දරු සෙනෙහස අහිමිව කඳුළු සලන මවුපියන් සුලබ සමාජයක දරුවන්ට දෙපොළ ලියා මහමගට බැස හදවතින් දෙවියන් ඉදිරියේ හඩාවැටෙන මවුපියන්ද කෙතෙකුත් ඇත. දූ දරුවන් ගැන විශ්වාසය තබන මවුපියන්ද පරම්පරාගත උරුමයෙන් ඔවුන්ට හිමි ඉඩකඩම් දරුවන්ට නිර්ලෝබීව ලියා දී නිදහස් වන්නේ සැදෑ සමය සතුටින් ගත කිරීමටය. දූවරුන් දෙදෙනකුට අක්කර දෙකක ඉඩමක් සම සමව ලියා දී අවසානයේ මහමගට බැස කාලි මෑණියන්ගේ පිහිට සොයා පැමිණි මවකට කාලි මෑණියන් පිහිට වූ අන්දම මහේන්ද්‍ර සාමි මෙසේ පැවසුවේය.
‘මම මේ කියන මව පදිංචිවෙලා හිටියේ හලාවතට නුදුරු ප්‍රදේශයක. එයාගේ වයස දැන් අවුරුදු 70ක්. එයා පරම්පරාවෙන් හිමිවුණු ඉඩකඩම් ගොඩාක් තිබුණු කෙනෙක්. නමුත් එයාගේ සැමියා ඒවා ටිකෙන් ටික විකුණලා සල්ලි කළා. අන්තිමට ඉතිරිවුණේ ඉඩම් අක්කර දෙකක් පමණයි. එයාගේ සැමියා වසර ගණනක් පෞද්ගලික ආයතනයක සේවය කරලා මියගියේ බොහොම අඩු වයසකින්. එයාට හිටියේ දූවරුන් දෙදෙනයි. වැඩිමහලු දියණිය බදුල්ල ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන එහෙ පදිංචි වුණා. මේ අය හිටියේ හලාවතට නුදුරේ තිබුණු එයාට අයිති ගෙදරම පදිංචි පොඩි දුව සමග. එයත් විවාහකයි. එයාගේ විවාහයේදී එයාට හිමිව තිබුණු ඒ නිවෙසත් බාල දියණියට දෑවැද්ද වෙනුවෙන් ලියාදීලයි තිබුණේ. ඒ විතරක් නෙවෙයි එයාගේ සැමියා මියයන විට බැංකු ගිණුම්වල තිබුණු මුදල්ද දෙදෙනාට සමව බෙදාදීලා එයා ඉතිරි කරගත්තේ බෙහෙත් හේත්වලට අවශ්‍ය මුදල් ටිකක් පමණයි. සැමියා ජීවත්ව සිටියදී පවා ඒ මව අපේ කාලි කෝවිලට ආව ගියා. පූජාවල් තිබ්බා. දෙන්නම කාලි මෑණියන් අදහපු අය. ඒ දෙන්න වසරක් පාසා කාලි කෝවිලේ පැවැත්වෙන මංගල්‍යවලට ආවා.
ඒ වගේම එයාගේ සැමියාත් ආගම දහමට ළැදිව නිවෙසේ කාමරයක් පිරිසුදුවට වෙන්කරගෙන දෙවියන්ට පහන් පත්තු කළා. බාල දියණිය විවාහවුණු බෑනා ඒ ගෙදරට ඇවිත් වැඩිකල් යන්න පෙර එයා නිතර නිතර වැඩට ගිහින් එනකොට ගෙට ගොඩවැදුණේ හරක්මස් ඌරුමස් අරන්. එයාගේ සැමියා ජීවත්ව සිටිය දී කිසි දිනෙක මාළු ටිකක් හැරෙන්න කිසිම මසක් ගෙදරට ගත්තේ නැහැ. අලුත් බෑනා මස් ජාති ගෙදරට ගෙන ඒම ගැන මේ මව හරියට දුක් වුණා. එහෙම දැන්වුණා