gossiplanka image 1
 


රටක් ආර්ථික දියුණුවට පත්වන විට එහි අතුරු ඵල ලෙස ඇති වන නොයෙකුත් ගැටලුවලට මුහුණදීමට සිදු වෙයි. විසිවන සියවස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පුද්ගල මරණ සිදුවීමට මුල් වූ හේතු අතරින් මුල් තැනගත්තේ මැලේරියාව, ක්‍ෂය රෝගය මෙන්ම පාචනය ඇතුළු විෂබීජ හෝ ක්ෂුද්‍ර ජීවීන් මඟින් වූ බෝ වන රෝගය. එහෙත් ක්‍රමයෙන් සිදු වූ ආර්ථික හා සෞඛ්‍යමය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයත් සමගම බෝ වන රෝගවලින් සිදු වූ මරණ ක්‍රමයෙන් මැඩ පැවැත්වීමට හැකි විය. එහෙත් ඒ සමගම බෝ නොවන රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙන්ම අනුපාතයද ක්‍රමයෙන් ඉහළ යන්නට විය.  හෘදය රෝග, අධික රුධිර පීඩනය, අංශභාගය, දියවැඩියාව මෙන්ම පිළිකාව ප්‍රධාන බෝ නොවන රෝග අතරට වැටේ. රෝහල් තුළ සිදුවන සියලු මරණ අතරින් 173 ක් වැනි ඉතා අධික ප්‍රතිශතයකට හේත්තු ව න්නේ හෘදය හා රුධිර පීඩනයට (Cardiovascular) අදාළ මරණ බව වාර්තා වේ. අතීතයේදී බහුල වූ බෝ වන වසංගත රෝග හේතුවෙන් දැන් සිදුවන්නේ මරණ 83ක් පමණි. මෙම තොරතුරු අවබෝධ කරගැනීමට සංඛ්‍යා ලේඛනම දැනගත යුතු නැත. අප දන්නා කියන හෝ ප්‍රසිද්ධ කවරෙකු හෝ මිය ගිය බව අසන්නට ලැබෙන විටම ඔහු හෝ ඇය මිය යන්නට ඇත්තේ හෘදයාබාධයක් නිසා වෙන්නට ඇති බව අපට නිරායාසයෙන්ම සිතේ. ඒ තරමට හෘද රෝගවලින් සිදුවන මරණ බහුල වී ඇත. මුලින් අවුරුදු 60-70 ගත කළ අයට සීමා වූ බව පෙනුණ හෘදයාබාධ මරණ දැන් වයස අවුරුදු තිස් ගණන්, හතළිස් ගණන් වලදී පසුවන්නන් අතරද අසන්නට ලැබේ.ගිය සතියේ හෝ ඊයේ යස අපූරුවට ඔබේ “කාර්යාලයේ” ඔබ සමග විනෝදයෙන් කටයුතු කළ මිතුරා අද දවස වන විට හිටිහැටියේ හටගත් හෘදයාබාධයකින් මිය ගිය බව අසන්නට ලැබීම දැන් දැන් එතරම් දුලබ සිද්ධියක් නොවේ. කල්වලට වඩා “කාර්යාලවල" මෙවන් සිද්ධි අසන්නට ලැබෙන්නේ හේතු සාධක සහිතවය. හෘදරෝග බහුල වීමට අවදානම් සාධකයක් (Risk Factor) ලෙස ඇගපත නොවෙහෙසන ව්‍යායාමයෙන් තොර දිවි පැවැත්ම (Sedentry life) ප්‍රමුඛ ලෙස බලපායි. එලෙස ව්‍යායාමවලින් තොරව දිවිගෙවන පුද්ගලයන් කවුරුන් දැයි යන්න හඳුනාගැනීම ඔබට අමාරු කාර්යයක් නොවේ. එලෙස අවධානම් මට්ටමේ සිටින පුද්ගලයෙකු හඳුනා ගැනීමේ සරල ඉඟි (Tips) කීපයක් පහත දැක්වේ .


