කාලි මෑණියන් උදෙසා බැතිමතුන් විසින් කරනු ලබන අභිෂේක පූජාවලි අඩුවක් නොමැති හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන “මාර්ගලී" විශේෂ පූජාව ගැන අදහස් දැක්වීමට මහේන්ද්‍රසාමි කටහඬ අවදිකර සිටියේය. මේ පූජාව පැවැත්වෙන මාසය තුළ හොඳ ආත්මයක දොරටුව පව්කාරයන්ට පවා විවෘත වන බවට විශ්වාසයක් තියෙනවා. හිරු උදාවීමට පෙර අලුයම 4.30ට ආරම්භ කෙරෙන මෙම විශේෂ පූජාවට සියඹලා ඉස්ම අරගෙන රත් කර ඇඹුල් බතක් සකස් කරල පලතුරු තියල කාලි මෑණියන්ට පූජා කරනවා. ඒ ඇඹුල් බතට තියනෙ "පුලිච්චාඩම් ” කියල. හොඳින් පිරිසිදු වී කාලි කෝවිලට විශාල වශයෙන් ඇදී එන බැතිමතුන් කාලිමාතා කියල කාලි මෑණියන් වැඳල පව් ගෙවා දමා පින් ලබාගන්න බවයි හින්දු විශ්වාසය.එහෙම පව් ගෙවාගන්න යන්නේ කාලි මෑණියන් ළඟට, මෙන්ම ශිව දෙවියන් ළඟට. ඒ බව හින්දු ග්‍රන්ථවල සඳහන් වෙනවා. දෙවියන් උදෙසා වූ ඒ පූජාව කාලි කෝවිලට පමණක් නෙවෙයි ඊශ්වර, ශිව, ගණදෙවි කෝවිල්වලත් කැපවුණු පූජාවක්.මේ පූජාවට සහභාගි වන්න හුගාක් දුර පළාත්වල ඉඳන් කාලි බැතිමතුන් එනවා.තෛපොංගල් දිනයෙන් මේ විශේෂ පූජාව අවසන් වෙනවා. තෛපොංගල් උදාවත් සමග තමන්ගේ බව භෝගවලින් අලුත් සහල්වලින් සකසා ගත් කිරිබත හදල ඒ සඳහා කැපවුණු හරක් බාන්වලට පවා සත්කාර කරල නාවල මල්මාල දාල ඔවුන්ගේ කරේ සළුපිළි පවා බැඳල ගරු බුහුමන් දක්වන චාරිත්‍රයක් තියෙනවා. මේ “මාර්ගලී” පූජාවෙන් කාලි බැතිමතුන්ට සෙත ශාන්තිය උදාවන බව හින්දු විශ්වාසයක් පවතින බව පවසමින් ඒ පූජා විස්තරය අවසන් කළා. කාලි මෑණියන්ගේ පුදබිමේ දවස ගතකළ මා හට දැකගන්නට ලැබුණේ කිරිකැටි දරුවන් දෑතේ රඳවාගෙන තුරුල් කරගෙන කාලි මෑණියන් ඉදිරියේ හැඟුම්බරව තුටු කඳුළු සලමින් සිටින මවුවරුන් පිරිසකි. වසර හත අටක් දරු සම්පත් නොමැතිව හදවතින් හඬා වැටෙමින් සිටි නව යොවුන් විවාහක කාන්තාවන්ට කාලි මෑණියන්ගේ කරුණාවෙන් දරු සම්පත් හිමිවීමේ ප්‍රීතිය ඒ මවුවරුන්ගේ තුටු කඳුළු අතරට එක්වී තිබිණි. කුලුඳුලේ ලැබුණු පළමු දරුවා කාලි මෑණියන්ට භාර කොට එය සංකේතවත් කරමින් රිදී තොටිල්ල බැගින් පූජා වට්ටිවල තබා බාර නිදහස් කරද්දී