ව්‍යායාමයට සූදානම් වන බොහෝ දෙනෙකුට පැන නැගෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ව්‍යායාමයක් සඳහා කාලය නොමැති වීමයි. සාර්ථක ව්‍යායාමයක් සිදුකොට බලාපොරොත්තු වන ඉලක්කය ගැන සිහිනයක් ඇත්නම් තමන්ගේ එදිනෙදා කටයුතු අතර, නොවැදගත් වන කරුණු හැඳිනගත යුතුය. ඒ සඳහා ගත වන කාලය ව්‍යායාම සඳහා යොදාගත හැකිය. පළමුවෙන්ම සතියකට දින 3ක් අඩුම තරමේ විනාඩි 30ක කාලයක් ව්‍යායාම කිරීමට කාලය වෙන් කරගත යුතු අතර එම ව්‍යායාමවලින් ලැබෙන ප්රතිලාභ මගින් ව්‍යායාම සඳහා උනන්දුව වැඩිවනු ඇත. ලැබෙන ප්රතිලාභ අතර ශරීරය සැහැල්ලු ගතියෙන් පේශිවල ශක්තිය වැඩි වීම, ආත්ම විශ්වාසය ගොඩනැගීම, උදරය අඩු වීම, කෑම රුචිය වැඩි වීම, හොඳින් නින්ද යෑම යන ප්‍රතිඵල ලැබේ. මේ සියල්ල අත්විදීමේදී ජීවිතයේ ප්රමුඛ කාර්යයක් ලෙස ව්‍යායාම තෝරාගනු ඇත.
නිතිපතා ව්‍යායාම කරන බොහෝ දෙනෙක් ව්‍යායාම ආරම්භ කර ඇත්තේ, ව්‍යායාම සඳහා කාලයක් සොයාගැනීමට අපහසු කාර්යය බහුල ජීවිතයක සිටින විටදීය. එහෙත් ව්‍යායාම ආරම්භයෙන් පසු නිතිපතා ව්‍යායාම සිදු කිරීමට තරම් හේතු වන ආත්ම තෘප්තියක් ව්‍යායාම කිරීම මගින් ලැබේ. මෙය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම කළ දින හෝ ඊට පසු දින ඒ සඳහා තමා විසින් තමාටම තෑගි දෙන ක්‍රමයක් ආරම්භ කිරීම සුදුසුය. උදා- ව්‍යායාම කළ දින හෝ පසු දින තමා වඩාත්ම කැමැති ආහාරය ලබාගැනීමට කටයුතු කිරීම හෝ තම හිතවත් මිත්‍රයා සමග විනෝද වීම කළ හැකිය. එමෙන්ම ව්‍යායාම කරන විට ඇති වන අලුත් සමාජ සම්බන්ධතා වර්ධනය වන ආකාරය ගැන සිතීමෙන් තමන්ගේ රැකියාවට හෝ ව්‍යාපාරයට එය ප්‍රයෝජනවත් වන ආකාරය පිළිබඳ සිතීම නිසා ව්‍යායාමයට යොමුවීමට කැමැත්තක් ඇති වේ.
බහුලවම දක්නට ඇති අභියෝග
ව්‍යායාම සඳහා කාලය නොමැති වීම, කාලය සොයා ගැනීමට සතියක් තුළදී කරන කාර්යයන් විමර්ශනයට ලක්කරමින් එම සතිය තුළදී දිනකට විනාඩි 30 බැගින් සතියට දින 3ක් කෙසේ හෝ කාලය වෙන් කරගත හැකිය. එමෙන්ම පුද්ගලයකු ජීවිතයේ එදිනෙදා සිදු කරන කටයුතුවලදී හැකිතාක් දුරට ශරීරයට ව්‍යායාම ගෙන දෙන සේ එම කාර්යය සිදු කළ යුතුය. උදා :- යම් පුද්ගලයකු වාහනයකින් රැකියා ස්ථානයට යන්නේ නම් වාහනය තමන්ගේ වාහන නැවතුම් අංගණයේ දුරම පිහිටි ස්ථානයේ නවතා විදුලි සෝපානය වෙනුවට පියගැට පෙළ භාවිත කරමින් රැකියා ස්ථානයට යා හැකිය.