• අධික තරබාරුවෙන් පසුවීම හා දුම්පානයට ඇබ්බේහි වූවකු වීම

• නිරතුරුවම මානසික ආතතියකින් පෙලීම


ඉහත කරුණු සමග ඔහුගේ හිස පිටුපසින් හිස මුදුනට වත්තට තට්ටය පෑදී ඇත්නම් මේ සියලු කාරණාවලින් ගම්‍ය වන්නේ නුදුරු දිනයකදීම ඔහු හෘදයාබාධ රෝගයට ලක්වීමේ ඉඩකඩ අධික වන බවයි. එහෙත් මේ තත්වය හාස්‍යයට කරුණක් නොවන්නේ කාර්යාලවල තරුණ විධායක නිලධාරීන්, වෙළඳ ප්‍රවර්ධකයින් අලෙවි නියෝජිතයින් මෙන්ම එවැනි වෘත්තීන්හි නියැළෙන අය අතරෙන් බොහෝ දෙනෙක් ඉහත සඳහන් ලක්ෂණ අඩු වැඩි වශයෙන් සහිත අවදානම් කාණ්ඩයට ඇතුළු වීමයි.තරබාරුව අපේ තරුණ පරපුර ක්‍රමයෙන් ගිල ගනිමින් සිටින බව දැනගැනීමට සංඛ්‍යා ලේඛනම කියවිය යුතු නැත. ජනප්‍රිය පාසල් නිම වී එන ළමා පිරිස දෙස මදක් බලා සිටින්න. ඇතැම් දරුවන් කොතෙක් දුරට තරබාරු වී ඇත්දැයි කිවහොත් නිරික්ෂණයෙන් පමණක් ඇතැමෙකුගේ වයස 8, 9 හෝ 13, 14 හෝ 18, 20 කියා හෝ නිගමනය කිරීම අපහසු වෙයි. එහෙත් තරබාරුව ක්‍රමයෙන් උත්සන්න වන සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුව තිබේ.Obesity යන්න විද්‍යාත්මකව අර්ථ දක්වන්නේ සිරුරේ ඇති මේද සහිත සෛලවල ප්‍රමාණය ඉහළ යාම හෝ මේ සෛල සංඛ්‍යාව ඉහළ යාම ලෙසයි. Overweight, “ඉක්ම වූ බරයනු, අදාළ ස්ත්‍රී/පුරුෂ බව, වයස සහ සිරුරේ උස අනුව තිබිය යුතු සාමාන්‍ය (Average) බරට වඩා ඉහළ යාමයි. එසේ වීම සඳහා ඇතැම් විට සායනික රෝග හේතුවිය හැකි වුවද ස්ථූලතාවය සුලබම හේතුව වෙයි.

ථුලතාව හෙවත් තරබාරුව සඳහා හේතු ගණනාවක් සංකීර්ණ ලෙස බලපායි. වයස් මට්ටම, ස්ත්‍රී/පුරුෂ බව, ජානගත හේතු, මානසික සාධක, ආර්ථික හා සමාජයීය මට්ටම වැනි සාධක අතරෙන් ප්‍රධාන තැන ගනු ලබන්නේ ආහාර පුරුදු (Eating habits) වේ. අනෙක් සියලු සාධක හමුවේ වුවද ඔබේ කෑම පුරුදු පිළිබඳ ඔබට පාලනයක් ඇති හෙයින් තරබාරුව පාලනය කරගත හැකි දෙයක් බව පළමුවෙන්ම අවබෝධ කරගත යුතුය. “නොකා හිටියත් මහත් වෙනවා” යන්න බොහෝ දෙනා අතර ඇති මිථ්‍යාවකි. ඔබ තරබාරු වන්නේ ශරීරයට ආහාර ලෙස ඔබ ලබාදෙන අනවශ්‍ය කැලරි ප්‍රමාණය තැන්පත් වීම හේතු කොට ගෙනය. තරබාරු වීම පෙනුම පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එම හේතුවෙන් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, අංශභාගය, ආඝාතය (Stroke) වැනි මාරක රෝගවලට අමතරව පිත්තාශයේ ආබාධ, සන්ධි ආබාධ (ඔස්ටියෝ ආතරයිටීස්) නහර ගැටගැසීම, හර්නියා වැනි ආබාධද ඇති කරයි.  ඊට අමතරව තරබාරුව නිසා ඇති වන සමාජ ප්‍රශ්න වලට බොහෝ විට කාන්තාවන්ට මුහුණදීමට සිදු වෙයි. ප්‍රාසාංගික මෙන්ම සංචාරක, අමුත්තන් පිළිගැනීම වැනි රැකියා සඳහා ඔවුනට ඇති අවස්ථා අඩු වේ. තරගකාරි ක්ෂේත්‍රයන්හි රැඳී සිටීමට අවශ්‍ය මානසික ස්ථාවරය හා ස්වයං ප්‍රතිරූපය (Self Esteem and Resilience) තරබාරුව නිසා බිඳ වැටීමේ ප්‍රවණතාව අධික වේ. එමෙන්ම යෝජිත විවාහ මෙන්ම පෙම් සබඳතා සඳහාද ස්ථූලතාව විශාල බලපෑමක් කරන බව තහවුරු කර ඇත. කාන්තාවන් අතර පමණක් නොව පුරුෂයන් අතර පවා තරබාරු බව නිසා සමාජ ගැටලු ඇති වීම දුලබ නොවේ. ඔබේ තරුණ පෙනුම නසන ප්‍රධාන සතුරා තරබාරුව බව වටහා ගත්තාද? වයස තිහ ඉක්ම වූ පසු බොහෝ දෙනා සිතින් වයස්ගත වෙයි. තමාගේ බාහිර පෙනුම පිළිබඳ සැලකීම අඩු වෙයි. එදින්නෙදා ජීවිතයේදී ඇති වන අහිතකර සිදුවීම් නිසා පහළ වන සිත් බිඳීම්, කලකිරීම් මකා දමන්නට බොහෝ විට යමක් කා දැමීමට පෙලඹීමක් ඇති වෙයි. බොහෝ විට අප අනුභව කරන්නේ බඩට අවශ්‍ය නිසා නොව සිතට අවශ්‍ය නිසාය. එසේ නැතහොත් වට පිට සිටින අයට අවශ්‍ය නිසාය. යම්කිසි නිවසකට ගිය හොත් ඒ අයගේ සිත් රිදෙන නිසාය. කාර්යාලයේ අනෙක් පිරිස කන නිසාය.

