gossiplanka image 1
කෙම


දුමෙහි දැලියන් බෝ වුණ විට ගෙවත්තේ ගසක සිට දුමට කතා නො කර වැලක් අදිනු. දුමේ සිටින දැලියන් ඉතාමත් කෙටි කලක දී වඳ වේ.


එහි විද්‍යාත්මක පදනම


ගම්බද ගෙවල්වල මුළුතැන් ගෙයි දුමක් දැකිය හැකි ය. එය උඩදුම සහ යටදුම යනුවෙන් කොටස් දෙකකින් යුක්ත ය. යට දුම අටුකොස්, ගොරක සියඹලා, අටු කොස් ඇට යනාදිය ගබඩා කර තැබීම සඳහා ය. උඩ දුම හැලි වළං ගබඩා කර තැබීම සඳහා ය.  මෙම දුම් දෙකේ ම අධික ලෙස දු වැදීම නිසා දැලි හා අටු දුඹුටු බැදේ. එ විට ඒ ආශ්‍රිතව කරදරකාරි සත්ත්ව විශේෂයක් නිරායාසයෙන් ම වාගේ බෝ වෙන්නට පටන් ගනී. දැලියන් යනුවෙන් එම සත්ව විශේෂය හඳුන්වනු ලැබේ. දැලියන් ගේ බෝවීම මුළුතැන් ගෙයි පවිත්‍රතාවයට මහත් තර්ජනයකි. උන් පිසින ලද කෑම භාජන වලට පවා වැටෙන බැවින් ගැටළුවක් මතු වෙයි. එයින් අත්මිදීම සඳහා ගෘහණියෝ දැලි උවදුර පිටු දැකීමට විවිධ පියවර ගනිති. ඒවා අතර ඉහත සඳහන් කෙමට ඔවුන් අතර ප්‍රමුඛස්ථානයක් ලැබේ. ඒ මන්ද යත් දැලියන් වඳ කිරීම සඳහා මෙම කෙම මගින් මහත් පිටු බලයක් ලැබෙන බැවිනි. කෙමට අනුව කළ යුත්තේ ගෙවත්තේ ඇති ගසක සිට දුම තෙක් වැලක් ඇදීම ය. එසේ කළ විට ගම්බද ගෙවතු වල ඇති ගස්වල ගොටු සාදා ගෙන කොතෙකුත් ජීවත් වෙන දිමියන් එම වැල දිගේ ගමන් කිරීමට පටන් ගනී. දවසක් දෙකක් එම වැල දිග එහා මෙහා ගමන් කරන දිමියන් නිරායාසයෙන් ම වාගේ දුමට මාරුවෙති. එ විට එහි දැලියන් සිටින බව දිමියන්ට අවබෝධ වේ. එ තැන් සිට දිමියෝ දැලියන් ඇල්ලීමට පටන් ගනිති. වැල දිග දැලියන් ගෙන යන අයුරු ද සුලභ දසුනක් බවට පත්වේ. එතරම් කාලයක් ගත නොවේ. දැලි උවදුර මුළුමනින් ම නිවාරණය වේ. කෙමක් වුව ද මෙය එක්තරා විදියක ජීව විද්‍යාත්මක පලිබෝධ නාශක ක්‍රමයක මුහුණුවර ගනී. කෙම කතා නො කර කළ යුත්තේ කුමක් නිසා ද යන්න මෙහි දී සටහන් නොකරමි. මෙහි එන කෙම් ක්‍රම බොහොමයක ඒ ගැන සඳහන් වන බැවිනි.

කෙසේ වෙතත් මෙය දැලියන් වඳ කිරිම සදහා උපයෝගී කරගත හැකි අන්දුටු කෙමකි.