බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබත් මහ රැජිනගේ කේන්ද්‍රයද සුවිශේෂී ග්‍රහ පිහිටීම් රාශියකින් සමන්විත එකකි. 1926 අප්‍රේල් 21 ලන්ඩනයේදී උපත ලද මෙතුමියගේ ලග්නාධිපති දසවැන්නේ තැන්පත් වී සිටින අතර එම රාශි අධිපති දිග් බලව හත්වැන්නේ සිටිමෙන් ලග්නාධිපතියා මෙන්ම ලග්නාධිපති සිටින රාශි අධිපතියාද කේන්ද්‍ර ස්ථාන ගතවීම ජන්මියාගේ ප්‍රබලතාවය තහවුරු කරයි. මීට අමතරව මෙහි ශනි සහ උච්ච කුජ අතර මහා පරිවර්ථන යෝගයද යෙදි තිබේ. එය හත්වැන්න සහ නමවැන්න අතරවීමද සුවිශේෂීය. නමයේ ග්‍රහයකු උච්ච වී සිටීම තම පූර්ව පින් බලය පෙන්නුම් කරයි. ඊට අමතරව මෙහි නීච භංග රාජ යෝගයන්ද කුජ සහ ගරු අතර වෙයි. රාජ්‍යත්වය සංකේතවත් කරන රවි මෙහි උච්ච රාශිගතව සිටින අතර රවින්ගෙන් කේන්ද්‍රගතව නීච ගුරු සිටීමද නීච භංගයක් ලෙස දැක්විය හැකිය. මීට අමතරව එකොළොස්වන්නේ නීච බුධ සිටින අතර එම රාශි අධිපති ගුරු උච්ච කුජ සමග සිටීමද, ගුරු නීච වී සිටීමද අපූර්ව වූ නීච භංග යෝගයකි.
ධනස්ථානය වන දෙවැන්නේ රාහු උච්චව සිටීමද ධනය පිළිබඳව වන බලය මෙන්ම දසවැන්න දැකීම තුලින් ප්‍රකට භාවයද පෙන්නුම් කරයි. තෙවැන්නේ සඳු ස්වක්ෂේත්‍රව සිටීමෙන් තම රාජකීය උරුමය පවත්වා ගැනීම මෙන්ම දීර්ඝායුෂය පිළිබඳවද ඉගි කරයි. මෙතුමියගේ හත්වැන්න අධිපති කුජ, ශනි සමඟ පරිවර්ථනය වීමද සහකරු සන්නද්ධ අංශයට සම්බන්ධ වූවකු බවට සාක්ෂියකි. ඒ අනුව මෙතුමිය විවාහපත් වූයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සෙන්පතියකු වූ එඩින්බරෝ සමඟය. කෙසේ වුවත් දරුවන් පිළිබඳව වන පස්වැන්නාධිපති නීචව එකොළොස්වැන්නේ වීම දරුවන් නිසා සිත් තැවුල්වලට ලක්වන බව පෙන්නුම් කරයි. මේ අතර යමෙකුගේ ජීවිතයේ අවසන් කාලය නිවේදනය කරන සිව්වැන්න අධිපති උච්චව සිටීම හා සිකුරු වැනි ග්‍රහයකු එම භාවය දැකීමද ජීවිතය අවසන් වන තුරුම තම ගෞරවය හා කීර්තිය සමඟ සතුටින් සිටීමට ලැබෙන බව පෙන්වන පිහිටීමකි. එළිසබත් රැජින දීර්ඝායු ලබන්නියක්ව සිටි බව තෙවැන්නේ ස්වක්ෂේත්‍ර සඳු සහ උච්ච කුජ සමඟ සිටින අට අධිපති ගුරුගෙන් පැහැදිළි වේ.
Comments
Post a Comment