gossiplanka image 1
ආඝාතය හෙවත් අංශභාග රෝගය ඇති වන්නේ මොළයට රුධිරය සපයන රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වී අවහිර වීමෙන් (Atherosclerosis) පසු මොළයට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වීම හෝ නැවතීමෙනි. කොලෙස්ටරෝල් තැන්පත් වූ ස්ථානයෙන් කැඩී බිඳී යන කොටස් (Plaque) මඟින්ද මෙම තත්ත්වය ඇති විය හැක. මෙම තත්වය ඇති වූ පසු ශරීරයේ කොටසක් පණ නැති වීම, හිරි වැටීම සහ සිහිමද ගතිය වැනි තත්වයන්ද ඇති විය හැකිය. සමහර අවස්ථාවලදී පෙනීම අඩු වීම, කථා කිරීමට අපහසු වීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකිය.  රෝගය ඇති වූ මුල් අවස්ථාවේ සිටම පේශි සහ සන්ධිවල චලන පරාසය සම්පූර්ණයෙන්ම පවතින සේ පවත්වා ගැනීම මෙම තත්වයේදී කළ යුතු මූලිකම කාර්යයි. රෝගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට එක් එක් රෝගියාගේ රෝග තත්ව අනුව ගත වන කාලය වෙනස් විය හැකිය.


කෙසේ වෙතත් මෙම රෝගීන් දීරඝකාලීනව රෝගී තත්වයේ පසුවන්නන් වන අතර එම මුළු කාලය තුළදීම පේශිවල එම අවස්ථාවේ පවතින ශක්තිය මෙන්ම චලන පරාසයද පවත්වා ගැනීමට භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතුය. රෝගියාට ඇවිදීමට හැකි නම් සමබරතාවය සහ පේශි අතර සමායෝජනය පවත්වා ගැනීමට ව්‍යායාම කළ යුතුය. සමස්තයක් ලෙස රෝගියාගේ ශාරීරික යෝග්‍යතාවය වැඩි කිරීම සඳහා  ව්‍යායාම ශරීරයේ නිරෝගී කොටස් උපයෝගී කරගෙන ආරම්භ කළ හැකිය. උදා:- ශරීරයේ එක් අංශයක් පණ නොමැති නම් අනෙක් අංශයේ ප්‍රධාන පේශි උපයෝගී කරගෙන ව්‍යායාම කළ හැකිය. මෙම ව්‍යායාම කිරීමට ව්‍යායාම උපකරණ සහ ආධාරක භාවිත කළ හැකිය.රෝගියා යම් පමණකට සුවය ලැබූ පසු ආඝාතයට හේතු වූ ප්‍රධාන කරුණු ඉලක්ක කර ව්‍යායාම කළ යුතුය. එම කරුණු අතර රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය බොහෝ විට ඇත. එමෙන්ම දුම්පානය වැනි කරුණු ද මෙම රෝග සඳහා බලපාන බැවින් දුම්පනය නතර කළ යුතුය.