මවු පදවියට වාසනා ගුණය නොමැතිව සුසුම්ලන කාන්තාවන්ගේ දුක කඳුළට මුසුවන වාර අනන්තය. වත් පොහොසත්කම් ඇතත් බිලිඳකුගේ හඬ නොමැති නිවෙසින් ශ්‍රියා කාන්තාව බැහැරවන බව වැඩිහිටි කා අතරත් කතාබහට ලක්වන්නකි. සැමියාගේ හෝ බිරියගේ හෝ වරදින් ඒ දෙය එසේ සිදුවුණත් ඇතැම් අවස්ථාවන්වලදී දෙවියන් පිහිටට එන අවස්ථාද ඇති බව දරු සම්පත් නොමැති අයගේ මතයයි. දරු සම්පත් නොමැතිව සිටින කාන්තාවන්ගේ කදුළට ඉව වැටී තහනම් ගහේ ගෙඩි කන්නට සූදානම් වන අවස්ථාවාදී පුද්ගලයන්ද රටේ සුලබය. එය අතීත සමාජ අත්දැකීම්වලද සැගවී ඇත. එවැනි අන්දමේ වේදනාවකට මැදිවූ කාන්තාවක් සිය පණහානිකර ගැනීමට යදී ඇයව කාලි මෑණියන් විසින් සනසවනු ලැබ ඇගේ ජීවිතය බේරාගැනීමට මැදිහත් වූ ආකාරය කියන්නට මෙවරත් කටහඬ අවදිකර සිටියේ හලාවත මහා භද්‍රකාලි කෝවිලේ මහේන්ද්‍ර සාමිය.
“මම කියන විවාහක යුවළ හොඳ පවුල් පසුබිමක් ඇති දෙනෙක්. ඒ කාන්තාව කොළඹ ධනවත් පවුලකට සම්බන්ධ නීති අංශයකට සම්බන්ධ විවාහක කාන්තාවක්. එයාගෙ සැමියා ව්‍යාපාරික ලෝකයේ පිටරටවල සමඟ පවා සම්බන්ධකම් තියෙන අයෙක්. ඒ නිසා එයා නිතර නිතර රට රටවලට යනවා, එනවා. මේ අය පදිංචිවෙලා හිටියේ සැමියාගේ පියාගේ මහගෙදර. මේ දෙන්න විවාහ වෙලා අවුරුදු දෙකකින් විතර නැන්දණිය මියගියා. ඒ ගෙදර ඉතිරි වුණේ එයාගෙ මාමණ්ඩිය විතරයි. මේ දෙන්න විවාහ වෙලා වසර කිහිපයක් ගතවුණත් ඒ අයට දරු සම්පත් නැති නිසා මුනුපුරෙකුගේ හඬක් හෝ අහන්න නොලැබීම නිසා ඒ මාමණ්ඩිය මේ ල්ලියට නිතර නිතර මානසිකව වධ දුන්නා. නිතර නිතර සිත රිදෙව්වා. ඒත් ඒ කාන්තාව ඒවට සැලුණේ නැහැ. කේන්ති ගත්තේ නැහැ. මෙයාගේ සැමියා වුණත් දරු සම්පතක් නොමැතිකමින් සිත යටින් දුක් වුණා. ඒත් එයා බිරියට ඒ වගක් හැඟුවේ නැහැ. වෙනසක් නැතිව ආදරය කළා. මේ අතරතුර සැමියාගේ කිට්ටු හිතවත් ව්‍යාපාරිකයෙක් මේ නිවෙසට යන්න එන්න වුණා.
එයා මේ අයගෙ දරු සම්පත් ප්‍රශ්නය දැනගෙන මේ කාන්තාව සමග අනියම් සබඳතාවක් ඇතිකරගන්න උත්සාහ කළා.