සමාජ සහයෝගය
ව්‍යායාම සඳහා වෙන් කළ කාලය තුළදී එම පුද්ගලයාගේ යහළු මිත්‍රාදීන් විවිධ අන්දමින් බාධා කිරීම ගැටලුවකි. එම නිසා කළ යුතු හොඳම දේ වන්නේ සතියේ එක් එක් දිනවල ව්‍යායාම කරන කාලය සියලු දෙනාටම දැනගැනීමට සැලැස්වීමයි. එමෙන්ම ව්‍යායාම කරන ස්ලාවේදී තවත් අයෙකුට සුහදව කථා කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ අනෙකුත් හිතවතුන්ද ව්‍යායාම හෝ ක්‍රීඩාව සඳහා සහභාගී කරවා ගැනීමෙන් ව්‍යායාමයට බාධාවක් නොවී ක්‍රීඩා කළ හැකිය.
ශරීර ශක්තිය නොමැති වීම
බොහෝ විට ව්‍යායාම ආරම්භ කරන්නේ කායික සහ මානසික වෙහෙසකට පත් වී ඇති අවස්ථාවක නම් ව්‍යායාම කිරිමට ප්‍රියතාවයක් ඇති නොවේ. යම් පුද්ගලයකු වඩාත් ශක්තිය ඇති අවස්ථාවේ ව්‍යායාම ආරම්භ කිරීම සුදුසුය.
ව්‍යායාම සඳහා සුදුසු පරිසරයක් නොමැති වීම
ව්‍යායාම කිරීමට බොහෝ විට සෑම දෙනාටම සුදුසු පරිසරයක් නොලැබේ. එම නිසා තිබෙන පරිසරයේ සම්පත් යොදාගෙන ව්‍යායාම තෝරාගත යුතුය. උදා :- යම් පුද්ගලයකුට දිවීමට ක්‍රීඩාංගණයක් හෝ සුදුසු ධාවන පතයක් නොමැති නම් නිවස ඉදිරිපිට හෝ සේවා ස්ථානය ඉදිරිපිට ඇවිදීම ව්‍යායාමය ලෙස සිදු කළ හැකිය. ට්‍රෙඩ්මිල් උපකරණයක් හෝ එකතැන පැදිය හැකි බයිසිකලයක් ඇත්නම් එය උපයෝගී කරගෙන ව්‍යායාම කළ හැකිය.
පාරිසරික සාධකවල බලපෑම
එළිමහන්නේ ක්‍රීඩා කරන පුද්ගලයකුට වැසි සහිත කාලගුණයක හෝ අධික හිරු රශ්මිය සහිත කාලගුණයක ක්‍රීඩා කිරීමට සිදු වන විට ඒ සඳහා විකල්ප සොයාගත යුතුය. විශේෂයෙන්ම එම දිනවල ගෘහස්ථ ව්‍යායාම කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතු අතර ඒ සඳහා පහසුකම් සූදානම් කරගත යුතුය. ගෘහස්ථ උපකරණ සඳහා උදාහරණ ලෙස ටෙඩ් මිල්ස් (Tread mills) එකතැන ධාවනය කළ හැකි බයිසිකල්, ස්ටේෂනරි බයිසිකල් (Stationary bicycles) ක්‍රොස් ට්‍රේයිනර් (Cross Trainer)වැනි උපකරණ භාවිත කළ හැකිය.
නිතර සංචාරය කිරීම
නිතර සංචාරය කරන පුද්ගලයන් ව්‍යායාම සඳහා හැකි සෑම විටම තමන්ගේ ගමන් මල්ලේ ස්කිපින් රෝප් හෝ ව්‍යායාම් සඳහා භාවිත කරන රබර් පටි වැනි උපකරණයක් තබාගත යුතුය. එමෙන්ම නවාතැන් ගන්නා හෝටල්වල ඇති පිහිනුම් තටාකවල ව්‍යායාම කිරීම සඳහා පිහිනුම් ඇදුමක්ද තබාගැනීම සුදුසුය. එසේම තමා නවාතැන් ගන්නා ස්ථානය අසල ඇති වෙළෙඳ සංකීර්ණවල පඩිපෙල් යොදාගනිමින් ඇවිදීමද සිදු කළ හැකිය.
Comments
Post a Comment