදුණ විට ඖෂධ උපයෝගී කරක්ගෙන ප්‍රතිකාර නො කළත් සරල කෙමකින් දින දෙක තුනකින් සම්පූර්ණ සුවය ලැබිය හැක.


මෙහි ඉදිරිපත් කොට ඇත්තේ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි සරල ප්‍රතිකාර ක්‍රමයකි. එහෙත් එමගින් නගනයක් සුවපත් වන්නේ කෙසේ ද යන්න ඔබට කුතුහලය දනවන  කාරණයක් වීමට පුළුවන. එ බැවින් එහි පවත්නා විද්‍යාත්මක පදනම කුමක් ද කියා විමසා බැලීම වැදගත් ය.  ලුණු විෂබීජ නාශකයකි. එබැවින් ලුණු කැටය නගනයේ ඇතිලීමේ දී නගනය හා ඒ අවට ප්‍රදේශය පිරිසිදු වීමකට බඳුන් වේ. එය නගනය සුවපත් කිරීමට පෙර මඟ සකස් කිරීමකි.  ඊළඟට රෝගියා කෙමට ප්‍රවේශ වෙන්නේ පවතින ආසාදන තත්වය සුවකර ගැනීමේ අපේක්ෂාවෙනි. නගනයේ ස්පර්ෂ කොට කළයට දමන ලුණු කැටය මෙන් නගනය ද අහෝසි වී යනු ඇතැයි සිතිවිල්ලක් ඔහු ගේ සිතේ ඇති වීම නිරායාස ක්‍රියාවලියකි. එය චිත්ත ශක්තියක් බවට පත්වීමට කෙම කිරීමෙන් පසු ව එ තරම් කාලයක් ගත නො වේ. චිත්ත ශක්තිය පුද්ගල ජීවිතයේ හැම අංශයකට ම බලපාන්නේ නම් මෙ වන් සුළු රෝගී තත්වයක් පාලනය කොට සුවපත් කිරීමට ඇති හැකියාව අරුමයක් නොවේ.