කෙම
කතා නොකර ළදරුවන් ගේ ලිංග පෙදෙසට ගම්මිරිස් ඇටයක් හපා පිඹිනු. නිරෝගී බව ඇතිවේ.
එහි විද්‍යාත්මක පදනම
අතීතයේ දී ගැබිණි මව්වරු දරුවන් බිහිකිරීම සඳහා රෝහල්වලට නො ගියෝ ය. දරු ප්‍රසූතිය සිදු කළේ නිවසේ දී ම ය. ඒ සඳහා පැරණි ගම්වල හැම ගෙදරක ම පාහේ ඒ සඳහා ම වෙන් කළ කාමරයක් තිබිණි. ඇතුල් ගේ කළුවර කාමරේ, ඇදුම් ගේ ආදී නම් වලින් එය හැඳින්වුණේ ය. අතිශයින් ආවරණයෙන් යුතු එහි දරු ප්‍රසූතිය සඳහා එම යුගයේ හැටියට, වරතමාන ප්‍රසූතිකාගාර දෙස බලන කල නම් ප්‍රාථමික යයි කිව හැකි පහසුකම් තිබිණි. අවශ්‍ය පහසුකම් එ නම් විඳිවැල ආදීය එහි දක්නට ලැබිණි. දරු ප්‍රසූතිය සඳහා එම කාමරයට ඇතුල් වෙන ගැබිණි මාතාවට ගමේ පළපුරුදු වින්නඹු මාතාවක ගේ නොමද සහාය ලැබුණ බැවින් දරු ප්‍රසූතිය පහසු විය. මේ අයුරින් සිදු කරන දරු ප්‍රසූතිය සඳහා සම්පාදනය කරන ඖෂධ අතර ඉගුරු මිරිස් නොහොත් ගම්මිරිස් වලට හිමි ව තිබුණේ විශේෂ ස්ථානයකි. දරු ප්‍රසුතිය නිසා සිදුවන තුවාල සුවකිරීමේ ගුණයෙන් යුක්ත ඉගුරු මිරිස් නොහොත් ගම්මිරිස්වල ඇති ඖෂධීය ගුණය මව්වරුන්ට ලබාදීමේ පුරුද්දක් හා සිරිතක් එකල පැවතිණි. එම කාර්යය සිදු කළේ ගම්මිරිස් හොදි පිස බත් සමඟ කෑමට පමණක් නොව බීමට ද දීමෙනි. එය දරු ප්‍රසූතියෙන් පසු ව ගම්මිරිස් වලින් සිදු කරනු ලබන එක් කාර්යයක් පමණි. ඒ හා සමාන එම කුළුබඩු විශේෂය උපයෝගී කරගෙන කරනු ලබන තවත් කාර්යයක් තිබිණි. එ කල බෙහෙවින් වැදගත්කමක් ඉසිලූ එම කාර්යය හැඳින්වුණේ ගම්මිරිස් පිඹීම යනුවෙනි. එය මව විසින් ළය තුළ උතුරා ගලන දාරක ස්නේහයෙන් කරන ලද කාර්යයකි. තව ද විශේෂයෙන් එය කරන ලද්දේ දරුවා නෑවීමෙන් පසුව ය. ගම්මිරිස් ඇටයක් හපා ළදරුවා ගේ දිගු ප්‍රදේශයට පිඹීමෙන් එම කාර්යය නිමාවට පත්කරනු ලැබේ. වර්තමානයේ එ බදු ප්‍රතිකාර විධි භාවිතා කරනු නො ලැබේ. සියලු වෛද්‍ය ප්‍රතිකාර දියුණු බටහිර වෛද්‍ය ක්‍රමවලට අනුකූල ව සිදු කරන අයුරු දැකිය හැකි ය. වෛද්‍ය පහසුකම් නො දියුණු එ කල මෙවන් කෙම් පහන් වලින් ගැමියෝ ළදරුවන් ගේ නිරෝගී සුවය අපේක්ෂා කළහ. ලද දෙයින් සතුටු වෙන්නාක් මෙන් ඔවුන් එ ලෙස පැවති අවම පහසුකම් වලින් යම් සහනයක් ලබාගෙන ජන ජීවිතය ඉදිරියට පවත්වාගෙන ගියහ. ගම්මිරිස් පිඹීමේ දී කතා නො කර එය සිදු කළ යුතු ය යන නියමය මෙහි දී සැලකිල්ලට ගත යුත්තකි. එය ගම්මිරිස් පිඹීම සැලකිල්ලෙන් හා පරෙස්සමෙන් කළ යුතු ය යනුවෙන් අවධාරණය කිරීමකි. ගම්මිරිස් සැර ගතියෙන් යුක්ත ය. එය කතා කර කර කරන්නට ගියහොත් මාත්‍රාව වෙනස් වීමට ද පුළුවන. එනම් එක ඇටයක් වෙනුවට ඇට කීපයක් හැපෙන්නට ද බැරි නැත. එම නිසා ප්‍රතිකාර ක්‍රමය සූක්ෂම අයුරු සකසා ඇති බව පෙනේ.
Comments
Post a Comment