තරබාරුව මැඩීමට එක් කෙටි උපදෙසක් ඇත. එය අන්දුටු උපදෙසකි. අනුන්ට අවශ්‍ය නිසා නොව, ඔබට අවශ්‍ය නිසා පමණක් කන්න. බඩට අවශ්‍ය තරමට නොව ඊට මඳක් අඩුවෙන් කන්න. බඩ පිරුණු විට දැනෙන සුවයට වඩා කෙතරම් ප්‍රසන්න සුවයක් මඳක් බඩ පිරුණු විට ඇති වේදැයි යන්න අත්දැකීමෙන්ම දැන ගන්න. පුද්ගලයාගේ බාහිර පෙනුම, වියපත් වීම පෙන්නුම් කරන ප්‍රධාන සාධකය නම් තරබාරුවයි.

තරුණ වියේදී උරහිස් සහ උර පෙදෙස උදරයට වඩා පුලුල්ව තිබෙන අතර ක්‍රමයෙන් උරහිස් පෙදෙස හෙවත් පපුව පසුපසට ගොස් උදරය ඉදිරියට නෙරා ඒම කෙනෙකු වියපත් බව පෙන්වන පළමු බාහිර ලකුණකි. සිහින් ඉඟක්, ශක්තිමත් උදර පේශි සිරුරේ තරුණ පෙනුම  විදහා දක්වන අතර මුහුණ, ගෙල ආදි පෙදෙස්වල අනවශ්‍ය මේද තට්ටු තැන්පත් නොවීමෙන් තරුණ පෙනුම, ප්‍රසන්න බව ආරක්ෂ වේ.ඔබේ සිරුර ඔබේ බැංකු ගිණුමට සමානය. එහි මුදල් තැන්පත් කරන්නේ ඔබමය. වැඩි වැඩියෙන් තැන්පත් කරන තරමට වැඩි වැඩියෙන් පොලියද එකතු වේ. සුවපහසුවෙන් ප්‍රසන්න හා ක්‍රියාශීලී ජවයකින් යුතුව ජීවත් වීමට අනවශ්‍ය මේදය ප්‍රබල බාධකයකි. නිසි පමණට ආහාර ගැනීම හා ශාරීරික අභ්‍යාසය තරම් විශිෂ්ට ආයෝජනයක් තවත් නොවේ. තරබාරු සිරුරක විශිෂ්ට මනසක් පැවතීමේ සම්භාවිතාවද බෙහෙවින් අවමය.