gossiplanka image 1
 




අනුන්ගේ දුකට පිහිටවන්නට දිවා රාත්‍රි වෙහෙසෙමින් කිඹුල් කඳුළු සලන අසල්වැසියන් කොතෙකුත් සිටින මේ රටේ කල දුටු කල වල ඉහගන්නා පිරිද සමාජයේ සිටිති. එවැනි අන්දමේ පුද්ගලයෝ අසල්වැසියාගේ දුක කරටම ගනිති. ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත් වන්නේ දුකට පත් අයගේ ඥාතියකුටත් වඩා හොති බවක් අඟවමින් ඔවුන්ට සමීප වෙමිනි.එවැනි අන්දමට සමීප වන පුද්ගලයාගේ අභ්‍යන්තරය පිරිසුදු නොවන බව හැගී යන්නේ දුකට පත් පුද්ගලයාට අවසාන ප්‍රතිඵල ළඟාවන විටය. එසේ ළංවෙන අසල්වැසියාගේ අරමුණ වන්නේ දුකට පත් පුද්ගලයාගේ ගේ - ඉඩම තමන් සතු කර ගැනීමය. නැතහොත් වාහනයක් හෝ ඔවුන් සතු වෙනත් වත්කමක් හෝ අඩු ලංසුවට තමන්ට පවරා ගැනීමය. එවැනි අවස්ථාවාදීන් වැඩි දෙනකු ළං වෙන්නේ සැමියා නොමැති ලොවක තනිවන කාන්තාවන්ටය. දරුවන් නිසා කරදරවලට මැදිවී ඔවුන් එයින් මුදා දෙන්නට විවිධ යෝජනා ගෙනඑන මෙවැනි අවස්ථාවාදී පිරිස් ඔවුන්ගේ අදහස් ඉටු නොවුණු තැන දුකට පත් අයගේ නිවෙසට ඇස ගසති. තමා වාහනයෙන් නොමිලේ ගමන් බිමන් රැගෙන ගොස් අවසානයේ ඉදිරිපත් කරන බිල්පත් දැක වේදනාවට පත්වී කඳුළු සලන කෙනකුගේ හදවත ඉකිබිඳින හඬද එවැනි ආත්මාර්ථකාමීන්ගේ දෙසවනට නොඇසේ. ගෙවී ගිය 1988 වසරට දිවයන අතීත සිද්ධියකදී කඳුළු සලමින් දසඅතේ දිවගිය කාන්තාවකට කාලි මෑණියන් පිහිට වූ අන්දම කියන්නට මෙවරත් කටහඬ අවදි කර සිටියේ හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍රන් සාමිය.


මම, මේ කියන කාන්තාව මීගමුව ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයක  පදිංචි කෙනෙක්. මේ අයගේ වැඩිමහලු පුතා භීෂණ කාලෙ අතුරුදන් වුණා. කාගේ වරදින්ද කියන එක මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ කාන්තාවට හිටියෙ පුත්තු තුන්දෙනෙක් පමණයි. මේ අයගේ සැමියත් වසර කීපයකට පෙර මියගිහින් තිබුණා. ඒ අයගේ විශ්‍රාම වැටුපෙන් වගේම මෙයාගෙ මවකගෙන් ලැබුණු ඉඩමක ආදායමෙන් තමයි මේ දරු පවුල ජීවත් වුණේ. අතුරුදන් වුණු ලොකු පුතු ගැන සිතමින් හදවතින් කඳුළු සලන මේ මවගෙ එකම උත්සාහය වුණේ ඒ දරුවා සොයා ගැනීමටයි. එහෙම හිතලා ඒ අය අල්ලපු ගෙදර හිටිය සුළු ව්‍යාපාරිකයකුගේ පිහිට පතා සිටියා. එයාගේ මෝටර් රථයෙන් ඒ අතුරුදන් වූ පුතා සොයා මේ මව පුතාගේ යහළු මිත්‍රයන් සිටින ඈත ප්‍රදේශවලටත් ගියා. ඒ ගමන්වලදී ඒ ව්‍යාපාරිකයා මේ කාන්තාවගෙන් කිසිදු මුදලක් අය කළේ නැහැ. ඒ ව්‍යාපාරිකයා තමන්ගේ මුදල් පසුම්බියෙන් තමයි ඇය සමඟ ගිය ඒ ගමන්වලට වියදම් කළේ. ඒ කාන්තාවට යන්න ඕනෑ කොතැනටද ඒ සෑම තැනකටම මේ ව්‍යාපාරිකයා එයාව රැගෙන ගියා.


