gossiplanka image 1
 


කෙම


වරාකොළ, සාම්බ්‍රාණි, වදකහ, කොහොඹ කොළ, දේවදාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන් එක පමණ ගෙන වියළා කුඩුකර උදේ සවස කතා නො කර නිවසට දුම් අල්ලනු. බෝවෙන රෝග වලින් වැළකීමට හැකි ය.


එහි විද්‍යාත්මක පදනම


ඈත අතීතයේ බෝ වෙන රෝග වලින් වැළකීම සඳහා, වර්තමානයේ භාවිතා කරන දියුණු වෛද්‍ය විද්‍යාත්මක රෝග කාරක විෂබීජ විනාශ කිරීමේ ක්‍රමවේධ ව්‍යාප්තව නො තිබිණි. ඒ සඳහා ඔවුන් භාවිතා කළේ කෙම් ක්‍රම ගණයේ ලා ගිණිය හැකි අභිචාර විධිය. විවිධ ශාන්තිකර්ම ය. කම්මුල්ගාය, සරම්ප, පැපොල ආදී බෝ වෙන රෝග එ කල වඩාත් කැපී පෙනෙමින් තිබිණි. පාවිච්චිය යනුවෙන් ඔවුන් එදා හඳුන්වන ලද ගැමියන් ගේ යහපත් චර්යාවන් ද බෝ වෙන රෝග පාලනය කර ගැනීම සඳහා උපස්තම්භක විය.  මෙම ක්‍රමවේධ අතර කෙක්‍රම වලට විශේෂ ස්ථානයක් හිමි වී තිබිණි. ඊට හේතු ව ගැමියෝ මහත් ඕනෑ කමකින් කෙම් ක්‍රම භාවිතා කිරීම ය.මෙහි ඉහත සඳහන් කෙම ද එ වැන්නකි. එ මගින් බෝක්වෙන රෝග වලින් වැළකෙන්නේ නිවසට දුම් ඇල්ලීමෙනි. කතා නොකර එම දුම් ඇල්ලීම කළ යුතු ය යන්න ද කෙම විසින් ම පනවා ඇති නියමයකි.


මෙම ධූපය සකස් කිරීම සඳහා ඖෂධ පහක් යොදාගෙන ඇති බව පෙනේ. සුගන්ධවත් ද්‍රව්‍ය පමණක් නොව විෂ බීජ නාශඛ ද්‍රව්‍ය හැටියට සැළකිය හැකි ඖෂධ වර්ග ද ධූපය සඳහා එක්කර ගෙන ඇති බව පෙනේ. මෙහි දී සිදුවන්නේ කුමක් ද යන්න විමසා බැලීමේ දී කරුණු කීපයක් හෙළිදරව් වේ. සෘජු ව විෂබීජ නැසිය හැකි ද්‍රව්‍ය මෙන් ම වක්‍ර ව විෂබීජ නැසිය හැකි ද්‍රව්‍ය ද ඊට එක්කර තිබීම විශේෂත්වයකි. එම නිසා නිවස කරා වායු ගෝලය ඔස්සේ ළඟා වෙන බෝක්වෙන රෝගබීජත්, නිවැසියෙක් වාහකයා කොට ගෙන පැමිණෙන රෝග බීජත් විනාශ කිරීමේ හැකියාවක් මෙම ධූපය සතු ව පවතී.  දුම් අල්ලන විට සුගන්ධයක් ද නික්මෙන බැවින් නිවැසියන්ට ද ප්‍රියමනාප ය.  කතා නො කර දුම් ඇල්ලිය යුතු වන්නේ ධූපයේ ඇති විෂබීජ නාශක ශක්තිය දූෂ්‍ය වෙතැයි යන කාරණය පදනම් කරගෙන විය යුතු යයි නිගමනය කළ හැකි ය.