විතරක් නෙවෙයි මේ මව ඒ දුවටයි බෑනටයි කීවේ පියා ජීවත්ව සිටින කල් ගෙදරට මස් ජාති ගත්තේ නැහැ, ගෙදර ඇතුළේ දෙවියන් අදහන කොට ඒක කරන්න එපා හොඳ නැහැ කියලා. ඒ මව දුවට බෑනාට කොච්චර අවවාද කළත් ඒ අය ගණන් ගත්තේ නැහැ. ටික දිනක් යද්දී දුවයි බෑනයි අතර සණ්ඩු සරුවල් ඇතිවුණා. දෙන්නගේ රණ්ඩුවලට මුල් වුණේ මිල මුදල් ප්‍රශ්න කියලයි ඒ අය කීවේ. ඒ මව ඒ දෙන්නට කීවේ හරක්මස් ඌරුමස් ගෙදරට ගන්නවානම් ගේ ඇතුළේ දෙවියන්ට පහන් පත්තු කරන්න එපා කියල. එහෙම කියලා සතියක් යන්න පෙර දෙවියන්ගේ පින්තූර තියෙන පහන් තියෙන කාමරේ තිරයකට ගිනි ඇවිළිලා කාමරයේ තිබුණු මේසයකුත් දැවිලා ගියා. ඒ ගැන අවවාද දෙන ගිය මව එක්ක දුවයි බෑනයි රණ්ඩු කරන්නට වුණා. ඒ විතරක් නෙවෙයි ඒ මවට කෑම බීම පවා හරියට දුන්නේ නැහැ. මේ දුක්මුසු කතා ඒ මව බදුල්ලේ පදිංචි ලොකු දුවට කිව්වත් එයා ගත්තේ නංගිගෙ පැත්ත. දුවයි බෑනයි අතර තිබුණු අසමගිය ගුටි බැට හුවමාරු දක්වා දිග්ගැසී ගියා.
ඇතැම් අවස්ථාවල මවගේ ජීවිතයටත් හානිවෙිවි කියලා ඒ මව බියවුණා. ඒත් මව දුවයි බෑනයි හේදකරන්න ගියේ නැහැ. ඇගේ දෑසට එන කඳුළු හදවතේ සගවාගත්තා. අවසානයේ මේ මව කාටත් හොරා ගෙදරින් එළියට බැස්සෙ පාරදිගේ කොහේ හරි යන්න හිතාගෙන නම් නෙවෙයි. ඒ මවට හුරු පුරුදු තැන සොයාගෙනයි එයා ආවේ. එයා ආවේ කෙළින්ම කාලි කෝවිලට. ඒ කාලි කෝවිලට ඇවිත් කාලි මෑණියන් වැඩ හිඳින කුටිය ඉදිරිපිට ශාලාවේ තමයි දිවා රෑ පහන් කළේ. එයා ඒ ආව දවසේ ඉඳන් ගෙදර ඇතිවෙලා තියෙන අවුල් සහගත දුක්මුසු තත්ත්වය ගැන කාලි මෑණියන් ඉදිරියේ යදිමින් දුක කියන්න පටන් ගත්තා. කාලි කෝවිලට දිනපතා යන එන අය මේ මවගේ අහිංසක පෙනුමට පැහැදිලා කෑම බීම පවා ගෙනත් දුන්නා. සමහර බැතිමතුන් කාලි මෑණියන්ට පූජාවල් කැපකරලා අවසානයේ ආපසු දෙන පූජා වට්ටිවලින් දෙන තැඹිලි ගෙඩියක් පවා බීලයි ඇය කුසගින්න මකා ගත්තෙ. එතැන සිටින තාක් කල් ඒ මවට කෑමෙන් බීමෙන් අඩුවක් වුණේ නැහැ. ඒකත් කාලි මෑණියන් මේ මවට දක්වපු කරුණාව නිසා සිදුවූවක් කියලයි මම හිතන්නේ .ඒ මව කාලි කෝවිලට එනකොට එයා ළග තිබුණ ජංගම දුරකථනය අරන් ආවත් ඒක මෙතැනදී ක්‍රියාත්මක කර තිබුණේ නැහැ.
