gossiplanka image 1
 

මහාද්වීපික දිවයිනක් වූ ලංකාව ඉන්දියාවෙන් වෙන් වී ඇත්තේ සැතපුම් විසි දෙකක් පමණ වූ පටු සමුද්‍ර තීරයකිනි. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විශාලතම දූපත ලෙසද සැලකේ. මේ නිසා ලංකාව පෙර අපර දෙදිග නාවික ගමනාගමනයේ මධ්‍යස්ථානයක් විය. මෙවැනි කේන්ද්‍රස්ථානයක පිහිටීම මෙරටෙහි ශිෂ්ටාචාරයේ හා සභ්‍යත්වයේ සම්භවය හා අභිවෘද්ධිය කෙරෙහි විශාල ලෙස බලපා ඇත. මෙලෙස මෙහි පැවති වෙළෙඳාම් නිසායනිරන්තරයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති වී ඇත. සාමාන්‍යයෙන් මිනිසා අලුත් ජනපද ඉදිකරන්නේ තමාට හුරුපුරුදු ජීවන රටාවට ගැළපෙන පරිසර සාධක සහිත ප්‍රදේශවල බව අතීත සියවස්වල ලෝකයේ විවිධ දේශයන්හි ඇති වූ ජනපද අනුව පෙනී ගොස් ඇත. මෙයින් පෙනී යන්නේ මේ පිහිටීම බටහිර භාරතීය වැසියා ලංකාවට පැමිණීමට හේතු වූ බවයි. මේ අනුව සිංහලයාගේ ජනාවාස ව්‍යාප්තියට ඓතිහාසික හේතු මෙන්ම භූගෝලීය හේතු ද බලපාන්නට ඇත.


තවද මහද්වීපයකට යාබදව පිහිටි රටක ශිෂ්ටාචාරයක ඇතිවන අනිවාර්ය ලක්ෂණ නිරන්තරයෙන්ම සිදුවන්නක් බව කියවේ. ඒ අනුව භාරත ශිෂ්ටාචාරයෙන් පෝෂිත වූ ලංකා ශිෂ්ටාචාරයේ ආවේණික ලක්ෂණ ලෙස සිංහල භාෂාව හා බුදුදහම පෙන්වා දිය හැකිය. ඉන්දියාවෙන් වෙන්ව ලංකාව පිහිටා තිබීම නිසා එරට ඇති වූ දේශපාලනික විපර්යාසයන් මෙහිදී ඒ අයුරින් සිදු වූයේ නැත. නිතරම ලාංකීය හුරුවක් ගන්නා ලද්දේ ඒ හේතු නිසා බව කියවේ. ශ්‍රී ලංකාව විශාල රටක් නොවීමද ඒකාබද්ධ දේශපාලන සම්බන්ධතාවක් ගොඩනැගීමට හේතු වී ඇත. ක්‍රි. පූ. 2 වන සියවසේදී පමණ දුටුගැමුණු කුමරු රෝහණය හා රජරට එක්සේසත් කරන ලද්දේ ඉහත සඳහන් සාධකයන් නිසා බව පැහැදිලිය. මේ නිසා ස්වාධීන පාලන ක්‍රමයේ දියුණු බවක් දැකිය නොහැකි විය. දකුණු ඉන්දියාවේ මෙන් පංචායතී ක්‍රම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව කියවෙන්නේ මේ නිසා බව පැවසේ. එමෙන්ම රටික, ගම බෝජක වැනි රජුන් විසින් පත් කරන ලද නිලධාරින් පාලනය ගෙන ගොස් ඇත.


ශතවර්ෂ 15 කට අධික කාලයක් වැඩි වශයෙන් ජනයා ජීවත් වූ බව පැවසෙන්නේ වියළි කලාපයේ පහත් බිම්වලය. මෙය දිවයිනේ විශාලතම තැනිතලා කොටසයි. මෙහි භූමි ලක්ෂණයක් වූයේ හුදකලා පර්වත හා ශිඛර වේ. මේවා පාෂාණවලින් සෑදි උස්ව පිහිටා ඇත. සීගිරිය, දඹුල්ල, මිහින්තලය, දිඹුලාගල, රිටිගල යන ඒවා බලකොටු හා පූජනීය ස්ථාන වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ. ගිනිකොණ ප්‍රදේශයේ පිහිටි පහත් බිම් රුහුණේ කේන්ද්‍රස්ථානයයි. මෙම තැනිතලා මධ්‍යම කඳුකරයෙන් නෙරා ආ නැගෙනහිර කඳු පෙළ නිසා බෙදී ඇත. කතරගම, ගොවින්දගල කොකාගල යන ස්ථානවලද පවත හා ශිඛර පිහිටා තිබේ. දේශගුණික හා භූගෝලීය ලක්ෂණ අනුව සිංහල ජනාවාසයන් රෝහණයේ ද ඇති වූ බව වංශකතා හා සෙල්ලිපිවලින් ලැබෙන සාධක අනුව පිළිගැනීමට සිදුවෙයි. ක්‍රි. පූ. යුගයට අයත් යැයි සැලකෙන සංඛ්‍යාවෙන්  දෙදහසකට අධික බ්‍රාහ්මීය ශිලා ලිපි වැඩි වශයෙන් පිහිටා ඇත්තෙන්ද වියළි කලාපීය ප්‍රදේශවලය.


