කෙම
කතා නො කර දිමිගොටු දෙකක් එක ම ගසකින්, කඩාගෙන ගොස් නියර වගාවේ තබනු. අස්වන්න කෑමට ගිරව් නො පැමිණේ. අත් දුටු කෙමකි.
එහි විද්‍යාත්මක පදනම
කුඹුරු වගා කරන ගොවියෝ කුඹුරු වගාවෙන් පසු ව නියර ද නිකරුනේ තිබෙන්නට නො හරිති. එහි ද වගාවක් කරති. ඒ සඳහා උපයෝගී කරගන්නේ මෑ, බණ්ඩක්කා, බෝංචි ආදී බෝග වර්ග ය. එම ගොවිතැන නියර වගාව යනුවෙන් හඳුන්වනු ලැබේ. නියර යනු විවෘත ස්ථානයකි. එහි වගාවක් කොට පලදැරුව විට කුරුල්ලන්ට පැමිණීම පහසු ය. ගිරව් එම කුරුල්ලන් අතර ප්‍රමුඛත්වය ගනිති. උන් මෑ, බණ්ඩක්කා, බෝංචි කරල් වල ඇට අනුභව කිරීමට පෙළඹේ.ගොවියෝ උන් පළවා හැරීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරති. ටකයක් සවිකිරීම, පඹයෙක් බැඳීම, රැකසිට පළවා හැරීම ඉන් සමහරකි.මෙම කුරුල්ලන් පළවා හැරීම සාර්ථක අන්දමින් කළ හැකි උපක්‍රමයකි දිමි කෙම. එය අන් උපක්‍රම සියල්ල අබිභවමින් ක්‍රියාත්මක වෙයි. එය සරල ය. ක්‍රියාවට නැංවීම ද පහසු ය. කළ යුත්තේ එක ම ගසකින් දිමි ගොටු දෙකක් කතා නො කර කඩාගෙන ගොස් නියර වගාව මතින් තැබීම පමණ ය. එ මගින් නියර වගාව ආරක්ෂා කරගන්නා ගොවියෝ සාර්ථක ප්‍රතිඵල ලබා ගනිති. දිමිගොටු දෙකක් එක් නියර වගාවක් සඳහා තබන්නේ එක් දිමි ගොටුවක් ප්‍රමාණවත් නො වන බැවිනි. එ මෙන් ම දිමිගොටු දෙකක් කඩා ගැනීමෙන් ස්ථාන දෙකක තැබීමට ලැබෙන ඉඩකඩ නිසා උන් වගාව පුරා කඩිනමින් ව්‍යාප්ත කර හැරීමට ද පුළුවන.
දිමිගොටු එක ම ගසකින් ලබාගත යුතු ය. එසේ නො කොට ගස් දෙකකින් ලබාගත හොත් කණ්ඩායම් දෙකක් වන බැවින් උන් ඇන කොටා ගැනීමට පටන් ගනී. ඉක්බිති ඇනකොටා ගෙනම විනාශයට පත් වේ.මෙම කෙම කිරීමේ දී දිමිගොටු කඩා ගැනීමත් නියර වගාවෙන් ගෙනගොස් තැබීමත් කතා නො කර ම කළ යුතු ය. එසේ නො කළ හොත් දිමියන් ඇවිස්සී නැති ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ.එක ම ගසක දිමිගොටු දෙකක් නියර වගාවෙන් තැබුව විට උන් එක ම කණ්ඩායමකට අයත් පිරිසක් බැවින් ඇනකොටා නො ගෙන සහයෝගයෙන් වගාව පුරා පැතිරි කෑම සොයන්නට පටන් ගනී. එ විට උන්ට හසුවන්නේ කුඩිත්තන්, පණුවන් ආදී සතුන් ය. එම සතුන් ආහාරයට ගන්නා දිමියෝ යෙදවූ කාර්යයට පරිබාහිර ජීව විද්‍යාත්මක පලිබෝධ නාශක ක්‍රමයක ද නිරත වෙති. නියර වගාවේ පල දරන බෝග වලට හානි පමුණුවන ගිරව් ආදී කුරුල්ලන්ට එරෙහි ව උන් අවි අමෝරා ගන්නේ ඉන්පසුව ය.මෑ, බණ්ඩක්කා, බෝංචි ආදී බෝග වල ඇට අනුභව කිරීම සඳහා ඇදී එන ගිරව් ආදී කුරුල්ලෝ වගාවේ වැසු විට දිමියෝ උන් ගේ පාදවලට පහර දෙන්නට පටන් ගනිති. එයින් වේදනාවට පත් ව කුරුල්ලෝ වගාව මග හරිති. එබැවින් දිමිකෙම නිසා කුරුල්ලන් ගේ හානිය මුළුමනින් ම නතර වේ.
Comments
Post a Comment