gossiplanka image 1
දියවැඩියාව බොහෝ සංකූලතා ඇති කරන රෝගයක් බැවින් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සංකුලතා සම්බන්ධව වෛද්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් 50%ක් පමණ හාදය වස්තුවට රුධිරය සැපයීමේ දුර්වලතාවලින් පෙළෙයි. එහෙත් එම රෝගීන් ඇතැමෙකුට එම අවස්ථාවල වේදනාව නොදන්නේ. ඊට හේතුව වන්නේ දියවැඩියාව මඟින් නායුවල දුර්වලතාවක් ඇති කරන බැවිනි. එම නිසා වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්, අවු. 10කට වඩා දියවැඩියාව ඇති පුද්ගලයින්, අවු. 35ට වඩා වයසින් වැඩි දියවැඩියා රෝගී න්, හෘදයාබාධ ඇති වීමට හා අනෙකුත් අවදානම් සාධක ඇති පුද්ගලයන් සහ දැනට දියවැඩියාව නිසා පර්යන්ත රුධිරවාහිනීවල රෝග ඇති වී ඇති පුද්ගලයන් අනිවාර්යයෙන්ම ව්‍යායාම ඊ.සී.ජී. පරීක්ෂණ කළ යුතුය.


එමෙන්ම මෙම පුද්ගලයන්ගේ රුධිරගත සීනි ප්‍රමාණයට  අමතරව කොලෙස්ටරෝල් සහ වකුගඩු ක්‍රියාකාරීත්වයද ව්‍යායාමයට පෙර පරීක්ෂා කර තිබීම වැදගත්ය. මෙම පුද්ගලයන් ව්‍යායාම කිරීමේදී ස්වායු ව්‍යායාම විනාඩි 30 සිට 60 දක්වා පමණ කාලයක් සිදු කිරීම අරමුණ විය යුතු අතර එය එක දිගටම හෝ කොටස් වශයෙන් කළ හැකිය. සමස්තයක් ලෙස සතියකට විනාඩි 150ක් පමණ ස්වායු ව්‍යායාම සිදු කිරීම ඉලක්කය විය  යුතුය. ස්වායු ව්‍යායාම ලෙස ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සිදු කළ හැකිය. දීර්ඝ කාලීන දියවැඩියා රෝගීගේ ව්‍යායාම තීව්‍රතාවය මැන බැලීමට හාද ස්පන්ධන වේගය විශ්වාසවන්ත අගයක් නොවන අතර එයට හේතු වන්නේ ස්නායු පද්ධතියේ ඇති වන දුර්වලතාවය නිසා හෘද ස්පන්ධන වේගය වෙනස් වීමට ඇති හැකියාවයි. ඒ නිසා මෙම රෝගීන් බෝන්ගේ දර්ශක අගයන් 13 සිට 20 දක්වා අගයක් දක්වා ව්‍යායාම කළ හැකිය. එමෙන්ම සංකූලතා අඩු දියවැඩියා රෝගීන්ට උපරිම හෘද ස්පන්ධනයෙන් 50% - 80% දක්වා වේගයක් පවත්වා ගනිමින් ව්‍යායාම කළ හැකිය. සතියකට දින 4කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වන සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා ව්‍යායාම සිදු කළ යුතුය.


පළමු වර්ගයේ දියවැඩියාව සහිත රෝගීන් ප්‍රතිකාර වශයෙන් ඉන්සියුලින් ලබාගන්නා බැවින් විශේෂ අවධානයක් ඉන්සියුලින් ලබාගැනීම සහ ව්‍යායාම කෙරේ දැක්විය යුතුය. එම දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ෆුකෝස් ප්‍රමාණය 200mg/dL (1Immol/L) සහ මුත්‍රාවල කීටෝන් ඇත්නම් හෝ රුධිරගත සීනි ප්‍රමාණය 300mg/dL (16.5mmol/L) ප්‍රමාණයක් තිබෙන අවස්ථාවේ මුත්‍රාවල කීටෝන් රහිත වුවද ව්‍යායාම සිදු නොකළ යුතු අතර ලබාගන්නා ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කළ යුතුය. එමෙන්ම රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය 100mg/dL (5.5mmol/L) ඇති පුද්ගලයන් ව්‍යායාමයට පෙර කාබෝහයිඩ්ඩේට් සහිත ආහාරයක් ලබාගත යුතුය. දියවැඩියාව රහිත රෝගීන් සියලු දෙනාම ව්‍යායාමයට පෙර කාබෝහයිඩ්‍රේට් සහිත කුඩා ආහාරයක් ගැනීම ආරක්ෂ සහිත උපක්‍රමයක් වේ. උදා: ගොල්ෆ් ක්‍රීඩාව හෝ ඇවිදීම, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම විනාඩි 20ක් - 30ක් පමණ කරන පුද්ගලයන් ව්‍යායාමයට පෙර ඉක්මනින් උරාගන්නා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 15ක් පමණ ලබාගත යුතු අතර ලබාගන්නා ඉන්සියුලින් ප්‍රමාණය වෙනස් නොකළ යුතුය.


