gossiplanka image 1
 


වර්තමානයේ බොහෝ දෙනෙකුට දියවැඩියාව වැලඳී ඇති අතර එය තවත් රෝග බොහෝමයකට හේතුවක්ද වේ. දියවැඩියා රෝගය ආකාර දෙකකින් හඳුනාගත හැකිය.


• පළමු ගණයේ දියවැඩියාව ලෙස හැඳින්වෙන රෝගය ජානමය හේතූන් නිසා ඇති වන අතර කුඩා කාලයේ සිටම දියවැඩියාව ඇති විය හැකිය.


එහිදී සිදු වන්නේ අන්‍යාසයේ ඉන්සියුලින් ස්‍රාවය කරන සෛලවලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ මඟින් ඉන්සියුලින් නිපදවෙන සෙල මුළුමනින්ම අඩපණ කිරිමයි. එම නිසා කුඩා කාලයේ සිටම රුධිරයේ ඉන්සියුලින් නොමැති වීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යයි.


• දෙවැනි වර්ගයේ දියවැඩියාව බොහෝ විට ඇති වන්නේ වැඩිහිටි අවධියේදීය.


මේ සදහා ජානමය හේතුන් මෙන්ම ජීවන රටාවේ අක්‍රමවත් බව බලපානු ලබයි. මෙම තත්ත්වයේදී ආකාර දෙකකට රෝගය ඇති වේ. එක් ආකාරයක් වන්නේ ශ්‍රාවය කරන ඉන්සියුලින් ප්‍රමාණය රුධිරගත සීනි ප්‍රමාණයට සාපේක්ෂව අඩු වීමයි. අනෙක් ආකාරය වන්නේ රුධිරයේ ඇති ඉන්සියුලින් පේශිවල ඇති ග්‍රාහකවලට බැඳීමට ප්‍රතිරෝධයක් දැක්වීම හෝ එම ග්‍රාහක ප්‍රමාණය පේශිවල අඩු වීමයි. දියවැඩියා රෝගීන්ගෙන් 90% කටම ඇත්තේ දෙවැනි වර්ගයේ දියවැඩියාවයි.  මෙම වර්ගයේ රෝගීන් 80%ක පිරිසක් තරබාරු ගණයට අයත් වේ. විශේෂයෙන්ම උදර ආශ්‍රිතව මේදය තැන්පත් වීමේ ප්‍රමාණය ඉහළය. පිරිමින්ගේ උදර වට ප්‍රමාණය අගල් 40 ඉක්ම වූ පසුද ගැහැනු අයගේ උදර වට ප්‍රමාණය අගල් 35 ඉක්ම වූ පසු මේ තත්වය පහසුවෙන් ඇති විය හැකිය.


මෙම රෝගය හඳුනාගැනීමට පැය 8ක් පමණ නිරාහාරව සිට ගන්නා රුධිර ග්ලුකෝස් ප්‍රමාණය ෆාස්ටින් බ්ල්ඩ් ෂුගර් (Fasting Blood Sugar) 126mg/dL (7mmol) 0001 ආහාර ගෙන පැය දෙකකට පසුව රුධිරගත ෆුකෝස් ප්‍රමාණය 200mg/dL (11mmol) ඉක්ම වන අවස්ථාව දැක්විය හැකිය. ඊට අමතරව අධික පිපාසය, ශරීරය කෙට්ටු වීම, මුත්‍රා අධික ලෙස පිටවීම, මස්පිඩු පෙරළීම සහ නිතර ආසාදන ඇති වීම යන රෝග ලක්ෂණද උපයෝගී කරගත හැකිය.


දියවැඩියා රෝගීන්ට ව්‍යායාමවලින් ඇති වන ප්‍රයෝජන


දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාගැනීම ආහාර පාලනය සහ ව්‍යායාම බොහෝ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරති. විශේෂයෙන්ම දියවැඩියා රෝගය බොහෝ කල් පවතින බොහෝ ඉන්ද්‍රියන්ගේ ආබාධ ඇති කරන රෝගයක් බැවින් මෙම රෝගය ඉතා හොඳින් පාලනය කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා කුමන මට්ටමක හෝ ව්‍යායාමවලින් විශාල ප්‍රයෝජනයක් ලැබේ. එමෙන්ම දියවැඩියා රෝගය නිසා ඇති වන පේශි හා අස්ථි ආශ්‍රිත සංකූලතා බොහෝමයකටද ව්‍යායාම ප්‍රතිකාරයක් ලෙස වැදගත් මෙහෙයක් ඉටු කරයි.

පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් ව්‍යායාම සිදු කරන විට ඉන්සියුලින්වල සංවේදීතාවය වැඩි වීම රුධිරගත කොලෙස්ටරෝල් පාලනය රුධිර පීඩනය සහ හෘද ස්පන්ධන වේගය අඩු වීම, ශරීර බර අඩු වීම සහ හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු වීම යන වාසි ලැබේ. මෙම රෝගීන් සඳහා ප්‍රධානතම වාසිය වන්නේ රුධිරගත ග්ලුකෝස් පාලනයට වඩා හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු වීමයි.


නිතිපතා ව්‍යායාම කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම වළක්වාගත හැකි අතර පාලනය කිරීමද හොඳින් සිදු කළ හැකිය. දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ ශරීරය තුළ ග්ලුකෝස් සහ මේද පරිවෘත්තියේදී සිදු වන ගැටලු බොහෝමයක් ව්‍යායාම මගින් අවම කරයි. එමෙන්ම පේශිවල ඉන්සියුලින් ග්‍රහණය කිරීමට ඇති ග්‍රාහකවල සංවේදීතාවය ව්‍යායාම මඟින් වැඩි කරන අතර පේශිවල නව ග්‍රාහක ඇති කරයි. එමගින් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමට මහගු පිටිවහලක් ලැබේ.