gossiplanka image 1
 


මාස 6ක් වෙනතුරු දරුවාට මව්කිරි පමණක් ලබාදිය හැකිය. ඒ සඳහා මව හොඳින් ආහාරපාන ගත යුතුය. මාස 6න් පසු දරුවාට මව්කිරිවලට අමතරව වෙනත් ආහාරපාන ලබා දිය හැකිය. අමතර ආහාරපාන ලබා දීමේදි එක් දිනයකදී එක් නව ආහාරයක් පමණක් ලබා දීමට වග බලා ගන්න. එමෙන්ම නව ආහාරය සුළු ප්‍රමාණයක් පළමුවෙන් දෙන්න. දරුවාට නිසි අයුරින් ආහාරපාන දෙනවාද කියා බලා ගත හැකි හොඳම ක්‍රමය නම් දරුවාගේ බර ළමා සෞඛ්‍ය වර්ධන සටහනට අනුව නිසි අයුරින් වැඩි වෙනවාද කියා සොයා බැලීමයි.


දරුවාගේ විද්‍යාත්මක කේන්දරය හෙවත් ළමා සෞඛ්‍ය වර්ධන සටහන.


දරුවෙකු ඉපදුණු පසු උපන් වේලාවේදී අහසේ තරු පිහිටි ආකාරය අනුව ඔහුගේ කේන්දරය පිළියෙල කිරීම බොහෝ දෙමව්පියන්ගේ සිරිතය. ලෙඩක් දුකක් සිදුවුනු විටදී හෝ දරුවාගේ අනාගතය ගැන දැනගැනීමට අවශ්‍ය වූ විට කෙන්දරය හෙවත් වේල පත්කඩය රැගෙන ගොස් නතුකරුවෙකු ලවා එය කියවා පලාපල කෙසේදැයි දැන ගැනීමට වැඩිහිටියන් පෙළඹෙති. එපමණක් නොව දරුවා ලොකුමහත් වී විවාහ වීමට යාමේදී ද විවාහ වීමට යන අයගේ කේන්දරය සමග සසඳා පොරොන්දම් බලති. එබැවින් කේන්දරය අප රටේ මිනිසුන් ඉතා වැදගත්කොට සලකා ආරක්ෂාකර ලබා ගනිති. එදා කේන්දරය තල් කොළ පතක පන්හිඳෙන් ලියා රෝලක් ලෙස පිළියෙල වුණත් අද එය පිළියෙල වන්නේ පොතක් ලෙසය. එය අද ජන්ම නැකැත් පොත ලෙස හඳුන්වයි.


දරුවෙකු ඉපදුණු විට ඔහු හෝ ඇය වෙනුවෙන් තවත් වැදගත් පොතක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. එය මා සලකන්නේ ජන්ම නැකැත් පොතටත් වඩා වටිනා පොතක් ලෙසය. එනම් ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන යි. එහි දරුවෙකුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්හි දී ඔහු හෝ ඇය වර්ධනය විය යුතු ආකාරය සටහන් කර තිබේ. දරුවා වයස්ගත වන විට එහි දක්වා ඇති ආකාරයට වර්ධනය වෙනවාදැයි පවුලේ වෛද්‍යවරයාට සෞඛ්‍ය සේකයන්ට මෙන්ම දෙමව්පියන්ටද දැකබලා ගත හැකි වේ.  සෑම දරුවෙකුම එකම අයුරින් වර්ධනය නොවේ. ඒ සඳහා දරුවා ගන්නා ආහාරපාන මෙන්ම දරුවාගේ සෑම සෛලයකම න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ වල අඩංගු ජානයන් ද බලපාන බව සොයා ගෙන තිබේ. සාමාන්‍ය ලෙස වැඩෙන දරුවන්ගේ වර්ධන පරාසයන් ළමා සෞඛ්‍ය වර්ධන සටහනේ දක්වා තිබේ. මසකට වරක් දරුවාගේ බර මැන බැලීම මගින් දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාදැයි නිරීක්ෂණය කළ හැකි වේ. එමගින් දරුවාගේ බර සාමාන්‍ය පරාසයට වඩා ඉහළින් (අධි පෝෂණය) හෝ පහලින් (මන්දපෝෂණය) පවතින්නේ නම් එය නිවැරදි කිරීම සඳහා වහාම පියවර ගත හැකි වේ.


දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන්නේ සඳහන් වන්නේ වයසට අනුව දරුවාගේ බර සටහන් න්කළ හැකි ප්‍රස්ථාරයක් පමණක් නොවේ.ඊට අමතරව පහත සඳහන් කරුණු ද එහි සටහන් කර තිබේ.


1 පතිශක්තිකරණ සටහන

2 මකිරි දීමේ වැදගත්කම

3 පාචනය නිසා ඇතිවන විජලනයට හොඳම ප්‍රතිකාරය ලෙස ජීවනී.

4 පවුල් සංවිධානයේ ඇති වැදගත්කම

5 දරුවාගේ මානසික වර්ධන අවස්ථාවන්.

6 ඉඳුල්කට ගෑම සහ දරුවාට ලබා දිය යුතු අමතර ආහාර පිළිබඳ උපදෙස්.



මේ අනුව බලන කල දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන දරුවාගේ අනාගතය තීරණය කරනු ලබන අනාගතයේදී ඔහු හෝ ඇය සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙකු වීමට උදව්වන ඉතා වැදගත් මෙවලමක් ලෙස සැලකිය හැකිය.