ඒත් ඒ කාන්තාව ඒකට කැමැති වුණේ නැහැ. ඒ ව්‍යාපාරිකයා එයාගෙ අදහස ඒ කාන්තාවට කිව්ව වෙලාවෙ එයාට හරියට කේන්ති ගියා. එයා මේ කාන්තාවට කිට්ටු වෙන්නෙ දරු සම්පතක් ලබා දෙන්න කියලා දුරකථන ඇමැතීමකින් පවා දැනුවා. ඒ ඇවිටිල්ල අහගෙන ඉඳලා ඒ කාන්තාව ඔහුට බැණ වැදුණා. ඒ විතරක් නෙවෙයි ඒ කාන්තාව නිතරම බැලුවෙ මේ ව්‍යාපාරිකයා සැමියා සිටින විටදී ගෙදරට ආවත් ඔහු මගහැර යන්න. මේ කරදරය ඇය සැමියාට කීවේ නැත්තේ එය සගවන්න නෙවෙයි. මිතුරන් දෙදෙනා අතර ගැටුම් ඇතිවේවි කියන බයට. මේ විවා යුවළත් කාලි කෝවිලට එයාලගේ මවුපියන් සමග ආව ගිය දෙනෙක්. ඒත් ඒ කාලෙ මේ අය දරු සම්පත් බලාපොරොත්තුව සිටි නිසා ඒ ප්‍රශ්නය කාලි මෑණියන් ඉදිරියට ගෙන ගියේ නැහැ. මෙයාගෙ මාමණ්ඩි මේ අයට දරු සම්පතක් නැති නිසා ළමයෙක් හදාගන්න කියලත් බලපෑම් කළා. යෝජනා කළා. මේ දෙන්නා ඒ යෝජනාවට කැමැති වුණේ නැහැ. ඒ නිසාම මාමණ්ඩියගෙන් සිදුවන හිරිහැර වැඩිවුණා. ඒ අතරතුර සැමියා රට ගිය අවස්ථාවල දී අර ව්‍යාපාරිකයා මේ කාන්තාව පිට තැන්වලට කැඳවාගෙන යන්න පවා උත්සාහ දැරුවා. දිනක් මේ කාන්තාව මේ කරදරය ඉවසාගන්න බැරි තැන කාටත් හොරා නිවෙස තුළම සියදිවි හානිකරගන්න අදහස් කළා. ඒ වෙලාවෙ ඇයට මතක් වුණේ කාලි මෑණියෝ. එදා ඒ කාන්තාව එයාගේ තීරණය කියන්න මට දුරකථනයෙන් කතා කළා. මම එයාට ඒ වෙලාවෙ කීවා ඒ අදහස අතහැරන්ගෙන කාලි මෑණියන් සිහිකරගෙන ජීවිතයට මුහුණ දෙන්න කියල. ඒ කාන්තාව මට කතා කළේ බදාදා දවසක. මම ඒ කාන්තාවට කීවා බයවෙන්න එපා. මම ඔයාගෙ ඔය කරදරය ගැන අද දහවල් කාලි පූජාව වෙලාවෙදි කාලි මෑණියන්ට කියලා සහනයක් අරන් දෙන්නම් කියලා.
එයා මගේ කීම අහල එයාගෙ ගෙදර ඉඳන්ම දුරකථනයෙන් කාලි මෑණියනේ මාව බේරාගන්න, මට පිහිට වෙන්න කියල දුරකථන කතාබහ අවසන් කළා. එහෙම කියලා සතියකට පස්සේ එයාගේ සැමියා රට ගිහින් ආව ගමන් ඒ කාන්තාව එයා සමඟ ආවෙ කාලි කෝවිලට. ඒ ඇවිත් පූජාවල් තියල යළි බාරවුණා.ඒ දෙන්නගෙ පැතුම් ඉටුකර දෙන්න කියන ඉල්ලීම තුළින් කාලි මෑණියන්ට කීව්වේ බාහිර කරදර ඉවත්කර දෙන්න කියල. බාහිර කරදර මොනවද කියන එක සැමියා කිසිවිටෙකත් දැන සිටියේ නැහැ. එයා හිතුවෙ එයාගේ පියාගෙන්, ඥාතීන්ගෙන් මේ කාන්තාවට සිදුවන හිරිහැර ගැන වෙන්න ඇති ඒ කියන්නෙ කියල.මේ කාන්තාවගේ සැමියාත් හොඳ තැන්පත් අයෙක්. සැමවිටම එයා කීවේ අපේ ලැබීම නැතිකම තමයි දරුසම්පත් නැත්තෙ කියල. ඒ දෙන්නගෙ වයසත් දැන් අවුරුදු 40ක් විතර වෙනව. දරු සම්පත් නැති වුණත් ඒ දෙන්නා හරි අවබෝධයකින් ජීවත් වුණා. විටෙක ඒ අය රට අතහැර විදේශ රටක පදිංචියට යෑමට පවා අදහස් කළා. එහෙම හිතුවෙ නෑදෑයන්ගෙන් එන අපවාදවලින් බේරී සිත නිදහස් කරගන්න. ඒත් ඒ කාන්තාව මේ රටේ ඒ අයට තියෙන සමාජ පිළිගැනීම නිසා ඒ අදහස අතහැර දැමුවා. මේ දෙන්න කාලි කෝවිලට ඇවිත් ගිහින් දින හතක් යන්න කලින් අර තහනම් ගහේ ගෙඩි කන්න සූදානමින් මේ කාන්තාව පසු පස ආව ව්‍යාපාරිකයා මේ ගෙදරට ඒමත් නතර කළා. එයාගේ ව්‍යාපාරික කටයුතුත් අඩාල වෙලා එයා මානසික අවුලකට පත්වෙලා.