මාස ගණනක් තිස්සේ ඒ ගිය ගමන්වලදී මේ කාන්තාවට බොරු කරුණාවක් පෙන්වමින් ටික ටික හිතවත් වුණා. එහෙත්, ඔහුට කිසි විටෙක තහනම් ගහේ නඟින්න නම් ඉඩක් ලැබුණේ නැහැ. ඒ කාන්තාවගේ දරු දුක ඇගට අරන් වැඩ කළ මේ ව්‍යාපාරිකයා එයාගේ මුහුණෙන් පෙන්වපු දේ නෙවෙයි හදවතින් කළේ. ඒ කාන්තාව ව්‍යාපාරිකයා සමග ගිය ගමන් බිමන්වලට ගිය සියලු වියදම් ඔහු රහසේ සටහන් කරගෙන තිබුණා. ඒ කාන්තාවට තියෙන දරු දුක විඳ දරාගන්න බැරි තැන ඇය පිට පළාත්වල දේවාලවල පිහිට පතාගෙන ගියා. ඒ ගියෙත් මේ ව්‍යාපාරිකයා සමඟ. ඇය පේනකරුවන් සොයා ගියා. පොලිසියෙ ලොකු නිලධාරීන් සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගියා. මාස ගණනාවක් ගතවෙද්දි මේ කාන්තාව මානසික රෝගියෙක් බවට පත්වන තැනට පත්වුණා. ඒත් ඒක අර්ධ මානසික තත්වයක් වුණා. ඒ ගැන දැනගත්ත මේ ව්‍යාපාරිකයා ඇයව වෛද්‍යවරුන් ළගට පවා රැගෙන ගිහින් එයාගෙ මුදල් යොදවලා ප්‍රතිකාර ලබාදුන්නා.


ඇතැම් අවස්ථාවල ඇය රෝහල්ගත කළ විටදී එයා ළග සාන්තුවට කෙනෙක් තිබ්බෙත් මේ ව්‍යාපාරිකයා. ඒ අවස්ථාවලදී ඇගේ දරු දෙදෙනාගේ පිහිටට සිටියෙත් ඔහු. ඒ කාන්තාවගේ දරුවා අතුරුදන් වෙලා වසරකට ආසන්න කාලයක් ගත වුණත් දරුවා හමුවුණේ නෑ. සිදුවුණේ එකම දෙයයි. ඒ එයා සමඟ ගිය ව්‍යාපාරිකයාගේ වාහන ගාස්තු බිල වැඩිවීම පමණයි. එයාට පොලිසියෙන් කියලා තිබුණ පොලිසියට ඒ දරුවව අවශ්‍ය වෙලා සිටියේ නැහැ කියල. මේ කාන්තාව සෑම අතින්ම පීඩා විඳිද්දි අර ව්‍යාපාරිකයා ගමන් වියදම් බිල්පතක් රැගෙන විත් එම කාන්තාව අතට පත් කරලා ඒ මුදල් ඉල්ලා සිටියා. ඒ බිල්පත ඒ කාන්තාවට ඔරොත්තු නොදෙන රුපියල් ලක්ෂ ගණනක බිල්පතක් බවයි ඇය කාලි කෝවිලට ආව වෙලාවේ මට කියා සිටියේ. මේ කාන්තාවට මවු පාර්ශ්වයෙන් හිමිවෙලා තිබුණ ඉඩමටත් මවගේ සහෝදරයෙක් අයිතිය කියන්න පටන්ගත් නිසා ඒ අයට ලැබෙමින් තිබූ අතිරේක ආදායමත් අහිමිවෙලයි තිබුණෙ.


අර ව්‍යාපාරිකයා එයාගේ හිත්පිත් නැති උත්සාහය අත්හැරියේ නැහැ. අන්තිමේ ඒ කාන්තාව කවදා හෝ ණයෙන් නිදහස් වෙන තුරු තමන් හිමි ගෙයයි ඉඩමයි මේ ව්‍යාපාරිකයාට උකස් කරලා පුතුන් දෙදෙනා සමඟ කුරුණෑගල පැත්තේ ඥාති නිවෙසකට යන්න ගියා. ඒ සිද්ධියෙන් වඩාත්ම කඳුළු සැළුවේ පුතුන් දෙදෙනා. ඒ දරුවන්ගේ පාසල් ගමනත් එයින් ඇනහිටියා. අර ව්‍යාපාරිකයා දරුවන් ගැනවත් අනුකම්පා කළේ නැහැ. ඒ කාන්තාවගේ කුරුණෑගල ඥාතීන් මේ ව්‍යාපාරිකයා ළඟට ඇවිත් අර ණය මුදල් කොටස් වශයෙන් ගෙවන්න දෙන්න කියලා අර ව්‍යාපාරිකයාගෙන් ඉල්ලීමක් කළා. ඒත් ඒක එයා ප්‍රතික්ෂේප කරලා මුළු මුදලම එකවර ඉල්ලා සිටියා. ඒ ඥාති පිරිස වසරකට දෙතුන් වතාවක් කාලි කෝවිලට එන කාලි බැතිමතුන්. ඒ අය මේ අහිංසක කාන්තාවයි දරු දෙදෙනායි කැඳවාගෙන කාලි කෝවිලට ආවා. ඒ අයට සිදුවුණු දේ කියනකොට ඒ අයගේ වචනයක් ගානෙ තුන්දෙනාම මා ඉදිරියේ හඩා වැටුණා.


