දත්වල පණුවන් නැත. දත්වල පණුවන්ට ජීවත් විය නොහැක. සිදුවන්නේ දත්වල සහ දත් අතර රැදෙන ආහාර (පිටි සහ සීනි) මත බැස්ටීරියාවන් වර්ධනය වී පැහීමකට ලක් වී එතැන පළමුවෙන් මද්‍යසාරයෙන් දෙවනුව විනාකිරිත් (ඇසිටික් අම්ලය) නිෂ්පාදනය වීමයි. එසේ නිෂ්පාදනය වූ ඇසිටික් අම්ලය මගින් දතේ ඇති කැල්සියම් පොස්පේට් ඉවත් කිරීම නිසා දත දියවී කුහර තැනීම හෙවත් දන්ත ව්‍යසනය සිදු වේ. මෙම කරුණු පහදා දෙනු ලැබුවේ 1890 දී මිලර් නමැති වෛද්‍යවරයා විසිනි. එහෙත් තවමත් දත්වල පණුවන් සිටිනවා යැයි විශ්වාස කරන අය ද අප රටේ සිටිති.
* මා දත් මදින විට විදුරුමසින් ලේ ගලනවා. ඒකට හේතුව කුමක්ද?
විදුරුමස් වලින් රුධිරය ගැලීමට ප්‍රධාන හේතුව එය බැස්ටීරියා ආසාදනයට ලක් වීමයි. දත්වල බැඳී ඇති මැලියම්වල ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත බැස්ටීරියාවන් විසින් නිපදවනු ලබන අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය හෙවත් ටොක්සීන මගින් විදුරුමස් හි ප්‍රදාන තත්ත්වයක් ඇති කරනු ලබයි. එවිට විදුරුමස රතු පැහැවීමත්, ඉදිමීමත්, සැරව ගැලීම, හෝ සැරව ගෙඩි ඇති වීමත් සිදු වේ. දත් මදින විට විදුරුමසින් ලේ ගැලීම ද සිදු වේ. විදුරුමසින් ලේ ගැලීමට ප්‍රධාන හේතුව එය වූවත් විදුරුමසට සිදුවන වෙනත් අනතුරු, ලියුකේශ්මියා වැනි රුධිරගත රෝග, විටමින් ඌණතාවයන්, ගර්භණී සමයේ ඇති වන හෝමෝන වෙනස්කම් සහ අපස්මාරය වැනි රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ නිසාද විදුරුමස් රෝග ඇති වී ලේ ගැලීම සිදු විය හැකිය.
* විදුරුමසින් ලේ ගලන විට දත් මැදීම හොඳ නැද්ද?
දත්වල මැලියම් ඉවත් කිරිම සඳහා දත් බුරුසුව පාවිච්චි කිරිම කළ යුතුයි. එහෙත් ඒ සඳහා සුමුදු කෙඳි සහිත බුරුසුවක් භාවිතා කිරිම තමයි නුවණට හුරු. විදුරුමස සහ දත් මැදීමට වඩා ඒවා පිසදැමීමයි කළ යුත්තේ. ලියන විට පෑනට බර දෙන ප්‍රමාණයට දත් මදින විට බුරුසුවට බර දීම ප්‍රමාණවත්. හරියට පනාවක දැති අතර ඇති කුණු ඉවත් කරන්නා සේ උඩු ඇන්දේ ඉහල සිට පහලටත්, යටි ඇදේ පහළ සිට ඉහලටත් බුරුසුවේ කෙදි ගෙන යාම කළ යුතුයි. ඉවත්බවක් නැතිව හැම පැත්තටම දත් මැදීම මගින් නරක් වූ විදුරුමස තව දුරටත් තුවාල වෙන්නට පුළුවනි. දත් මැදිය යුත්තේ කෑමට පෙර නොව කෑමට පසුවය. යටත් පිරිසෙයින් දවසට දෙවරක්වත් දත් මැදිය යුතුය. විනාඩි 5-10 ත් අතර