තුන්මාසයක් ඉක්මගිය කුලුඳුල් දරුවන් මහේන්ද්‍ර සාමිගේ අතට ගෙන කාලි මෑණියන් ඉදිරියට ගෙන යද්දී බිලිඳු හඬවල් නිහැඬියාව රැකේ නොදැනුම්වත්ව ලැබුණු කාලි මෑණියන්ගේ ආශීර්වාදය නිසාම බව මහේන්ද්‍ර සාමි පැවැසීය. ඒ බාරහාර ඔප්පුකර හමාර කිරිමෙන් පසු මා සමීපයට පැමිණි මහේන්ද්‍ර සාමි කාලි මෑණියන්ගේ අනුහස් පිළිබඳ අතීත සිද්ධීන් වෙනදා මෙන් කියන්නට හඬ අවදිකර සිටියේය. “මම මේ කියන ව්‍යාපාරිකයා පිත්තල කර්මාන්තයෙන් ඉහළටම දියුණු වුණු අයෙක්. එයාගේ ව්‍යාපාරික දියුණුව ගැන අනෙක් ව්‍යාපාරිකයන් වගේම ගම්මුන් තුළද තිබුණේ බලවත් ඊර්ෂ්‍යාවක්. ඒ ව්‍යාපාරික පවුලත් මාස තුනකට වරක් කාලි කෝවිලට යන එන අය. ඒ තරමටම කාලි මෑණියන්ට භක්තියෙන් කටයුතු කරමින් පූජා ඔප්පු කරන කට්ටියක්. ඒ විතරක් නෙවෙයි. ඒ අය ශිව කෝවිලට වගේම කතරගම දෙවොලටද යන එන අය.දිනක් මේ අය කතරගම වන්දනාවේ ගිහින් එනකොට ගෙදරට සොරු පැනල ගෙදර තිබුණු මිල මුදල් වගේම ලක්ෂ 10ක් විතර වටිනා පිත්තල භාණ්ඩ වෑන් රියක පටවාගෙන ගිහින් තිබුණා. වෑන් රියක් ආ වග ගම දැනගෙන හිටියත් ඒ පවුල සමඟ තිබුණ ඊර්ෂ්‍යාවට ඒ ගැන ඒ අයට හෙළි කිරිල්ලෙන් ගම්මුන් වැළකුණා. ඒ අය මහන්සියෙන් හරි හම්බ කරගත් දේ සොරාගෙන යෑම ගැන වේදනාවට පත්වුණු ඒ ව්‍යාපාරික යුවළ කෙළින්ම ආවේ අපේ කාලි කෝවිලට. ඒ ඇවිත් කාලි මෑණියන් ඉදිරියේ පළි ගහල කාලි මෑණියන් ඉදිරියේ දැක්වෙන පහනෙන් තෙල් ටිකක් ඉල්ලාගෙන ගෙදර ගියා. ඒ ව්‍යාපාරිකයා කාලි මෑණියන්ට මුලින්ම පහන තිබේ ඒ තෙල්වලින්. දිනපතා සවස බුදුන් වැඳල දෙවියන්ට පින් දීල කාලි මෑණියන්ට වෙන්කළ පහන පත්තු කරල එයාලට සිදුවන අලාභය සොරකම ගැන කියමින් කාලි මෑණියන්ට කන්නලව් කළා. දින පහක් යද්දී දිනක් රාත්‍රි 7ට විතර කවුරුදෝ නිවෙසේ ඉදිරිපස දොරට තට්ටු කරන හඩ මේ අයට ඇහුණා. කාලි මැණියන්ගෙ පහන පත්තු කරමින් එයාගේ බුදු මැඳුර තුළ සිටි ව්‍යාපාරිකයා එයාගෙ බිරියට ගිහින් දොර ඇරලා බලන්න කියල එයා එයාගෙ බුදු මැඳුර වතාවත් කරගෙන ගියා. එයාගේ කීම පිට බිරිය ගිහින් ඉස්සරහ දොර අරිනවාත් සමග දොර ළඟ සිටි ගමේ හතර දෙනෙක් බිරිය ළඟ වැඳ වැටුණා. මේ සිද්ධියට