තෙත් කලාපය හා මධ්‍යම කඳුකරයෙන් එවැනි ලිපි ලැබී ඇත්තේ මඳ වශයෙන් බව පැවසේ. ජනාවාස වැඩි වශයෙන් පැවතුණ බවට සාධක ලැබී ඇත්තේ ගංගා නිම්න ආශ්‍රිතවය. ජලාශ්‍රිත ප්‍රදේශවල පැරණිම ජනයා පදිංචි වූ බව වංසත්තප්පකාසිනියේ සඳහන්ව ඇත. මුහුදුබඩ සිට රට අභ්‍යන්තරයට පිවිසියේද මේ ගංගා නිම්න ඔස්සේය. ඒ බව ගංගා නිම්නයන් අසලින් හමුවී ඇති බ්‍රාහ්මීය සෙල්ලිපිවලින්ම තහවුරු කළ හැකි බව කියවේ. (දැදුරු ඔය, මල්වතු ඔය, මහවැලි ගග (පහළ නිම්නය) මැණික් ගග, කිරිඳි ඔය) මේ ගංගාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් අවුරුද්දේ සැලකිය යුතු කාලයක් හිඳී තිබුණු බව පෙනේ. ආසියාතික ශිෂ්ටාචාර වැඩි හරියක් ගංගා නිම්නවල ආරම්භ වූවා මෙන්ම ශ්‍රී ලංකාවේද ඒවා වියළි කලාපයට සීමා වූ බවත් කියවේ. අනුරාධපුර ශිෂ්ටාචාරය පැනනැගුණේ මෙවැනි ප්‍රදේශයකය. මේ ශිෂ්ටාචාරයේ ආර්ථික පදනම වී ගොවිතැන විය. මෙහිදී වියළි කලාපීය වැසියාට මුහුණ දීමට සිදු වූ බැරෑරුම්ම ප්‍රශ්නය වූයේ ජල හිඟයයි. මධ්‍යම කඳුකරය මැදින් පටන්ගෙන මුහුද කර සිව් දෙසින්ම ගංගා ගලායයි. මේ ජලවහනය වාරිමාර්ග තැනීමට වඩාත් පහසු කාර්යයක් වී ඇත. මේ කාලයේ ජල සංරක්ෂණ ක්‍රම කිහිපයක් ද දැකිය හැකිය. නියඟය පැවති ප්‍රදේශවල ජලය එකතු කර ගැනීමට වැව් තනන ලදි. මේ වැව්වලට ජලය සපයන ලද්දේ ගංගා හෝ ඔයවල් මගිනි. වර්ෂාව වැඩි ප්‍රදේශවල සිට ඇළ මාර්ගයෙන් ජලය සැපයිනි. බොහෝ විට ගංගා නිම්න දියුණු කරන ලද්දේ ස ණ ප්‍රදේශයක් ලෙස සලකාගෙන බව කියවේ. මෙවැනි තත්ත්වයක් පැවතීම නිසා මේ ප්‍රදේශ ගොවිතැනට යෝග්‍ය පරිදි සකස් කිරිමට හැකිවිය.


සිංහලයාගේ සහජ දක්ෂතාව මනාව පැහැදිලි වන්නේ වාරිමාර්ග හා වැව් තැනීමේ කාරිය මගිනි. ජලය සම්පාදන ප්‍රශ්නය විසඳීමෙන් පසු වියළි කලාපයේ පරිසරය බෙහෙවින්  ධාන්‍ය වගාවට හිතකර විය. ශතවර්ෂ ගණනාවක් අනුරාධපුරය හා රෝහණය වශයෙන් මේ ප්‍රදේශ දෙකම එකම තැනිතලාවක  පිහිටියද තනි රාජ්‍යයක් වශයෙන් එකතු කිරීම අපහසු කාර්යයක් වී ඇත. තනි රාජධානියක් ගොඩනැගීමට බාධාව වූයේ මහවැලි ගඟය. තවද සෙසු ප්‍රදේශ අතර යටත් කර ගැනීමට තරම් සශ්‍රීක ගංගා නිමිනයක් ලංකාවේ නොවීය.  එසේම ජනගහනය සශ්‍රීකත්වය අතින් මේ දෙකම එක සමානකමක් දැරිය. එහෙත් මෙසේ අනුරාධපුරයත් රෝහණයත් වෙන්ව තිබීම ඇතැම් විට දේශීය අභිවෘද්ධියට හිතකර සාධකයක්ද වී ඇත. අනුරාධපුරය විදේශීන් අතට පත්වූ විට රෝහණය සිංහල රාජ්‍යයේ බලකොටුවක් හා රැකවරණ ස්ථානයක් පමණක් නොව අනුරාධපුර රාජධානිය ආපසු අත්පත් කරගැනීමට පිටුවහලක් වූ වැදගත් ප්‍රදේශයක්ද විය. මේ ප්‍රදේශය කැරළිකරුවන්ට හා පැරදී පලා ගිය රජුන්ට ආවරණ සැපයූ ස්ථානයක්ද විය. මේ අනුව දිවයිනේ ප්‍රදේශ සීමා හා ජනපද සීමා බොහෝ විට පැන නැගුණේ ගංගා ඔයවල්වල පිහිටීම අනුවය. සිංහලයාගේ බොහෝ කටයුතුවලට ලංකාවේ ස්වාභාවික පිහිටීම ඔවුන්ට ශක්තියක් විය.