කාලයක් කණාඩියෙන් බලාගෙන දත් මැදිය යුතුය. විදුරුමස නරක් වී ඇත්නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හෝ පාසැල් දන්ත චිකිත්සකවරයෙකු හමු වී දත් සහ විදුරුමස අතර තදින් බැඳී ඇති දන්ත පථ හෙවත් ස්ලාක ඉවත්කොට මුඛය පිරිසිදු කර ගැනීම හෙවත් ස්කේලිං කර ගැනීම කළ යුතුය. ඉන්පසු දත් සහ විදුරුමස ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබදව උපදෙස් ලබා ගත යුතුය. නිරෝගී මුඛ සෞඛයෙන් පසුවන පුද්ගලයෙකු වුවද අඩු තරමින් වසරකට වරක්වත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමු වී මුඛය පරීක්ෂා කරවාගෙන දත් පිරිසිදු කර ගැනීම වැදගත්ය. N කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුත්තේ කෙසේද? ද උදේ ආහාරයෙන් පසු සහ රාත්‍රී ආහාරයෙන් පසු ඔබත් දරුවා සමග දත් මදින්න. දරුවාට අවුරුදු 5ක් පමණ වනතුරු දත් මදින්නට දරුවාට උදව් කළ යුතුය. අවුරුදු 5-7 අතර කාලයේදී දරුවා දත් මදින ආකාරය අධීක්ෂණය කළ යුතුය. කටේ දන්තාලේප පුරවාගෙන දත් බුරුසුවෙන් කුරු ගෑම දත් මැදීම නොවන බව දරුවාට වටහා දිය යුතුය. කඩල ඇටයක ප්‍රමාණයට දන්තාලේප බුරුසුව තවරා ගැනීම හොඳටම ප්‍රමාණවත්ය. ළදරුවන්ගේ කිරි දත් මතු වන්නේ මාස 6න් පසුවය. ඒ සමයේදී රාත්‍රී නින්දට ගිය පසු පිරිසිදු සිනිඳු තෙත රෙදි කැබැල්ලක් දත් මත තබා පිස දමන්න. පිරිසිදු රෙදි කැබැල්ල ඇගිල්ලේ පටලවා දිව මතුපිට ඇති කිරි කාරමද ඉවත් කිරිම පුරුද්දක් කර ගන්න.
* දත් කැක්කුමක් හට ගත් විට කළ යුත්තේ කුමක්ද?
දත් කැක්කුම ඇති වීමට හේතු කිහිපයක් තිබේ. දන්ත ව්‍යසනය,දත් පිපිරීම, විදුරුමස් දියවීම නිසා දතේ සංවේදී කොටස් විවෘත වීම, විදුරුමසේ ආසාදන සහ සැරව ගෙඩි ඇති වීම දත් කැක්කුම ඇති කරන මූලික හේතූන්ය. එහෙත් දන්තමය නොවන දත්වලට යාබදව ඇති වායු කෝටරක ප්‍රදාහයක් නියුරැජියා නම් වූ දත් අවට පටකවලට සැපයෙන ස්නායු ප්‍රදාහයන් නිසාත් දත් කැක්කුම ඇති. විය හැකිය. ද දත් කැක්කුමක් හට ගත් විගස ප්‍රථමාධාරයක් ලෙස වේදනාශක ඖෂධ ලබා ගත හැකිය. ඒ සඳහා පැරසිටමෝල්, ඉබියුප්‍රොපේන්, මෙෆෙනමිඇසිඩ්, ඩයික්ලොෆිනැක් පොටෑසියම්, ඩයික්ලොෆනක් සෝඩියම් වැනි ඖෂධ ලබා ගත හැකි අතර ස්ථිර ප්‍රතිකාරයක් සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු වීම නුවණට හුරුය. එවිට ඔහු විසින් රෝගියා හොඳින් පරික්ෂා කර බලා ප්‍රතිකාර කරනු ඇත.
