gossiplanka image 1
ශරීරයේ රුධිරගත කොලෙස්ටරෝල් වැඩි වීම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගවලට හේතුවක් වේ. එම නිසා රුධිරගත කොලෙස්ටරෝල් වැඩි නොවී තබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් සිරුරට ලැබෙන්නේ අප ලබාගන්නා ආහාරවල ඇති සංතෘප්ත මේදය, ට්‍රාන්ස් ෆැට් (Trans fat) මේදය සහ ශරිරය තුළදී නිෂ්පාදනය වන කොලෙස්ටරෝලිනි.කොලෙස්ටරෝල් හේතුවෙන් ශරීරයේ රුධිරවාහිනීවල අවහිරතාවක් ඇති විය හැකි අතර රුධිරයේ ඝණත්වයද වැඩි විය හැකිය. විශේෂයෙන්ම අධිරුධිර පීඩනය සහිත රෝගීන් සහ දුම්පානය, මත්පැන් පානය සිදු කරන මෙන්ම දියවැඩියා  රෝගීන්ගේ රුධිරවාහිනීවල අභ්‍යන්තර පටකයට සිදු වන හානිවලින් පසු රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මෙම ස්ථානවල තැන්පත් වී රුධිරවාහිනී බිත්ති ඝණකම් කර අවහිර කරයි. ඇතරොස්ක්ලෙරෝසිස් (Atherosclerosis). විශේෂයෙන්ම හෘදය වස්තුව ආශ්‍රිත රුධිර වාහිනීවල මෙම මේද කොටස් තැන්පත් වීමෙන් රුධිර වාහිනී අවහිර කළ හැකි අතර තවදුරටත් මේ මත කැල්සියම් වැනි කොටසේද තැන්පත් විය හැක.


මෙම තත්වය හෘදය වස්තුවේ ඇති වන රෝග වන කිරීටක ධමනිය අවහිර වීමෙන් ඇති වන රෝග තත්ත්වය කොරනරි ආටරි ඩිසීස් (Coronary artery disease) සහ හෘදය වස්තුවේ පේශිවලට මුළුමනින්ම රුධිරය සැපයීම අවහිර වන රෝගය හෙවත් හෘදයාබාධ ඇති විය හැකිය. මයෝකාඩයල් ඉන්ගන්නේ (Mycardial infarction) මෙම රුධිර නාළ අවහිර වීම් මොළයට රුධිරය සපයන රුධිර නාළ ආශ්‍රිතව සිදු වූ විට මොළයට රුධිරය සැපයීම අවහිර වී අංශභාගය (Stroke) වැනි රෝග තත්වයක් ඇති විය හැකිය. කොලෙස්ටරෝල් ශරීරයට දක්වන හිතකර බව සහ අහිතකර බව අනුව වර්ගීකරණය කළ හැකිය. හිතකර කොලෙස්ටරෝල් (HDL- High Density Lipoprotein) රුධිරවාහිනීවල තැන්පත් වී ඇති කොලෙස්ටරෝල් අක්මාවට රැගෙන යන අතර අහිතකර කොලෙස්ටරෝල්  (LDL - Low Density Lipoprotein), (Triglycerids) අක්මාවේ තැන්පත් වී ඇති කොලෙස්ටරෝල් පර්යන්ත රුධිරවාහිනීවල තැන්පත් කරයි.


කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල තැන්පත් වීමට බලපාන කරුණු අතර සමස්ත කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් තිබීම සහ හිතකර කොලෙස්ටරෝලට අහිතකර කොලෙස්ටරෝල් ඇති අනුපාතයද සැලකිල්ලට ගත යුතුය. සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය 200mg වඩා වැඩි වීම අහිතකර තත්ත්වයකි. හිතකර කොලෙස්ටරෝල් (HDL) 40ට වඩා අඩු වීම අහිතකර තත්ත්වයක් වන අතර 5ත් - 60ත් අතර තබාගැනීම හිතකර තත්ත්වයකි. වර්තමාන පර්යේෂණවලින් සොයාගෙන ඇති පරිදි HDL කොලෙස්ටරෝල් වුවද අසාමාන්‍ය ලෙස වැඩි වීම අහිතකර තත්වයකි.  LDL කොලෙස්ටරෝල් 100ට වඩා අඩුවෙන් තබාගැනීම හිතකර වන අතර 150ට වඩා වැඩි වීම අහිතකර තත්වයකි. ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය 150ට වඩා අඩුවෙන් තබාගැනීම හිතකර තත්ත්වයක් වන අතර 200ට වඩා වැඩි වුණොත් එය අහිතකර තත්වයක් ලෙස සැලකේ. සමහර පවුල්වල රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් පමණක් වැඩි වන අවස්ථාද දැකිය හැකිය.


රුධිරයේ ඇති කොලෙස්ටරෝල් පාලනය සඳහා ආහාර පාලනය, ව්‍යායාම සහ ඖෂධ ගැනීම යන ආකාර 3න්ම සිදු කළ හැකිය. බොහෝ විට මෙම කරුණු 3න් එකක් හෝ කිහිපයක් භාවිත කොට කොලෙස්ටරෝල් පාලනය සිදු කරයි. මේද දහනය සඳහා ව්‍යායාම කිරිම ව්‍යායාම කරන ඕනෑම පුද්ගලයකු සිදු කරන කටයුත්තකි. විශේෂයෙන්ම අධික ලෙස කොලෙස්ටරෝල් පවතින අවස්ථාවක මේද දහනය කිරීමත්, ශරීරයේ බර පාලනය කිරීමත් අරමුණු කරගෙන වායු ව්‍යායාම සිදු කරයි. ස්වායු ව්‍යායාම අතර ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම ඇත. සතියට දින 5ක් මධ්‍යම ප්‍රමාණයේ හෝ දැඩි තීව්‍රතාවයකින් යුත් ව්‍යායාම කළ යුත්තේ උපරිම හෘද ස්පන්ධන වේගයෙන් 40% - 802 දක්වා වරකට විනාඩි 30 සිට 60ක පමණ කාලයක් කළ යුතුය.


මෙම රෝග තත්ත්වය හෘදය වස්තුවේ රෝගවලට හේතු වන රෝග තත්ත්වයක් නිසා ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකින් එම රෝගියාට කළ හැකි ව්‍යායාම මට්ටම තීරණය කිරීම වඩාත් සුදුසු වේ. එමෙන්ම ව්‍යායාම කිරීමේදී ඇති විය හැකි සංකූලතා සම්බන්ධවද ව්‍යායාම කරන පුද්ගලයාට හොඳ අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන්ම හෘදය වස්තුව ආශිත රෝගවලදී ඇති වන රෝග ලක්ෂණ වන පපුවේ වේදනාව, අධික දහදිය දැමීම, වමනය යාම, ක්ලාන්තය වැනි රෝග තත්ත්ව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිය යුතුය. එවැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම ව්‍යායාම නතර කළ යුතුය. ප්‍රතිරෝධක ව්‍යායාම යන්ත්‍රවල බර උපයෝගී කරන්ගෙන හෝ නිදහස් බර උපයෝගී කරගෙන සතියට දින 3ක්වත් සිදු කළ යුතුය. ව්‍යායාම තීව්‍රතාවය වන්නේ 60% - 80% IRM යි. මෙහිදී වාර 8ක් - 12ක් සිදු කරන අවස්ථා දෙකක්, හතරක් පමණ ව්‍යායාම කළ යුතුය.නම්‍යශීලී ව්‍යායාම සිදු කිරිමේදී පේශි චලන පරාසය තුළ වේදනාවක් ඇති නොවන ප්‍රමාණයේ ව්‍යායාම සතියට දින 2ක් - 3ක් පමණ සිදු කළ යුතුය.