gossiplanka image 1
1. කටින් දුගඳ හැමීම වෙනත් ඉන්ද්‍රියයන්ගේ රෝගී තත්වයන් නිසාද ඇති විය හැක.

2. එහෙත් වැඩිපුරම මුඛයෙන් දුගඳ හමන්නේ, මුඛය තුළ ඇති අපිරිසිදුතාවය නිසායි.

3. සමහර ඖෂධ භාවිතයේදීත් කටින් දුගඳ හැමිය හැක.


"වාඩි වෙන්න, මොකක්ද අසනීපෙ "


* ඩොක්ටර්, මම මෙයා බැඳල තවම සුමානයක් වත් නැහැ මෙයාගෙ කට ගදයිනෙ. ඉතින් ලැජ්ජාවට ඒක ගැන කතා නොකර ඉන්න එකේ තේරුමක් නැහැනෙ. මං ඔන්න එක්කරන්ගෙන ආවා බෙහෙත් ගන්න කියල."


අලුත් මනාලිය ඔහු ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයාට ඉදිරිපත් කළේය. "ඔව් ඒක බොහොම හොඳයි. සමහර අයට තමන්ගේ කට ගඳ ගහන බව තේරෙන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ ආග්‍රහණ ඉන්ද්‍රියන් කලක් තිස්සේ ඒකට පුරුදු වෙලා. අලුතෙන් ළං වෙන අයට තමයි ඒ වෙනස දැනෙනෙ . තවත් සමහර අයගේ කට ඇත්ත වශයෙන්ම ගඳ නැහැ. ඒ වුණත් ඔවුන් හිතන්නේ ඔවුන්ගේ කටේ ගඳ අහල පහල ඉන්න අයට දැනේවි කියල. ඒ ගැන දුක් වෙනවා. ඒකත් එක විදියක මානසික රෝගයක්.



* කට ගඳ ගහනවා කියන එක රෝගයක්ද? එහෙම නැත්නම් රෝග ලක්ෂණයක් පමණක්ද?

 

ඒක රෝග ලක්ෂණයක් පමණයි. ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Halitiosis කියල විවිධ රෝග රාශියක් නිසා කෙනෙකුගේ කටෙන් දුගඳ හමන්නට පුළුවනි. සමහර විට සිරුරට වැළඳී ඇති භයානක රෝගයක් ගැන කියාපාන මුල්ම රෝග ලක්ෂණය එය වෙන්නත් පුළුවනි.


* හොඳයි වැඩිපුරම මුඛයෙන් දුගඳ හමන්නට හේතු වන රෝගය කුමක්ද?


ඔබගේ දිව එලියට ඇද එය ඇගිල්ලෙන් පිරිමදින්න. දැන් ඇඟිල්ල නාසයට ළංකර බලන්න. ඔබේ කටින් හමන්නේ කුමන ආකාරයේ දුගඳක් දැයි එවිට දැනගැනීමට හැකි වේවි. වැඩිපුර රෝගීන්ගේ මුඛයෙන් දුගඳ හමන්නේ මුඛය තුළ ඇති අපිරිසිදුතාවය නිසාය. නිතිපතා ක්‍රමවත්ව දත් දිව සහ මුඛය පිරිසිදු කරනවා නම් බොහෝ අයගේ මුඛයෙන් දුගඳ හැමීම වැළැක්විය හැකිය. අපව අපේ මුඛය තුළට ඛේට ග්‍රන්ථිවලින් නිරතුරුවම කෙළ (ඛේටය) වෑහෙනවා. හැබැයි ඒ අප අවදිවී සිටින විට පමණයි. නින්දට ගිය විට මුඛය තුළට කළ වෑහීම අවම වෙනවා. නොඑසේ නම් නතර වෙනවා. එවිට මුඛය තරමක් දුරට වියළී යනවා. එවිට මුඛයේ ඇතුළත විදුරුමසින්, දිවෙන් සහ මුඛයේ බිත්තියෙන් ගැලවෙන ක්ලේෂ්මල පටල සෛලයන් කැඩී බිඳී ගොස් අපද්‍රව්‍ය බවට මුඛය තුළදීම පත්වෙනවා. එවිට හටගන්නා ගඳ අප කාටත් උදේ පාන්දර මුඛය සේඳීමට පෙර දැනෙනවා. එය ස්වභාවිකයි. මුඛය හොඳින් සෝදා ආහාර ගැනිමෙන් පසු දත් සහ දිව මැද පිරිසිදු කිරිමෙන් ඒ තත්වය පහවී ගොස් මුඛයේ නැවුම් ගතියක් දැනෙනවා. මුඛය නිතිපතා පිරිසිදු කරන්නේ නැත්නම් මෙසේ මුඛය තුළ ඇති වන අපද්‍රව්‍ය තුළ බැක්ටරියා විෂබීජ වර්දනය වී මුඛය සහ විදුරුමස තුළ තුවාල ඇති වී දුගඳ වැඩි වී ලේ ගැලීමට ද පුළුවනි. සමහර විට ඒ හේතුවෙන්ම සැරව ගෙඩි ඇතිවීමටත්, උගුර වණවී සෙම් ගෙඩි සෑදීමටත් පුළුවනි. මෙවන් තත්වයක් ඇති වූ විට සිරුර තුළ තරමක උණක් හැටගැනීමටද පුළුවනි.


