ජෝන් ඩේවි, රොබට් නොක්ස් වැනි මූලාශ්‍ර පුද්ගලයින් සඳහන් කරන අන්දමට අතීතයේ සාමාන්‍ය සිංහල ගෙදරක ගෘහ භාණ්ඩ වශයෙන් දක්නට තිබුණේ ඇඳක්, බංකු කීපයක් සහ පෙට්ටගමක් වශයෙන් වූ ස්වල්ප භාණඩ කොටසක් බවයි. විශාල භාණ්ඩ ප්‍රමාණයක් එම නිවෙස්වල නොවූයේ ඒ සඳහා ඉඩකඩ ඔවුන්ගේ නිවාස තුළ නොවූ නිසාය. එදා ඔවුන්ට ඇඳන් අවශ්‍ය නොවූයේ බිම එළාගත් පැදුරුමත ඔවුන් නිදාගත් නිසාය. විශේෂ අමුත්තෙකු සඳහා පිළිගැන්වීමට කුඩා බංකු විශේෂයක් විය. එබැවින් පුටුවල අවශ්‍යතාවක්ද ඔවුන්ට නොවීය. ලිවීමට හෝ කෑම ගැනීමට ආදිය සඳහා විශේෂ මේද නොතිබිණි. මේ භාවිතය යුරෝපීය ආභාසය නිසා ඇති වූ දෙයකි. පොත්පත්වල නොව ලියන ලද්දේ තල් කොළවලය. ඒ සඳහා කුඩා විශේෂ බංකුවක් යොදාගැණිනි. කෑම ගැනීම සඳහා බිම ඉඳගැනීම සිරිත වූ අතර, බත් තැටිය තබා ගැනීමට සෙරක්කලය, කුරු අඩිය නමින් හැඳින්වූ සිංහල මේසයක් විය. නැතිනම් තැටිය අල්ල මත තබා ගන්නා ලදි.
අල්මාරි මෙන්ම ඇඳ, පුටු, මේස, කනප්පු, වීදුරු අල්මාරි ආදී වූ ගෘහ භාණ්ඩ භාවිතය ප්‍රචලිත වූයේ බටහිර ආභාසය හේතුකොටගෙනය. මීට අමතරව පිඟන්, කෝප්ප, වීදුරු, ජෝගු ආදී භාජන මෙන්ම ලාම්පු, විදුලි පන්දම්, බිත්ති සැරසිලි ආදියද එහි ප්‍රතිඵලය. මෙම භාණ්ඩ සිංහලයන් අතට පත්වීමට පෙර ඒවා වෙනුවට භාවිත වූයේ ඉතා අඩු භාණ්ඩ ප්‍රමාණයකි. පිත්තල තැටිය සහ සෙම්බුව තෛලය, ගුරුලේත්තුව, කෝපය, පොල්කටු කෝප වැනි දේ කෑම් බීම් ගැනීම සඳහා භාවිත කරන ලදි. එමෙන්ම ඒවා මුළුතැන්ගෙයි ඒ සඳහා පිළියෙල කරන ලද පිගන් ආන, තට්ටු ආත ආදී නම් වලින් හැඳින් වූ උඩහල්ලේ එල්ලා හෝ රාක්කයක් මත තබන ලදි. සේරක්කලය, කුරු අඩිය, තට්ටු පෙට්ටිය ආදී නම් වලින් දැක්වෙන සිංහල මේසය අමුත්තන් සඳහා කෑම පිළිගැන්වීමට ප්‍රයෝජනවත් විය. එබැවින් අතීතයේ සිංහල ගෙවල්වල ඉන් කීපයක් හෝ දක්නට තිබිණ. නමුත් අද සමාජයේ මේ සියල්ල ප්‍රයෝජන රහිත තත්වයට පත්වී ඇත. එබැවින් ඒ වෙනුවට භාවිත කරන නූතන භාණ්ඩ හමුවේ බොහෝ තැන්වලින් ඒවා ගිලිහී ගොස් ඇත. අතීතයේ ගේදොර ආලෝක කිරීම සඳහා වූයේ දේශීය තෙල් වර්ග ආධාරයෙන් දල්වන ලද පිත්තල හෝ මැටි පහන් සහ පන්දම් වැනි දේවල්ය. ඒ හැර විසිතුරු භාණ්ඩ ඔවුන් සතු නොවීය. එහෙත් අද සිංහල නිවාසවල නවීන පන්නයේ විසිතුරු භාණ්ඩ විශාල ප්‍රමාණයක් දක්නට ඇත. එම නවීන භාණ්ඩ අතර ගුවන් විදුලි යන්ත්‍ර නවීන ලාම්පු වර්ග, පිගන් කට්ටල්, තේ කර්නල්, වීදුරු කට්ටල් විසිත්ත කාමරය අලංකාර කරයි.