ව්‍යායාම ලෙස දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, ටෙනිස් ක්‍රීඩාව වැනි දෑ පැයකට වඩා කරන පුද්ගලයන් ව්‍යායාමයට පෙර තමන් ලබාගන්නා ඉන්සියුලින් ප්‍රමාණයෙන් සියයට 25ක ප්‍රමාණයක් අඩු කළ යුතු අතර ඉක්මනින් උරාගන්නා කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර රෑම් 15ක්, 30ක් ව්‍යායාමයට පෙර ලබාගත යුතුය. එමෙන්ම ව්‍යායාම කරන සෑම පැය භාගයකට වරක් එම ප්‍රමාණයේ  කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ලබාගත යුතුය. පැයකට වඩා වැඩි කාලයක් මැරතන් වැනි ක්‍රීඩාවල යෙදෙන්නේ නම් ව්‍යායාමයට පෙර ලබාගන්නා ඉන්සියුලින් ප්‍රමාණය සියයට 30සිට 80 දක්වා අඩු කළ යුතු අතර පලතුරු වැනි ආහාරයක් ලෑම් 30ක් පමණ සෑම පැය භාගයකට වරක් ලබාගත යුතුය. ඉන්සියුලින් ලබාගන්නා පුද්ගලයින් ව්‍යායාමයට පෙර ලබාගන්නා ඉන්සියුලින් හැකිතාක් දුරට ප්‍රධාන වශයෙන්ම ව්‍යායාම සඳහා යොදාගන්නා පේශිවලට ලබාගැනීම අඩු කළ යුතුය.


ව්‍යායාමවලින් පසුව ඇති වන සංකූලතාවයක්  වන ශරීරයේ සීනි අඩු වීම සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතුය. සීනි අඩු වීමේදී ඇති වන  ක්ලාන්තය, දහඩිය දැමීම, කරකැවිල්ල, ශරීරයට පණ නැතිවීම සහ සිහිමද වීම යන ලක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුය. දියවැඩියා සහිත රෝගීන් ව්‍යායාම කරන සෑම අවස්ථාවකදී තමා සතුව ඉක්මනින් උරාගන්නා සීනි සහිත ආහාරයක් අවශ්‍ය වේලාවට ගැනීම සඳහා ළඟ තබාගත යුතුය. ව්‍යායාමයට පෙර සහ ව්‍යායාමයෙන් පසුව රුධිරගත සීනි පරීක්ෂා කර සටහන් තබාගෙන ව්‍යායාම කිරීමේදී ඇති වන සංකූලතා අවම කරගත හැකිය. එමෙන්ම මෙවැනි රෝගීන් ව්‍යායාම කරන විට ජලය පානය කරමින් ශරීරයේ ජල මට්ටම හොඳින් තබාගත යුතු  වේ. ව්‍යායාමයට පසුද කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරයක් ලබාගන්නා අතරම ජලයද හොඳින් පානය කළ යුතුය.


දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් බොහෝමයක්ම සීනි පාලනය කරනු ලබන්නේ මුඛයෙන් ගන්නා ඖෂධවලිනි. රෝගීගේ ඖෂධ මාත්‍රාව එක්වරම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත. ව්‍යායාමත් සමග දීර්ඝකාලීනව ඇති වන ප්‍රතිඵලවලින් රුධිරගත සීනි ප්‍රමාණය අඩු විය හැකි අතර එවිට වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඖෂධ ප්‍රමාණය තීරණය කළ හැකිය.මෙම රෝගීන් ප්‍රතිරෝධක ව්‍යායාම කිරිමෙන් ඉන්සියුලින්වල සංවේදීතාවය වැඩි වන අතර රුධිරගත සීනි ප්‍රමාණයද යහපත් පාලනයකට ලක් වේ. එම ව්‍යායාම නිදහස් බර හෝ ව්‍යායාම උපකරණ ආධාරයෙන් කළ හැකිය. එසේ සතියට 2ක් - 3ක් කළ යුතුය. ප්‍රතිරෝධක ව්‍යායාමවල තීව්‍රතාවය විය යුත්තේ 60 - 80 1RM ය. ව්‍යායාම වාර 8ක් - 12ක් අවස්ථා 2ක් - 3ක් පමණ කළ යුතුය. නම්‍යශීලී ව්‍යායාම දිනපතා කිරීමෙන් දියවැඩියාව නිසා ඇති වන පේශිවල සහ සන්ධිවල සංකූලතා මගහරවා ගත හැකිය.