* දත් කැක්කුමට හේතුව දන්ත ව්‍යසනය නම් ඒ දත ගැලවිය යුතුමද?
පල නැහැ. දතක් ගලවා දැමීම නොවේ ජයග්‍රහණය. එය ආරක්ෂා කර ගැනීමයි. දැන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් නරක් වූ දත් ආරක්ෂක්ෂා කිරීම සඳහා නවීන ශල්‍ය වෛද්‍ය ක්‍රම භාවිතා කරනු ලැබේ. දත් පිරවීම, නායු පිරවීම, ගැලවූ දත වෙනුවට එතනට ස්ථිරව කෘතිම දතක් සවි කිරීම හෙවත් බ්‍රිජ් දැමීම සහ දත් සිටුවීම ඒවායින් සමහරෙකි. එබැවින් ඔබේ දන්තාබාධයට ගැලපෙන ප්‍රතිකාරය පිළිබඳව දන්ත ශල්‍ය වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. කළ යුත්තේ කුමක්දැයි ඉන්පසුව තීරණය කරන්න. දත ගැලවීම කළ යුත්තේ එය සංරක්ෂණය කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති විට දී පමණි.
* දතක් ගැලවූ පසු පිළිපැදිය යුතු කරුණු මොනවාද?
දත ගැල වූ පසු එතැනින් රුධිර වහනය පැය 1/2ක් පැයක් පමණ සිදුවිය හැකි නිසා කුහරයට පුළුන් කැබැල්ලක් ඔබා එය සපාගෙන සිටීම කළ යුතුය. පැය 2-3ක් ගතවන තුරු උණු ආහාරපාන නොගත යුතුය. දත ගැලවූ ස්ථානයේ ඇති හනුක අස්ථි කොටස් දිවට රළුවට දැනෙන්ට පුළුවනි. ඒ ගැල වූ දතේ කොටස් නොවේ. දින කිහිපයකට පසුව එතැන විදුරුමසින් වැසී ගිය විට එම රළු බව නැති වී යාවි.දතක් ගැලවූ ස්ථානය ඇගිල්ලෙන් හෝ දිවෙන් ස්පර්ශ කිරීම සුදුසු නොවේ. මක්නිසාද යත් එමගින් විෂබීජ ඇතුල් වී එතැන පැසවිය හැකි බැවිනි. දත ගලවා පැය 3ක් පමණ ගත වූ පසු දින කිහිපයක් යනතුරු මඳ රස්නයෙන් යුතු ලුණු වතුරෙන් කට සේදීම සුදුසුය.
* හදිසි අනතුරකින් දතක් ගැලවී වැටුනොත් කළ යුත්තේ කුමක්ද?
දත විසිකරන්න එපා. එය වහාම අහුලා ගන්න. දතේ මුල තවමත් සජීවී සෛල තිබෙන බැවින් දතේ කෙළවරින් අල්ලා කුණු තැවරි ඇත්නම් පිරිසිදු වතුරෙන් තත්පරයක් දෙකක් පමණ සෝදා වහාම කටේ තබාගෙන හැකි ඉක්මනින් ශල්‍ය වෛද්‍යවරයා වෙත යන්න. කුඩා දරුවකුගේ දතක් නම් එය මවගේ කටේ හෝ මව්කිරිවල, පැස්ටීකරණය කරන ලද කිරිවල හෝ සේස්ලයින් වල දමා ගෙනියන්න. එවිට ශල්‍ය වෛද්‍යවරයා විසින් එම දත නැවත සවි කිරීමට කටයුතු කරාවි. පැය 1/2 ක් ඇතුළත දත නැවත සවිකළා නම් සාර්ථකත්වය ඉතාමත් ඉහලය.
* මගේ කටේ වරින්වර වේදනාකාරි තුවාල හටගන්නවා. ඒවා ව පිළිකා වෙන්න පුළුවන්ද?