නමුත් සමහර පැරණි සිංහල නිවාසවල ඉතා ඕනෑකමින් යුක්ත වූ භාණ්ඩ කීපයක් දැක ගත හැකිය. ඒවා අතර ඉලත්තට්ටුව, පඩික්කම, අඩුක්කු පෙට්ටිය ආදිය ප්‍රධාන වේ. සිංහලයන් සතුව ඇති පිත්තලෙන් තැනූ, ලීයෙන් කැපූ හෝ වැල් වලින් වියූ ඉලත්තට්ටුව සංස්කෘතික වශයෙන් අති විශාල වැදගත්කමකින් යුත්තය. මෙයට අමතරව එම වැදගත් භාණ්ඩ අතර හුණු කිල්ලෝටයද, පුවක් කපන ගිරයද බුලත් කොටන වංගෙඩියද වැදගත් භාණ්ඩ විය. එසේම මැටියෙන් හෝ පිත්තලෙන් නිම කරන ලද පඩික්කම් බුලත් හපා කෙළ ගැසීම සඳහා අවශ්‍ය වූ බැවින් සෑම පැරණි නිවසකම කැවිලි පෙට්ටිය නමින් හැඳින් වූයේ කෑම් බීම් ගෙන යෑම සඳහා භාවිත කළ ඩෑල් වැනි වැල් වර්ගයකින් වියන ලද පියන සහිත පෙට්ටියකි. සිංහලයන්ගේ නෑදෑ ගමන්, මංගල ගමන් සහ ගොවිතැන් කිරීමේදී ගොවිපළට කෑම ගෙනයාම වැනි අවශ්‍යතා සඳහා මෙය අවශ්‍ය වේ. එබැවින් මෙයද සිංහලයාට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. මෙය වෙනුවට විවිධ භාණ්ඩ සිංහල ගෙවල්වල පැවතුනද පැරණි සිංහල නිවාසවල මතක සටහන් ලෙස හෝ මෙම උපකරණ ලැබේ. මේවා සිංහල සමාජයෙන් වෙන් කිරිමට නොහැකි තරමටම සිංහල සංස්කෘතිය හා බැඳී පවතී. ගෙදර දොර කටයුතු සඳහා අවශ්‍ය වූ අවි ආයුධ ද එදා පටන් අද දක්වා නොවෙනස්ව සෑම සිංහල නිවසකම භාවිත වේ. දෙනික ජීවිතයේ විවිධ කටයුතු සඳහා අවශ්‍ය මූලික ආයුධ වූ කැත්ත, පිහිය, පොරව , වෑය, උදැල්ල වැනි දේ අනිවාර්යයෙන්ම ඔවුන් සතුව ඇත. එමෙන්ම ගමන් බිමන්වලදී ආධාරවල ආරක්ෂක ආයුධ මෙන් සැරයටි, යෂ්ටි වැනි දේවල්ද සමහර නිවාසවල දකින්නට ලැබේ. සමාජ තත්තවයෙන් උසස් නිවෙස්වල පමණක් දැකිය හැකි මුර ආයුධ හා සෙසත් බොහෝ විට වටිනාකමින් යුත් භාණ්ඩ අතර වැදගත් වේ. අතීතයේ සිංහල නිවාසවල විශාල බඩු මුට්ටු ප්‍රමාණයක් දක්නට හැකි වූයේ මුළුතැන් ගෙහිය. ඉවුම් පිහුම් සඳහා සිංහලයන්ට අවශ්‍ය වූ හැලි වලං ප්‍රධාන තැනක් ගනී. ඒ අතර,
හට්ටි
මැටිකෝප්පය
මුට්ටි
මඩක්කුව
අප්පල්ල
තෙල් ඇතිලිය
කේතලය
කොරහ
නෑඹිලිය
ආදිය ප්‍රධාන වේ.