* සමහර ආහාර පාන වර්ග ගත්විටත් කටින් දුගඳ හමන්න පුළුවන් නේද?


ඔව්. විශේෂයෙන්ම වාෂ්පශීලී මේද අම්ල සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පාන සිරුර තුළ දී වියෝජනයට ලක්වීමෙන් පසු හටගන්නා රසායනික ද්‍රව්‍ය වායුවක් ලෙස ප්‍රශ්වාස කරන විට මුඛයෙන් සහ නාසයෙන් පිටවන්න පුළුවනි. දුම්පානය, මත්පැන් සහ සුදු ළූණු ඊට කදිම වූ නිදසුන් කිහිපයකි. ්‍


* නහය බ්ලොක් වෙලා කටෙන් හුස්ම ගන්න අයගෙන් දුගඳක් හමනව නේද?  එයට හේතුව කුමක්ද?


එසේ වීමට හේතු කිහිපයක් බලපාන්න පුළුවනි. එකක් පීනස් රෝගය හෙවත් වායු කෝඨර ආසාදනය. නාසයේ මස්දළු හෙවත් (Adenoid) ඉදිමී ආසාදනයට ලක්වීම තවත් හේතුවකි. නාසය තුළ යම් ඇටයක් වැනි දෙයක් හිරවීම සහ සෙගෙඩි ආසාදන නිසාද මුඛයෙන් දුගඳ හමන්නට පුළුවනි. රාත්‍රී කාලයේද මුඛයෙන් හුස්ම ගන්නා විට ලෙහෙසියෙන් වියළී යාම නිසාත් දුගඳ වැඩිවනවා පමණක් නොව රස සහ ගඳ සුවඳ දැනීමද අඩුවී යාමට පුළුවනි. වෛද්‍යවරයෙකු හමුවී රෝගයට ප්‍රතිකාර ගැනීමෙන් සුවය ලැබිය හැකියි. පීනස් රෝගය නම් නාසයේ හිරය අඩු කරන ඖෂධ නියම කරාවි. නාසයේ හිරය මගහරින්නට දමන(Decongestant) වර්ගයේ ඖෂධ නියම කරාවි. නාසයේ හිරයට හේතුවන ආසාත්මිකතාවය නම් ඒ සඳහා (Antihistamin) කාණ්ඩයට අයත් ඖෂධ සහ ස්ටිරොයිඩ් කාණ්ඩයට අයත් ඉසින (Steroid Spray) ලබාදේවි. නාසයේ යමක් හිරවි ඇත්නම් හෝ මදළු ඇත්නම් ඒවා සුළු සැත්කමක් මගින් ඉවත් කරන්නට සිදුවේවි.


* අපේ මාමා හුස්ම ගන්නා විට හරි ගඳයි. එයාට කල් පවතින කැස්සකුත් තියෙනවා. එයාගේ කට ගඳ ගහන්න හේතුව ඒක වෙන්න බැරිද?


ඔව්, එහෙම වෙන්න පුළුවනි. කල් පවතින ශ්වාසනාල සහ පෙනහළු ආසාදන (Chronic Bronchitis, Bronchiectasis) පෙනහළුවල හට ගන්නා සැරව ගෙඩි (Lung Abscess) සහ පෙනහළු පිළිකා නිසාද ඔහුගේ ප්‍රශ්වාස වාතයෙන් දුගඳ හමන්නට පුළුවනි. මෙවන් රෝගීන්කහින විට කහ පැහැති සැරව සහ රතු පැහැ ලේ පිටවීමටද පුළුවනි. පෙනහළු තුළ සිර වූ සෙම, බැක්ටරියා මගින් ආසාදනය වීමේ හේතුවෙන් ඇති වන දුගඳ වායුව ප්‍රශ්වාස වාතය සමග පිටවීමෙන් ඒ දුගඳ හටගනී. දීර්ඝකාලීනව ප්‍රතිජීවක ඖෂධ ලබාදීම එයට ප්‍රතිකාරයයි.