නොයෙක් හේතූන් නිසා කටේ තුවාල හට ගැනීමට පුළුවනි. එහෙත් ඔබ කියන වේදනාකාරී තුවාල බොහෝ විට අප්තස් වණ හෙවත් ආතති වණ වෙන්න පුළුවනි. ඒවා තොල යටි පැත්තේ, දින්වේ යටි පැත්තේ, මුඛය පතුලේ සහ කම්මුල ඇතුල් පැත්තේ හටගන්න පුළුවනි. අප්තස් වණ ඇතිවීමට හේතුව හරියටම සොයාගෙන නැත. විටමින් ඛනිජ ලවණ ඌණතාවයන් හෝ වෛරසයක් හේතුවන්නට පුළුවනි. අධික ආතතිය ඇතිවිට අස් වණ වැඩිපුර ඇති වන බව පෙනේ. ප්‍රතිකාර ලෙස වේදනානාශක ඖෂධ සහ ආලේපන භාවිතා කළ හැකිය. දින කිහිපයකින් තුවාල සුව වේ. ඒවා කිසි දිනෙක පිළිකා බවට පත් නොවේ. මුඛ පිළිකා බහුලව දක්නට ලැබෙන රටකි ශ්‍රී ලංකාව. එයට ප්‍රධාන හේතුව බුලත් විට හැපීම, දුම්පානය සහ මත්පැන් භාවිතයයි. සාමාන්‍යයෙන් මුඛයේප්පිළිකාවක් සැදීමට පෙර එම ස්ථානයේ සුදුවන් හෝ රතුවන් ලප ඇති විය හැකිය. නො එසේනම් සුව නොවන තුවාලයක් ඇතිවිය හැකියි. ඒවාට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළහොත් පිළිකා බවට පත්වීම වළක්වා ගත හැකිය. එබැවින් එවැනි පූර්ව පිළිකා අවස්ථාවන් මතු වෙනවාදැයි විමසිල්ලෙන් සිටීම වැදගත්ය. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයයෙකු හමුවන්න.
* යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා පිළිපැදිය යුතු කරුණු මොනවාද?
වරකට මිනිත්තු 5-10 බැගින් දිනකට අවම වශයෙන් දෙවරක්වත් කෑමෙන් පසු දත් මදින්න. ක්ලෝරයිඩ් අඩංගු දන්තාලේප කඩල ඇටයක ප්‍රමාණය දත් බුරුසුවේ තවරා අත තද නොකර පනාවක රැඳුනු කුණු අරන් දාන ක්‍රමයට කණාඩිය දෙස බලාගෙන දත් මදින්න. චොකලට්, ටොෆි වැනි සීනි අඩංගු ආහාර කෑම වේලකට පමණක් සීමා කරන්න. හැකි පමණ පළතුරු වර්ග අනුභව කරන්න. දත්වලින් බෝතල් මූඩි වැනි දේ ඇරිමෙන් වළකින්න. දත් අතර කෑම කැබලි හිරවී ඇත්නම් ඒවා ගැනීමට හැට්ටකටු, අල්පෙනෙති වැනි දේ භාවිතා නොකරන්න. ඒ වෙනුවට ලොස් නමැති නූල් හෝ අන්තරිදන්ත බුරුසු භාවිතා කරන්න. මුඛයේ රෝගී තත්වයක් නොතිබුණහොත් මාස 6-8 කට වරක් පවුලේ දන්ත ශල්‍ය වෛද්‍යවරයා ලවා මුඛය පරික්ෂා කරවා ගන්න. දත් කැක්කුම, විදුරුමස්වලින් ලේ ගැලීම හෝ මුඛයෙන් දුර්ගන්ධය වහනය වේ නම් ඔබගේ දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමුවන්න. දුම්පානය නවත්වන්න. මද්‍යසාර පානය සහ බුලත් විට හැපීම අවම කරන්න
Comments
Post a Comment