කෙම
කතා නො කර සුදු නූල්පොටක් ගෙන ගුලිකර මව ගේ කෙළ වලින් පොගවා ළදරුවා ගේ නළල මත තබනු. ඉක්කාව නතර වේ.
එහි විද්‍යාත්මක පදනම
ඉක්කා වැටීම සිරුරේ පවතින විජලන ස්වභාවය මත සිදුවෙන්නක් යයි අනුමාන කළ හැකි බව මෙහි වැඩිහිටි ඉක්කා ව සඳහා ඉදිරිපත් කළ කෙමක් තුළින් ද අවධාරණය විය. එහෙත් වැඩිහිටියෙකු ගේ ඉක්කා ව සඳහා කරන කෙමක් ළදරුවෙකු ගේ ඉක්කා ව සඳහා කිරිම නුවණට හුරු නොවේ. එය අනතුරුදායක වීමට ද ඉඩ තිබේ. එම නිසා අපේ ජනසමාජය ළදරුවන් සඳහා ඔවුන්ට හිතකර පරිදි කළ හැකි ආරක්ෂා සහිත කෙම් ක්‍රම හඳුනා ගෙන තිබිණි. මෙ ලෙස ඉදිරිපත් කරන්නේ එ බඳු කෙමකි. වැඩිහිටියන්ට මෙන් ළදරුවෙකුට ඉක්කා වැටෙද්දී වතුර පෙවීමට යෑම, බිය වැද්දීම, කළ නො හැකිය. ඒ මගින් අනිටු ප්‍රතිඵල ඇති වීමට ද ඉඩ තිබේ. එම නිසා මෙහි ඉදිරිපත් කොට ඇති මෙම හැම අතින් ම හිතකර ය. ආරක්ෂා සහිත ය. මවකට බියකින් සැකයකින් තොර ව මෙම ප්‍රායෝගික කරණයට බඳුන් කළ හැකි ය. මෙහි දී සිදුවන්නේ සුදු නූල් පොටක් ගුලි කර මව ගේ කෙල වලින් පොඟවා කතා නො කර ළදරුවා ගේ නළල මත තැබීම ය. එසේ කළ විට නොබෝ වේලාවකින් ඉක්කා ව නතර වේ. එය සැබෑවකි. එහෙත් එසේ වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම මෙහි දී වැදගත් ය.
ඉක්කා ව සෑදෙන්නේ ජල ඌණතාවය මත සිරුරේ ඇතිවන වියළි ස්වභාවය මත යයි මෙහි ඉහත සඳහන් විය. මෙය ඊට වක්‍රව පිළියම් යෙදීමකි. එ බැවින් ඉක්කාව නතර කර ගැනීම පිළිබඳ ව සැක පහළ කරගත යුතු නොවේ. මෙහි දී වැදගත් වන්නේ මෙම කෙම සතු ව ඇති ළදරුවෙකුට සපයන සුරක්ෂිත භාවය යි. එ මඟින් ඉක්කා වැටෙන ළදරුවෙකුට වතුර පෙවීමේ දී ඇතිවිය හැකි අනාරක්ෂිත භාවය වළකා වියළි ස්වභාවය බාහිරින් වක්‍රව මග හැරවීමේ පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනේ. සුදු නූල් පොටක් භාවිතා කිරීම පවිත්‍රතාවය සංඛේතවත් කිරීමකි. කතා නො කිරීම කෙම කෙරෙහි දක්වන ගෞරවයකි. මව ගේ සෙනහසත්, ළදරුවා ගේ ඉක්කා ව නතර කර ගැනීමට ඇති අධිෂ්ඨානයත් චිත්ත ශක්තියක් බවට පත් වී ඉහත සඳහන් සත්කාරය හා සම්බන්ධ වී ළදරුවා ගේ ඉක්කා ව ඉක්මනින් නතර වෙන බව මෙහි දී නිගමනය කළ හැකි ය.
Comments
Post a Comment