කෙම
කපුටා අඩන්නට පෙර සියලු ම කටහඬවල් මගහැර කතා නො කර, කම්මලකට ගොස් ආයුධ පණ පොවන වතුර බඳුනෙන් වතුර ටිකක් ගෙනැවිත් මුහුණ සෝදනු. ඇස් වහ කටවහ දුරුවේ.
එහි විද්‍යාත්මක පදනම
මෙය ප්‍රචලිත කෙමකි. එය හා බැඳී ඇති විද්‍යාත්මක සත්‍යය කුමක් ද? මෙහි අරමුණ වන්නේ එම සත්‍යය සොයා යෑමයි.ලෝහවලින් ආයුධ, ගොවි උපකරණ ආදී නොයෙකුත් කාණ්ඩ නිපදවන ස්ථානයකි කම්මල. එහි දැකිය හැකි ප්‍රධාන උපකරණ අතර මුල් තැනක් හිමිවන්නේ මයිනහම, කිණිහිරය, දඬුඅඬුව, වතුර බඳුන යනාදියට යි. වතුර බඳුන ආයුධ පණ පෙවීම සඳහා ය. එය පැතලි බදුනකි. අතීතයේ දී නම් එය යම් පමණකට ඔරුවක හැඩයට ලීයෙන් නිමවා තිබිණි. වර්තමානයේ නම් බෙලෙක්, ප්ලාස්ටික් වැනි බඳුන් භාවිතා කරන අයුරු දැකිය හැකි ය. ආයුධ පණ පොවන බදුනේ වතුර අයින් කරන්නේ නැත. අඩුවෙන විට අළුතෙන් වතුර එක්කරනු ලැබේ. එම වතුර ගෙන මුහුණ සේදුව පසු ඇස් වහ කටවහ දුරුවෙන බව මෙම කෙමෙන් අවධාරණය කර තිබේ. එය ආවාට ගියාට කිරිමෙන් ප්‍රතිඵල ලැබිය නො හැකි ය. ඒ සඳහා වතුර ගෙන ඒමට යා යුත්තේ අළුයම් කාලයේ දී ය. එනම් අළුයම් කාලයේ නිමාව සනිටුහන් කරන කාක්කා අඩන්නට පෙර ය. එම අවස්ථාවේ දී මිනිස් කට හඩකට අසු නොවිය යුතු ය.
මෙයින් අදහස් වෙන්නේ එම කාලය දවසේ හොද ම කාලය බව ය. එය මිනිස් කට හඩින් දූශ්‍ය නො විය යුතු ය. එසේ හොඳම කාලය හැටියට සඳහන් කළ හැක්කේ, ගහකොළ වායු ගෝලය මිනිසාට පමණක් නොව සතා සිව්පාවුන්ට ද යහපත් පරිදි ගුණාත්මක සහනයක් සැළසීමට සක්‍රීයව පවත්නා බැවිනි.ඇස්වහ යනු බැල්මකින් සිදුවන දෝෂයකි. කටවහ යනු හඩකින් සිදුවන දෝෂයකි. මෙයින් පෙනී යන්නේ ඇස්වහ කට වහ දුරු කිරීමට තබන මුල් පියවර සඳහා එම සාධක වලින් බැහැර වෙන වෙලාවක් තෝරාගෙන තිබීම ය. ඊළගට ඒ සඳහා තෝරාගෙන ඇති ජල විශේෂය අවධානයට ලක්කර ගත යුතු ය. එම ජලය සාමාන්‍ය ජලය නොවේ. ආයුධ පණ පෙවීමෙන් කැකෑරුණ ජලයයි. ආයුධ පණ පොවන්නේ රත් කිරිමෙන් පසු ව ජලයේ එබීමෙනි. එම ක්‍රියාවේ දී එම ජලය රත් වී ඉහත සඳහන් කළ කැකෑරීමේ තත්වයට බඳුන් වේ. යම් යම් පිළිස්සීම් සහ කැකෑරීම් මගින් ඇස්වහ කටවහ දුරු කිරීමේ ක්‍රමවේර්ධ සිංහල ජන සමාජය තුළ ප්‍රචලිත ව පවතී. පැගිරි දර පිළිස්සීම, ඇස්වහ කට වහ දුරුවෙන්නට දෙහි කපා තෙල් තාච්චියට දමා කැකෑරිම ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය.මෙම කෙම ද ජන සමාජයේ පවත්නා ක්‍රමවේදයකි. ඒ පිළිබඳ ව විශ්වාසයක් ඉහත සඳහන් ක්‍රමවේධ ඔන්සේ කෙම කරන්නා ගේ සිත තුළ ගොඩ නැගේ. එය ඇස්වහ කටවහ දුරු කිරිමට සමත් චිත්ත බලයක් බවට පත් වෙයි. චිත්ත බලයට කළ නො හැකි දෙයක් නැති තරම් ය. එමගින් ඇස්වහ කටවහ දුරු වී සහනය සැලසේ.
Comments
Post a Comment