මිතුරන්ගේ ගෙවල්වල කියව කියවා ඇවිදින්නට වුණා. දිනෙක් මේ ව්‍යාපාරිකයා සැමියා නොමැති වේලාවක මෙහෙකාරියයි මේ කාන්තාවයි නිවෙසේ සිටින දිනෙක මේ අයගෙ ගෙදරට හදිසියේම ආව. එදා මේ අයගෙ මාමණ්ඩියත් ගෙදර හිටියේ නැහැ. ඒ ඇවිත් වෙනදා මේ කාන්තාවට බල කරන අන්දමට නෙවෙයි හැසිරුණේ. ඒ ව්‍යාපාරිකයා නිවෙසට ගොඩවැදුණු ගමන් අර කාන්තාවට ආචාර කළා. එයාගේ වරදක් වුණා නම් සමාවෙන්න කියල ආයාචනා කළා. එහෙම ඒ වචන ටික විතරක් කියලා එයා ගෙදරින් එළියට බැහැල වාහනේ නැගල පිටවී ගියා. ඒ දින කීපය තුළ මාමණ්ඩියගෙ හැසිරීමත් වෙනස් වුණා. වෙනදා රවා බලන අඩි හපන මාමණ්ඩිය එයාගෙම දියණියකට සලකන ආකාරයට මේ පුතාගේ බිරියට සලකන්න වුණා. කාලි කෝවිලට ගිහින් ඇවිත් දින හතක් ඇතුළත ඇතිවුණ මේ වෙනස ගැන මේ කාන්තාවත් පුදුමයට පත් වුණා. මේ කාන්තාවන්ගේ දුකවේදනාව පසු පස ආව කාලි මෑණියන්ගේ බලවේග එයාට වධ දුන් පිරිස සොයා එන්න ඇතියි යන විශ්වාසය ඇයට වැටහීමට වැඩිවෙලාවක් ගත වුණේ නැහැ. ඒ අයගේ හදිසි වෙනස්වීම් සිදුවීමට කාලි මෑණියන් මැදිහත්වුණු ආකාරය දඬුවම් ලැබුණු අය රහසේ තබාගන්නත් කාලි මෑණියන්ගෙන් ඒ අයට කුමක් හෝ තරවටුවක් ලැබුණු බවට ඒ කාන්තාව තුළ විශ්වාසයක් ඇතිවුණා.
කාලි කෝවිලට ඇවිත් දින හතක් යද්දි සිදුවුණු මේ විපර්යාසය ගැන ඒ කාන්තාව මට දුරකථනයෙන් දැනුම් දී සිටියා. එයා ඒ වෙලාවෙ මට කියා සිටියේ එයාට කරදර කළ අයගේ සිත් වෙනස් කරන්න කාලි බලවේගයක් ඒ අයට එල්ල වූ බව සත්‍යවාදීව විශ්වාස කරන බවයි. ඒ වගේම ඒ කාන්තාවගේ නිවෙසේ සිටම කාලි මෑණියන්ට පින් දුන්නා. ඒ වනවිටත් එයාගෙ සැමියා හිටියේ විදෙස්ගතව. එයා යළි ආවට පන්සේ ඒ දෙන්නා පසුදාම ආවේ කාලි කෝවිලට. එහෙම ඇවිත් කරදර දුරු කරන්න කාලි මෑණියන්ට භාරහාර ඔප්පු කරල ඒ අය කාලි කෝවිලෙන් නිකම්ම පිටවී ගියේ නැහැ. ඒ අය කාලි කෝවිලෙන් පිටත්වෙලා යන්න පෙර කාලි මෑණියන් ඉදිරියේ වැඳ වැටුණේ දරු සම්පතක් ලබාදෙන ලෙස ආයාචනා කරමින්. ආදරයේ ඔටුනු පලන් දෙහදක් තුළ ජීවත්වන බිලිඳකුගේ හඬ නිවෙසට ගෙන ඒමේ ආශීර්වාදය ලබාදෙන්න යැයි කියමින් කාලි මෑණියන් අයැද සිටි ඒ දෙදෙනා මෑණියන්ට පොරොන්දු දුන්නේ එය ඉටුවුණු දිනට එය සංකේතවත් කරමින් “රිදී තොටිල්ලක්” කාලි මෑණියන්ට භාර කරන්නට බිලිඳා සමඟ එන බව කියමින්.
Comments
Post a Comment