gossiplanka image 1
 


අක්මාව තුළ තැනෙන පිත තැන්පත්කර තබන්නේ පිත්තාශය තුළය. වරින්වර එයට පීත්ත ප්‍රණාල දින්ගේ කුඩා බඩවැලේ ග්‍රහණියට මුදාහරිනු ලැබේ. එහි ඇති ආහාර පිත සමඟ මිශ්‍ර වීම නිසා මේදය ජීර්ණය වීම සිදුවේ. පිත්තාශය තුළ එක්වන පිතෙහි තෙල් සහ කොලෙස්ටරෝල්  සාන්ද්‍රණය අධික වූ විට ඒවා ඝණ වී ගල් ඇති වේ. පිත්තාශයේ ඇති ගල් නිසා වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණ නොමැති වුවත් කුඩා ගලක් පිත්ත ප්‍රණාලයේ හිර වුවහොත් එතැනින් පහළට පිත ගමන් කිරීම අවහිර වේ. එවිට පිත නැවත රුධිරයට එකතු වීම නිසා ඇඟ කහ පාටට හැරේ. එය සෙංගමාලය ලෙස හඳුන්වනු ලැබේ. පිත්ත ප්‍රණාලයේ හිසේ හිර වූ ප්‍රදේශයේ හට ගන්නා ප්‍රදාහ තත්ත්වය නිසා උදරයේ ඉහල සහ දකුණු පස අධික වේදනාවක් ද ඇති විය හැකිය. එම වේදනාව දකුණු උරහිස සහ ගෙල ප්‍රදේශය දෙසට පැතිරිමට ද පුළුවන පිත්ත ප්‍රණාලයේ ගල් හිර වූ විට හට ගන්නා වේදනාව අධික තෙල් සහිත ආහාර වේලකින් පසු වැඩිවන අතර එය පැය කීපයක් රඳා සිටිය හැකිය. උදරයේ ඉහළ කෙළවර වේදනාව සමග වමනය සහ ඔක්කාරය ඇති විය හැකිය. පිත්තාශයේ ගල් සහ පිත්තාශයේ ප්‍රදාහ තත්ත්වයන් වැඩිපුර ඇතිවන්නේ මැදි වියේ පසුවන තරබාරු කාන්තාවන්ට ය. තෙල් අධික ආහාර අඩු කිරීම, තරබාරුව හෙවත් බර අඩු කරග ගැනීම මගින් පිත්තාශයේ හට ගන්නා ආබාධ අඩුකර ගත හැකිය. පිත්තාශයේ ගල් සහ ප්‍රදාහ තත්ත්වයන් අට්‍රා සවුන්ඩ් ස්කැන් පරික්ෂණයක් මගින් හෝ එන්සේ කිරණ පරික්ෂණයක් මගින් හඳුනාගත හැකිය. ප්‍රදාහ තත්ත්ව ය සඳහා ප්‍රතිජීවක සහිත ඖෂධ ප්‍රතිකාර ලබා දිය හැකි අතර පිත්තාශයේ හෝ පිත්ත ප්‍රණාලයේ හිර වී ඇති ගල් ඉවත් කිරිම සඳහා රෝගියා සැත්කමට භාජනය කිරීමට සිදුවිය  හැකිය. මෙහිදී භාවිතා කරන නවතම සැත්කම් ක්‍රමය නම් එන්ඩොස්කොපික් සැත්කම් ක්‍රමය යි. එන්ඩොස්කෝපය සැත්කම් කරනු ලබන්නේ මුඛයෙන් ඇතුල් කරනු ලබන එඩොකෝපය ආමාශය සහ ග්‍රහණිය හරහා පිත්ත ප්‍රණාලය තුළට යැවීම මගිනි. එබැවින් පිටතින් කැපුමක් දැමීමට අවශ්‍ය නොවේ. සැත්කම මගින් හිරවී ඇති ගල් ඉවත් කිරීම හෝ මුළු පිත්තාශයම ඉවත් කිරිම සිදුකරනු ලැබේ. පිත්තාශයේ ගල් ඇති බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ මතු නොවේ. එබැවින් ඒ පිළිබඳව බිය විය යුතු නොවේ. ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ප්‍රදාහ තත්ත්වයක් හෝ ගලක් සිර වී අධික වේදනාවක් හට ගතහොත් පමණි.