මව නිවෙසින් පිටවුණු ආරංචිය බදුල්ලේ හිටිය දුවට දැනුම් දුන්නෙත් අර හලාවත පැත්තේ හිටපු බාල දුව. බදුල්ල පැත්තේ හිටපු දුව මව ගැන සොයන්න පටන් ගත්තා. ඥාති නිවෙස්වල බැලුවත් සොයාගන්න බැරිවුණා. මේ මව කාලි කෝවිල් භූමියේ රැදෙමින් කාලි මෑණියන්ට තමාගේ දුක කියමින් හඬා වැටුණේ එයාගේ දූවරුන් දෙදෙනා යහමගට ගන්න කියල අයැදමින්. දින හතක් තිස්සේ ඒ මව ගතකළේ කාලි කෝවිල්ලේ ශාලාවේ. ඒ මව කාලි මෑණියන් ඉදිරියේ තබන දුක වේදනා කාලි මෑණියන්ගේ දෑස්වලට අසුවීමට වැඩි දිනක් ගියේ නැහැ. නිවෙසින් පිටවී සිටින මව සොයා යන්නට ඒ දූවරුන්ට සිහිනෙන් අණ දුන්නේ සොහොන් කාලි අවතාරය. ඒ සොහොන් කාලි අවතාරය ඒ අයගේ ඉඩම්වලට ඇතුළුවෙනු සිහිනෙන් දකින සෑම අවස්ථාවකම ඔවුන් මහහඬින් කෑගසමින් අවදිවන්නට පටන්ගත්තා. ඒ බයටම ඔවුන් සමහර දිනවල නිදිවර්ජිතව පහන් කරන්නට වුණා. මේ අතර බදුල්ලේ සිටින ලොකු දුව මීගමුව පළාතේ සිටින හිතවත් කාන්තාවකගේ නිවෙසකට ඇවිත් කෙළින්ම ගියේ පේන කියන තැනකට. එතැන මියගිය ඥාති බලවේගයකින් ශාස්ත්‍ර කියන තැනක්. ඒ තැන්වලින් ඔවුන්ට අහන්න ලැබුණේ ඔවුන් මව එළියට දමපු නිසා සොහොන් කාලි ඔවුන් පසු පස එන බව. ඒ කියමනෙන් ඔවුන් තව තවත් බියවුණා.
කොහොම නමුත් අවසන් දින කීපය තුළ දූවරුන් දෙදෙනාටම සිහිනෙන් කාලි කෝවිල දර්ශනය වන්න පටන්ගත්තා. ඒ දූවරුන් දෙදෙනා කෙළින්ම දිවගෙන ආවේ කාලි කෝවිලට. ඒ වනවිට එදා සවස 5.30 කාලි මෑණියන් සඳහා වූ පූජාවට ඒ මව වාඩිගෙන කාලි මෑණියන් දෙස එක එල්ලේ බලාගෙන අතීතය සිහිගන්වමින් හඬමිනුයි හිටියේ. කාලිකෝවිලේ බැතිමතුන් අතරේ වාඩිගෙන සිටින මව දැකීමෙන් පුදුමයට පත්වුණු දූවරුන් දෙදෙනා කාලි මෑණියන්ගේ රුව පේන තෙක් මානයේ සිට මෑණියන් වැලඳගෙන හඩා වැලපෙන්නට වුණා. මම ඒ දෙන්නා මව සමඟම කාලි මෑණියන්ගේ කුටියේ පඩිපෙළ ළඟට කැඳවාගෙන ගිහින් ඇය දරුවන්ට භාර දීමට පෙර ඔවුන්ට තදින් අවවාද කළා පමණක් නෙවෙයි, පොරොන්දුවක් ගත්තා යළිත් කිසිදිනෙක මෑණියන් අතරමං නොකරන බවට සහ හරක්මස් ඌරුමස් කිසි දිනෙක ගෙදරට නොගන්නා ලෙසත් කාලි මෑණියන් ඉදිරියේ.
එහෙම පොරොන්දු අරන් ඒ අයගෙ නිවෙස වටා වළ දමන්න කාලි මෑණියන්ගේ ආශීර්වාද ගත්ත දෙහි ගෙඩි කීපයක් අරන් ඒ අය අත තැබුවා. ඒ දූවරුන් දෙදෙනා මම කිව්ව ලෙසින්ම කාලි මෑණියන් ඉදිරියේ ඒ පොරොන්දු එලෙසම ඉටු කරන බවට දිවුරා පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි ඒ දූවරුන් දෙදෙනා එයාලගෙ මව සමඟ කාලි කෝවිලෙන් පිටව ගියේ පිට තැනකදීවත් හරක්මස් ඌරුමස් නොකන බවටත් පොරොන්දුවක් දීලයි. ඒ දුවල දෙන්න කාලිකෝවිලට දුවගෙන ආව වෙලාවේ එයාලා බැදලා හිටිය සැමියන් ඒ සමග හිටියා. ඒ දෙන්න එදා කාලි කෝවිලට ඇවිත් තිබුණේ පළමුවතාවට. ඒ දෙන්නත් කාලි මෑණියන්ට හරිම බයෙන් තමයි මා සමඟ කතා කළේ. ඒ දෙන්නත් කාලි කෝවිලෙන් පිටවුණේ නිර්මාංස පුද්ගලයන් බවට ජීවිතයේ පරිවර්තනයක් ඇතිකරගෙන.
Comments
Post a Comment