හෘදයාබාධ සඳහා හේතු වන කරුණු බොහෝමයක් ඇත. අධිරුධිර පීඩනය, රුධිරගත කොලෙස්ටරෝල් බහුලව තිබීම, දියවැඩියාව, දුම්පානය, මත්පැන් පානය සහ ස්ථූලතාවය මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. හෘදයාබාධයකින් පසු ව්‍යායාම කිරීමේදී අපගේ අරමුණ විය යුත්තේ එම රෝගියා තමාගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා සූදානම් කිරීමයි. ඊට අමතරව හෘදයාබාධයට බලපාන කරුණු ඉවත් කිරිම හෝ අවම කිරීම සඳහා ව්‍යායාම කළ යුතුය.
හෘදයාබාධයක් සිදු වී පැය 48කට පමණ පසුව රෝගියා ඇදෙන් බැසීමෙන් ව්‍යායාම කිරීම ආරම්භ කරයි. ඉන් පසුව වෛද්‍ය උපදෙස් මත රෝගියා ඇවිදින දුර සහ සිදු කරන ව්‍යායාම තීරණය කරයි. ව්‍යායාමයට රෝගියා දක්වන ප්‍රතිචාර මත වෛද්‍යවරයා විසින් ව්‍යායාම තීරණය කරයි. එහිදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන කාරණය වන්නේ ව්‍යායාම කිරීමේදී රෝගියාට අපහසුතාවයක්, විශේෂයෙන්ම පපුවේ වේදනාවක් ඇති නොවන මට්ටමේ ව්‍යායාම කිරීමයි. ඇතැම් රෝගීන්ට ව්‍යායාම සමඟ හති තත්වයක් ඇති වීමට ඉඩ ඇති අතර එම තත්ත්වයද ඇති නොවීමට ව්‍යායාම කිරීමේදී වගබලා ගත යුතුය. මෙවැනි රෝගියකු මාස 6ක පමණ කාලයක් වෙද්‍ය අධීක්ෂණය යටතේ ව්‍යායාම කළ යුතු අතර එම කාල පරිච්ඡේදය අවසානයේදී බොහෝ විට ව්‍යායාම ඊ.සී.ජී. පරීක්ෂණ සිදු කර රෝගියාගේ ව්‍යායාම දරාගැනීමේ හැකියාව මැන බලයි. හෘදයාබාධයකින් පසු හතිය, පාද ඉදිමීම, නිතර නිතර පපුවේ වේදනාව වැනි රෝග තත්වයන් ඇති නොවන රෝගීන් සදහා හෘදයාබාධයකින් මාස 6කට පසු ව්‍යායාම උපදේශකයකුගේ සහය ඇතිව ව්‍යායාම කළ හැකිය.
විශේෂයෙන්ම මෙවැනි රෝගීන් පපුවේ වේදනාව ඇති නොවන පරිසරවල ව්‍යායාම කළ යුතුය. ඇතැම් රෝගීන් උදෑසන ව්‍යායාම කිරීමේදී ඇති වන සීතල නිසා පපුවේ වේදනාවක් ඇති විය හැකි අතර එම තත්වයන් මගහැර ව්‍යායාම සිදු කළ යුතුය. මෙම රෝගීන් ව්‍යායාම කිරීමේදී අනිවාර්යයෙන්ම GTN (Glyceryl trinitrate) පෙති ළග තබාගත යුතුය. එම GTN පෙති ව්‍යායාම කරන විට ඇති විය හැකි පපුවේ වේදනාවකදී දිව යට තබාගත යුතුය. මෙම රෝගීන් ස්වායු ගණයේ ව්‍යායාම ආරම්භ කළ යුතුය. මෙකී රෝගීන් සඳහා ස්වවායු ව්‍යායාම කළ හැකි අතර ඇවිදීම, පිහිනීම, එක්තැනක සිට පදින බයිසිකල් පැදීම වැනිව්‍යායාම කළ හැකිය. ව්‍යායාම කිරිමේදී ව්‍යායාම ඉතාම අඩු තීව්‍රතාවයකින්, අඩු කාලයක් කිරීමෙන් ආරම්භ කර ක්‍රම ක්‍රමයෙන් තමා බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟා වීමට උත්සාහ කළ යුතුය. එහිදී හෘදයාබාධවලට තුඩු දෙන කරුණු අවම කිරීමට නම් උපරිම හෘද ස්පන්ධන වේගයෙන් 40% - 80% දක්වා ප්‍රමාණයේ ව්‍යායාමයක් සතියට දින 3ක් පමණ දිනකට මිනිත්තු 20 සිට 60 දක්වා කාලයක් සිදු කළ යුතුය.
ව්‍යායාම ආරම්භයේදී විනාඩි 5ක් - 10ක් පමණ ව්‍යායාමයක් වුවද ප්‍රමාණවත් වේ. වැදගත්ම කාරණය වන්නේ පපුවේ වේදනාව හෝ හතිය නැවත වරක් නොඑන ලෙස ව්‍යායාම කිරීමයි. ප්‍රතිරෝධක ව්‍යායාම සතියට දින 2ක් - 3ක් කළ හැකි අතර වාර 12ක් - 15ක් අවස්ථා 2ක - 3කදී කිරීම ප්‍රමාණවත් වේ. ඒ සමගම නම්‍යශීලීතාවය ඇති කිරීම සඳහා ව්‍යායාම සතියට 2ක් - 3ක් සිදු කළ යුතුව ඇත.
Comments
Post a Comment