ව්‍යාපාරික පවුල සැක කරමින් සිටියේ මේ හතරදෙනාව. ඒ ආව හතරදෙනා දොර ළඟ වැඳ වැටිල සමාව ඉල්ලමින් කීවේ සොරකමට ඒ අය සම්බන්ධ නැහැ කියල. මේ අය ඒකට සැකයි කියල ගමේ ආරංචි පැතිරී යන නිසා සමාව ගන්න ආව කියල තමයි ඒ හතරදෙනා කියා සිටියේ. ඒත් ඒ ආව හතරදෙනා ව්‍යාපාරිකයාගේ නිවෙසට ආවේ සමාව ගන්න නොවන බව නම් ටික වේලාවකදි ඒ ව්‍යාපාරිකයාගේ බිරියට තේරුණා. ඒ ආව තරුණයන් දෙදෙනකු ඒ අයගෙ ඉණේ සඟවාගෙන හිටිය උල් ආයුධ දෙකක් වැඳ වැටිල නැඟිටනකොට බිම වැටුණා. ඒ අයගේ ඉලක්කය වෙලා තිබුණෙ ව්‍යාපාරිකයා මරන්න වුණත් බිරිය ඉදිරියට ආව නිසා ඒ අදහස වෙනස් කරල තිබුණා. බිමට වැටුණු ඒ උල් ආයුධ ගැන ඒ අය කීවේ එයාලගෙ ආරක්ෂාවට ඒව අරන් යනව කියල. පස්සේ ඒ අය ආව අරමුණ තේරුම්ගන්න මේ ව්‍යාපාරික යුවළ නැවතත් අපේ කාලි කෝවිල් භූමියෙ පොල්ගහල යළිත් පළි ගැහැව්වා. එහෙම කරල ව්‍යාපාරික යුවළ ආපසු ගම් බලා ගිහින් දින හතක් යන්න පෙර සොහොන් කාලිගෙන් ඒ අයට දඬුවම් ලැබුණා. සොරාගෙන ගිහින් තිබුණු පිත්තල භාණ්ඩවලින් වැඩි කොටසක් ඒ අයගෙ වත්තට ගෙනත් දාල තිබුණා. ඒ විතරක් නෙවෙයි. අර එයාලගෙ ගෙදර ආව හතරදෙනාගෙන් දෙනෙක්ම හදිසියේ ලෙඩවෙලා රෝහල් ගතවුණා. රෝහලේදී එක් අයකුට අංශභාගය හැදිල රෝද පුටුවට වැටුණා. තවත් අයෙක් මානසික රෝගියෙක් වෙලා පිස්සු වැටිල අංගොඩ රෝහලට ගෙන ගිහින් තිබුණා. අනිත් දෙන්නටත් ගමේ ඉන්න බැරි තරමට ගම්මුන් සමග ආරවුල් ඇතිකරගෙන ගම අතහැර යන්න සිදුවුණා. පන්සේ තමයි ගම පුරා ආරංචි පැතිර ගියේ මේ හතරදෙනා නිතරම සුදුවතින් සැරසී ඒ අය පිරිසුදු පුද්ගලයන් ලෙස පෙන්නුම් කරමින් ගමේ හිටියත් ඒ අය වෙළාගත් සොරු හතරදෙනෙක් කියල. සොරාගෙන ගිහින් තිබුණු වටිනාම පිත්තල භාණ්ඩවලින් වැඩි කොටසක් වත්තට ගෙනත් දාල තිබීම ගැන ඒ ව්‍යාපාරික යුවළ කාලි මෑණියන්ට පින් දුන්නා. ඒ විතරක් නෙවෙයි කාලිමෑණියන්ගේ අවතාරයක් වන සොහොන් කාලි සිහි කරමින් ඒ අය කාලි කෝවිලට ඇවිත් බාරහාර ඔප්පු කළා. පිත්තල භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගිය හතරස්දෙනාට සොහොන් කාලිගෙන් හත් දවසක් ඇතුළත දඬුවම් ලැබුණා.”
Comments
Post a Comment