මෙම විවිධ භාජනවලට අමතරව මංගල උත්සව, පිංකම්, දේවදානය, ගොවිපළේ කයිය වැනි විවිධ අවස්ථාවලදී අවශ්‍ය වන විශාල ප්‍රමාණයේ භාජන බොහෝ විට මුළුතැන්ගෙයි දක්නට ලැබේ. මීට අමතරව අතුල්පත්, වට්ටි, මලු, පැදුරු වැනි පන් භාණ්ඩද කුස්සියේ ඒ සඳහා පිළියෙල කරන ලද ආන නමින් හැඳින් වූ උපකරණයක බහා එල්ලා තබා ඇත. රොබට් නොක්ස් සඳහන් කර ඇති විශේෂ ආම්පන්න කිපයකි. වංගෙඩිය, මෝහ, හිරමණය, මිරිස්ගල ආදිය වෙනමම මඩුවක් වශයෙන් වී කෙටීම සඳහා වෙන් කරන ලද ඉඩකඩක් ඇති ගෙවල්වල කුරහන් ඇඹරිම සඳහා ගන්නා කුරහල නැතහොත් කුරහන් මෝල, මුළුතැන්ගෙයිම මුල්ලක වළලා ඒ වටා පිරිසිදුවට ගොම පිරිමැද තබන ලදි. වී කොටන වංගෙඩිය සහ මෝද මුළුතැන්ගෙයි මුල්ලක තබයි. පුරාණයේ වී කෙටීම සඳහා වෙන මඩුවක් ඇති ගෙයක 'බිමෝල' නමින් විශාල ප්‍රමාණයේ පැතලි ගලක් බිම වළලා තිබිණි. එම ගල මත විශාල ප්‍රමාණයක වී දමා එකවර ස්ත්‍රීන් හත් අට දෙනෙකු විසින් වී කොටනු ලබයි. නමුත් වර්තමානයේ මේ සඳහා වී කොටන යන්ත්‍ර භාවිත වේ.
පැරණි සාමාන්‍ය සිංහල ගෙවල්වල මුළුතැන්ගෙය ගබඩා කාමරයක් හා සමාන වන බව කිව යුතුය. ගෙදර දොර බොහෝ දෑ තබා තිබුණේ මුළුතැන් ගෙයි ය. ගිනි මොලවන ලිප උඩින් මැස්සකි. මෙය දුම් මැස්ස' ලෙස හැඳින්වෙන අතර එහි ධාන්‍ය සහ ඇට වර්ග රැස්කොට තැබිණ. වැසි කාලයේදී වේලා ගැනීමේ පහසුව තකා දරද තැන්පත් කර තබයි. පාවිච්චි කොට සෝදා පිරිසිදු කළ හැළිවලං ද එහි තැබීම නිසා ඒවා වියළිව තබා ගැනීමට හැකි විය. තවත් වැදගත් භාණ්ඩ කොටසක් වන්නේ පොල්කටු හැදිය. ඉවුම් පිහුම් සහ කෑම බෙදීමේදී භාවිත වන පොල්කටු හැඳි වර්ග කිහිපයක් වේ. මාළු පිනි සඳහා යොදාගන්නා හැන්ද ශුද්ධ කළ පොල්කටුවකට ලී මිටක් ගසා සාදා ගනු ලබන්නකි. තෙලෙන් බැද ගන්නා ආහාර සහ කැවිලි සඳහා සිදුරු විද තනා ගන්නා තෙල් හැන්ද හෙවත් දාල හැන්ද භාවිත කරයි. මේවා අටුවේ හෝ වහලේ එල්ලූ හැඳි නමින් හැඳින්වූ ලී ආධාරකයක හෝ වැල නම් වූ පන්වලින් වියන ලද ආධාරකයක එල්ලා තබයි. සිංහල නිවෙස්වල දකින්නට හැකි තවත් භාණ්ඩ කොටසක් වූයේ ඔවුන්ගේ වෘත්තීන්ට අදාළ උපකරණ සහ ආම්පන්නයි. මූලික වශයෙන් සිංහලයන් වී ගොවිතැන සම්බන්ධව ජීවිකාව ගෙනගිය බැවින් ඊට අදාල උපකරණ රාශියක් ඔවුන්ගේ නිවෙස් තුල දක්නට ඇත. නගුල, උදලු, පෝරු, දෑකැති, බැත පෙට්ටි ඒ අතර ඇති ප්‍රධාන උපකරණ කිහිපයකි. මෙලෙස විවිධ වෘත්තීන්වල යෙදෙන්නන්ගේ වෘත්තියට අදාල උපකරණ ඔවුනොවුන්ගේ නිවෙස්වල දක්නට ඇත.
Comments
Post a Comment