මම මේ අයව කාලි මෑණියන් ඉදිරියට කැඳවාගෙන ගිහින් දුක කියලා මෑණියන් ඇයැද පිළිසරණක් ලබා දෙන්න කියලා භාරයක් ගැට ගැහැවා. ඊට පස්සේ ඒ අය කාලි කෝවිල ඉදිරියේ පොල් ගහලා පිටව ගියෙත් හරිම වේදනාවෙන්. ඒ අය සමග ආව දරු දෙදෙනා කාලි මැණියන්ගේ පඩිපෙළ ළඟ දණ ගහලා හඬා වැටෙනකොට එදා කෝවිලට ඇවිත් සිටිය බැතිමතුන්ගේ දෑස් පවා කඳුළින් පිරිගියා. ඒ අහිංසක දරු පවුල කාලි මෑණියන් ඇයැද ගිහින් දින 14ක් ගතවුණේ නැහැ. ඒ අවස්ථාවාදී ව්‍යාපාරිකයා බලෙන් හිමිකරගෙන තිබුණු නිවෙසට මැර ප්‍රහාරයක් එල්ල වුණා. ඒ මොකද මේ ව්‍යාපාරිකයා සුළු පරිමාණයෙන් කරගෙන ගිය ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න තවත් පිරිසකගෙන් විශාල ණය මුදලක් අරන් තිබුණා. නමුත් ඒ මුදල් සියල්ල එයාගේ සල්ලාලකම්වලටයි තැබෑරුම්වලටයි වැය කිරීමෙන් එයාගේ ජීවිතය අඳුරෙන් අඳුරට ඇදී ගියා. ණය දුන්න අය මේ ව්‍යාපාරිකයා සොයා ඇවිත් ණය මුදල් ඉල්ලා සිටියත් මුදල් නොලැබුණු නිසා තමයි ඒ එයාගේ ගෙදරට මැර ප්‍රහාර එල්ල වුණේ. ඒ විතරක් නෙවෙයි එයාගේ බිරියටත් සුවකළ නොහැකි අසනීපයක් හැදිලා රෝහල් ගත කළා.


වැඩිමහලු පුතා හිතුවක්කාර විවාහයක් කරක්ගෙන ගමෙන් පිටවී ගිහින් මාස කීපයකදී විවාහය බිඳ වැටී වස බී මියගියා. ගෙදරට මැර ප්‍රහාරයක් එල්ල වීම නිසා ඒ ව්‍යාපාරිකයා ගමෙන් පිටවෙලා වෙනත් ගමක හිටිය හිතවතකුගේ නිවෙසක සැගවී සිටියා. ඒත් එයාට වැඩි කලක් සැඟවී ඉන්න බැරි වුණා. ඔහු ණය වී තිබුණු පුද්ගලයන් ඒ ගෙදරට ඇවිත් එයාගේ අතකුයි කකුලකුයි කඩලා දලා යන්න ගියා. ඒ සිද්ධිය මේ ව්‍යාපාරිකයා පොලිසියට වසං කළේ එයා රටට ණය වී සිටි නිසයි.එයාගේ ඥාති පිරිසක් ඇවිත් අතේ සතේ නැතිව ඉන්න ඒ ව්‍යාපාරිකයයි එකම පුතයි මීරිගමට නුදුරු ප්‍රදේශයක නිවෙසකට රැගෙන ගියා. අසරණ දරු පවුලක් පාරට ඇද දැමූ වරදට කාලි මෑණියන්ගෙන් දඬුවම් ලැබෙද්දී ඔහුට සිහිනෙන් කරන බියවැද්දීම් නිසා ඔහු රෑ දවල් දෙකේක්ම සති ගණනක් නිදිවර්ජිතව ගත කළා. අවසානයේ ඔහු සිය ඥාතීන් සමඟ වාහනයකින් අත්වාරු ආධාරයෙන් අර නිවෙසින් එළියට දැමූ කාන්තාවයි දරු දෙදෙනායි සොයාගෙන ගියා. එහෙම ගිහින් ඒ ව්‍යාපාරිකයා බලෙන් ලියාගත් බදු කොන්දේසි ඉවත් කරන්ගෙන ගෙයි යතුර යළි ඒ කාන්තාවට භාරදී ඇගෙන් සමාව අයැද සිටියා. ඒ සිද්ධියත් සමඟ බලවත් විස්මයට පත්වුණු දරුවා අතුරුදන් වී සිටි කාන්තාව පසුදාම කාලි කෝවිලට ඒමට අමතක කළේ නැහැ. ඒ අහිංසක මවට අහිමි වූ දේපොළ යළි හිමිකර දීම ගැන ඇය දරු දෙදෙනා සමග කාලි මෑණියන්ට පුද පූජා ඔප්පු කලා.