 * ආහාර මාර්ගයේ ඇති වන රෝග නිසාත් කටින් දුගඳ හමන්න පුළුවන්ද?


ඔව්. මුඛයේ ඛේට ග්‍රන්ථිවල හටගන්නා ආසාදනයන් නිසාත් ආමාශය තුළ හටගන්නා ආසාදනයන් (Gastritis) නිසාත් කටින් දුගඳ හමන්න පුළුවනි. ආමාශය උදරය දෙසට නෙරීම නිසා හටගන්නා (Hiatus Hernia) හයට හරිනියා නම් ත ත්ත්වය නිසාත් ගලනාලයේ හට ගන්නා හිරයන් (පිළිකා වැනි) නිසාත් කටින් දුගඳ හමන්නට පුලුවනි. ඛේට ග්‍රන්ථි ආසාදනයට ප්‍රතිකාරය ප්‍රතිජීවිකයි. සමහර විට සැත්කමක් කරන්නට වෙන්නත් පුළුවනි. ආමාශයේ ආසාදනයට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිඅම්ල (Antacids) සහ ආහාර පාලනයත් අත්‍යවශ්‍ය වේ. කුඩා ආහාරත්වේල් ගැනීමත්, ඇගේ ස්ථුල භාවය පාලනයත්. ප්‍රති අල ඖෂධ ගැනීමත් හයටස් හර්නියා රෝගය සඳහා නිර්දේශ කරනු ලැබේ. ඉන් පාලනය නොවන්නේ නම් ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ.


* මුඛයෙන් දුර්ගන්ධය වහනයට හේතුවන වෙනත් රෝගී තත්වයන් මොනවාද?


ඕනෑම රෝගයක් වැළඳීම නිසා යමෙකුගේ ශරීරයේ ජල ප්‍රමාණය අඩු වූවා නම් (විජලනය) මුඛයෙන් දුගඳක් හමන්නට පුළුවනි. වකුගඩු අකරණියත් (Kindey failure), දියවැඩියාවත් කටින් දුගඳ හමන්නට හේතුවන තවත් රෝග දෙකක්. ලියුක්ලියාව හොජිකින්ස් ඩිසීස් (Hodgkin's disease) නම් රෝගය සහ වෙනත් රුධිර ගත රෝග වැළඳුණ අයගේ මුඛයෙන්ද දුගඳක් හමන්ට පුළුවනි.


* සමහර ඖෂධ භාවිතයේදීත් මුඛයෙන් දුගඳක් හමන්නට පුළුවන්ද?


ඔබ හරි මානසික රෝගාබාධාවලට ප්‍රතිකාරයක් සේ භාවිතා කරන ලිතියම් (Lithium) නම් ඖෂධ, දිලීර නිසා හටගන්නා චර්ම රෝගවලට ප්‍රතිකාර ලෙස භාවිතා කරන ග්‍රීසියොෆුල්වින් (Grisiofulvin) නිසාත් හන්දිපත් රුදාවට (Rheumatoid arthritis) භාවිතා කරන (Penicilamine) නිසාත් කටින් දුගඳක් හමන්නට පුළුවනි. ඔබේ

වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කොට මාත්‍රාව අඩු කිරීමට හෝ වෙනත් ආදේශක ඖෂධයක් භාවිතා කිරීමට පියවර ගැනීම ඊට විසඳුමයි.



* කට ගඳ ගැසීමට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි මුඛ වන ඖෂධයක් ගැන රූපවාහිනියේ වෙළෙඳ දැන්වීමක් දැක්කට පස්සේ මගෙ කටත් ගඳ ඇති කියලා නිතර නිතර හිතට ආවා. දොස්තර මහත්තයා කියන්නේ මගේකට ගඳ නැති බවයි. එය මගේ හිතෙන් මවාගත් එකක් බවයි. එහෙම වෙන්න පුළුවන්ද?‍



" ඔව්, එහෙම වෙන්න පුළුවනි. බොහෝ අය කට ගඳ ගසනවා යැයි සිතමින් භීතිකාවකින් පසුවෙනව. එය මානසික තත්වයකි. සමහර විට එය ප්‍රබල මානසික රෝගයක (

භින්නෝන්මාදය සහ විශාදය) ආරම්භක රෝග ලක්ෂණයක් වීමටද පුළුවනි. ඒ සඳහා ලබා ගත යුත්තේ මනෝ වෛද්‍ය ප්‍රතිකාරයි.