gossiplanka image 1
හෘදය වස්තුවේ පේශිවලට රුධිරය සපයන රුධිරවාහිනී කොලෙස්ටරෝල් වැනි ද්‍රව්‍යවලින් අවහිර වූ විට හෘදය වස්තුවේ පේශිවලට රුධිරය සැපයීම අඩු වේ. ඕනෑම පේශියකට සපයන රුධිර ප්‍රමාණය අඩු වූ විට පේශියට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ කොටස් නොලැබී යාමෙන් එම පේශිය ආශ්‍රිතව වේදනාවක් හටගනී. හෘදය වස්තුව ආශ්‍රිතවද මේ ක්‍රියාවලිය ඇති වේ. විශේෂයෙන්ම යම්කිසි පුද්ගලයකු යම් කාර්යයක් කිරිමේදී  හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයද වැඩි වන අතර හෘදය වස්තුවේ පේශිවලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ කොටද වැඩි වේ. එහෙත් රුධිර නාළය අවහිර වී ඇති බැවින් අවශ්‍ය පෝෂණ කොටස් සහ ඔක්සිජන් නොලැබී යාමෙන් පපුවේ වම් ප්‍රදේශයේ වේදනාවක් ඇති විය හැකිය. කරන ක්‍රියාවලිය තවදුරටත් කරගෙන ගියහොත් පපුවේ වේදනාව තවදුරටත් වැඩි වේ.


මෙම තත්වය ඇන්ජයිනා පෙක්ටෝරීස් (Angina pectoris) තත්ත්වය ලෙස හඳුන්වයි. මෙම රෝගීන්ගේ වේදනාව සමනයට ඖෂධීය ප්‍රතිකාර ඇත. එහිදී දිවට යටින් තබාගන්නා GTN පෙත්ත යොදාගනී. මෙවැනි පුද්ගලයන්ගේ රුධිර වාහිනී අවහිර වූ ප්‍රමාණය නිශ්චිතව දැනගැනීමට හැකියාවක් ඇත. එහෙත් සියලුම රෝගීන් සඳහා මෙම පරීක්ෂණය සිදු නොකරයි. එම නිසා අඩුම තරමේ ඊ.සී.ජී. පරික්ෂණයක් සහ හෘදය වස්තුව සඳහා එකෝ පරීක්ෂණයක් සහ ව්‍යායාම ඊ.සී.ජී. පරික්ෂණයක් සිදු කර ව්‍යායාම දරාගැනීමේ හැකියාව සම්බන්ධව දළ අවබෝධයකට පැමිණිය යුතුය.


මෙවැනි රෝගීන් ව්‍යායාම සිදු කරන සෑම විටම තමා සතුව GTN ඖෂධ තබාගැනීම වැදගත්ය. පපුවේ වේදනාව ඇති වූ අවස්ථාවක දිවට යටින් GTN පෙති තැබීමෙන් පපුවේ වේදනාව අඩු කරගත හැකිය. GTN පෙති 3ක් පමණ දිවට යටින් තැබූ පසු වේදනාව අඩු නොවේ නම් වහාම රෝහල්ගතව ප්‍රතිකාර ගත යුතුය. මෙම රෝගී තත්වය යටතේ ව්‍යායාම කිරීමේදී  රෝගියාගේ ඉලක්කය විය යුත්තේ හෘදය වස්තුව ආශ්‍රිතව ඇති වන මෙවැනි රෝග සඳහා හේතු විය හැකි සියලු කාරණාවලින් මිදීම සඳහා ව්‍යායාම කිරීමයි. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී මේද දහනය අත්‍යවශ්‍ය කාරණයක් වන අතර අහිතකර මේදය අඩු කර හිතකර මේදය ඇති වන ලෙස ව්‍යායාම කළ යුතුය. මේද දහනය සිදු කිරීම කළ හැකි වන්නේ ඒවායු ගණයේ ව්‍යායාම නිසි තීව්‍රතාවයකින් සිදු කිරීමෙනි. සිදු කළ හැකි ස්වායු ගණයේ ව්‍යායාම ලෙස ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම සිදු කළ හැකි අතර වේදනාවේ ප්‍රමාණය අනුව දිවීම වැනි ව්‍යායාමද එකතු කළ හැකිය.


මෙම ව්‍යායාම ඉතාම කුඩා තීව්‍රතාවයකින් ආරම්භ කර ව්‍යායාම සිදු කිරීමේදී| පපුවේ වේදනාව ඇති නොවන්නේ නම් ක්‍රමයෙන් ව්‍යායාම තීව්‍රතාවය වැඩි කළ හැකිය. යම් පුද්ගලයකුගේ ඉලක්කය විය යුත්තේ තීව්‍රතාවය උපරිම හෘද ස්පන්ධන වේගයෙන් 40% - 80% දක්වා පවත්වාගෙන යාමය. එම ව්‍යායාම විනාඩි 15ක් පමණ කාලයකින් ආරම්භ කර පපුවේ වේදනාව නොඑන සීමාව තුළ ක්‍රමයෙන් කාලය පැයක් දක්වා වුව වැඩි කළ හැකිය. මෙම රෝගීන් සඳහාද ප්‍රතිරෝධක ව්‍යායාම සිදු කළ හැකි අතර ඒ සඳහා නිදහස් බර හෝ උපකරණවල බර යොදාගෙන  සිදු කළ හැකිය. මෙහිදී ශ්වසනය සිදු කිරීම ව්‍යායාමවල රියට කළ යුතුය. බර ඉසිලීමේදී ඇති විය හැකි මස්පිඩු වේදනාව සහ රෝගය නිසා ඇති විය හැකි පපුවේ වේදනාව සම්බන්ධ අවධානයකින් සිටිය යුතුය. මස්පිඬු වේදනාවක් ඇති වූ අයකුගේ නම් එම ස්ථානයේ පේශි මත පීඩනයක් යෙදීමෙන් වේදනාව ඇති විය හැකිය. ප්‍රතිරෝධක ව්‍යායාම සඳහා තීව්‍රතාවය IRM අගයෙන් 60% ක් - 80ක් විය යුතුය. මෙම ව්‍යායාම වාර 8ක් - 12ක් අවස්ථා 2ක් - 4ක් පමණ කළ යුතුය. නම්‍යශීලී ව්‍යායාම සතියකට දින 2ක් - 3ක් පමණ කළ යුතුය.